මනුෂ්‍යත්වයේ නාමයෙන් කිසිදු ලෙසකින් අනුමත කළ නොහැකි මේ ප්‍රහාරයන් සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය කෙරෙහි චෝදනාව එල්ල වන බවක් පෙනෙන්නට තිබූ නමුත් තත්වය වෙනස් විය. ඒ, තලෙයිබාන් සාමාජිකයන් ද ඉලක්ක කරගෙන එක් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවක් පෙනුණු නිසා ය. ඇමරිකානු හමුදා භටයන් පමණක් නොව තලෙයිබාන් සාමාජිකයන් ද 13 දෙනෙක් පමණ එයින් ජීවිතක්ෂයට පත් විය. ඇතැම් වාර්තාවකට අනුව මේ සංඛ්‍යාව 28 දක්වා ඉහළ අගයකි.
මේ අතර, දැනට දින කිහිපයක පටන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පටන් රාජ්‍ය නායකයන් සහ අර්බුදයේ කොටස්කරුවන් වූ බොහෝ අය, ‘ත්‍රස්ත ප්‍රහාරයක‘ බියක් ගැන ඉඟි පළ කරමින් සිටියහ. ඇමරිකානු ජනපති ජෝ බයිඩන් කාබුල් ගුවන් තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන්නට නියමිත බවත්, එය ISIS-K ත්‍රස්තවාදීන්ගේ වැඩක් වේ යැයි සැක පළ කරන බවත් කීවේ කාබුල් මෙහෙයුමෙන් පසු දෙවන වරට ජාතිය අමතන විටදී ය.
ත්‍රස්තවාදයේ දේශපාලනයට අනුව, සන්නද්ධ කල්ලි එකිනෙක අතර අප්‍රකාශිත එකඟතා පවතින බව දනිති. ඒ නිසා තලෙයිබාන් සංවිධානය ද අහිංසක නැති බව සැවොම දැන සිටියහ. නමුත් ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුළත පෙර කී ISIS-K කල්ලිය එහි වගකීම භාරගත්තේ ය. වාචිකව නොවේ. ප්‍රකාශයක් නිකුත් කරමිනි. ඒ අනුව මෙය සිතා මතා හොඳින් සැලසුම් කර, ලිඛිතව වගකීම භාරගන්නා මට්ටමේ පැවති ප්‍රහාරයකි.
ඔවුන්ට මෙතරම් හයියක් ලැබුණේ කෙසේද? ඔවුන් හා තලෙයිබාන් සංවිධානය අපසහායකයන් ද? දැන් මේ කරළියට ආවේ තලෙයිබානය සහ ඔවුන් අතර පැවති විරසකයක් ද? එසේත් නැතිනම් IS–K විසින් තලෙයිබානයටත් මරණ වරෙන්තු නිකුත් කර තිබේද?
කෝරසාන් පළාතේ ඉස්ලාමීය රාජ්‍ය භටයන් හෙවත් ඇෆ්ගනිස්ථානයේ අයි එස් සංවිධානය ISIS-K ලෙස හඳුන්වයි. ඔවුන් ව ISKP යනුවෙන් ද හඳුන්වනු ලැබේ. ඒ අනුව ISK, ISISK, IS–KP, ISIS–K හෝ Daesh–Khorasan යනුවෙන් හඳුන්වන්නේ ද මෙම සන්නද්ධ කල්ලියම වේ.
ඇෆ්ගනිස්ථානයේ සක්‍රියව සිටින සියලු ජිහාඩ් කල්ලි අතර ප්‍රචණ්ඩත්වයෙන් අධිකම කල්ලිය ලෙස සැලකෙන්නේ ISIS–K ය.
ISIS–K ක්‍රියාත්මක වන්නේ 2015 ජනවාරි මාසයේ පටන් ය. එය ඉරාකයේ සහ සිරියාවේ අයි එස් බලය දැඩි ලෙසම පැවතුණු යුගයයි. මේ වන විට අයි එස් සටන්කාමීන් විසින් ඉරාකයේ සහ සිරියාවේ තමන් විසින් ම ‘ඉස්ලාමීය රාජ්‍යයක්‘ ප්‍රකාශයට පත් කරගෙන තිබිණි.
ISIS–K කණ්ඩායම ඇෆග්නිස්ථාන ජාතිකයන් මෙන්ම පාකිස්ථාන ජාතිකයන් ද සිය සාමාජිකයන් සේ බඳවා ගත්තේය. විශේෂයෙන්ම ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානය ‘ප්‍රචණ්ඩත්වයෙන් මදි‘ යැයි සිතන සාමාජිකයන් ඉන් අනතුරුව බැඳුණේ ISIS–K වෙතට ය.
‘‘කෝරසාන්‘ පළාත ලෙස හැඳින්වෙන්නේ නූතන ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය යන අර්ථයෙනි. 2019 වසරේදී පාකිස්ථානයේ අයි එස් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන තෙක් ඇෆ්ගනිස්ථාන් අයි එස් කලාපය පමණක් ‘කෝරසාන්‘ ලෙස හැඳින්විණි.
සිය ප්‍රකාශයේදී මරාගෙන මැරෙන බෝම්බකරු ව නම් කිරීමට පවා එඩිතර ම්ලේච්ඡත්වයක් අයිසිස්-කේ සංවිධානයට තිබේ. විශේෂම කරුණක් නම්, තලෙයිබාන් සාමාජිකයන් ඔවුන් විසින් හඳුන්වා දී තිබෙන්නේ ‘පක්ෂය හැර යන්නන් හෝ පක්ෂයට ද්‍රෝහි වූවන්‘‘ යන අර්ථය දෙන “apostates” යනුවෙනි. ඉස්ලාමීය නීතියේ ඔවුන්ගේ අර්ථදැක්වීමට අනුව, මෙවැනි පක්ෂය හැර යන්නන් ඝාතනය කිරීම නීත්‍යානුකූල ය. ඒ අනුව ඔවුන් විසින් තලෙයිබාන් සංවිධානයට ද මරණ වරෙන්තුවක් නිකුත් කර තිබේ.
තලෙයිබාන් කණ්ඩායම බටහිර රටවල් සමග සාමය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම IS–K කල්ලියේ දැඩි දෝෂදර්ශනයට ලක් ව තිබිණි. උදාහරණයක් ලෙස ට්‍රම්ප් සමග කටාර් හිදී පැවැත්වූ සාකච්ඡා ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ ‘දෝහාවල පොෂ් හෝටල්වල‘දී සමථයන්ට එළඹීය යනුවෙනි.
දළ වශයෙන් සටන්කාමීන් 3,000 ක් පමණ මෙයට අයත් වෙතැයි සැලකේ.
කෙසේ නමුත් ඇමරිකානු සහ ඇෆ්ගන් ආරක්ෂක හමුදා ප්‍රහාරයන්ගෙන් මෙම ISIS–K කල්ලියට අතීතයේ දැඩි හානියක් සිදුව තිබේ. පසුකාලීනව තලෙයිබාන් සංවිධානය ද ISIS–K ට එරෙහිව සටන් වැද ඇත.
ඇෆ්ගන් ආරක්ෂක භටයන්, ඇෆ්ගන් දේශපාලනඥයන් සහ අමාත්‍යවරුන්, තලෙයිබාන් සංවිධානය, ආගමික සුළුතරයන් (ෂියා සහ සික්වරුන්), ඇමරිකානු හා නේටෝ බලකායන්, අන්තර්ජාතික ඒජන්සි (ආධාර කණ්ඩායම් ද ඇතුළුව) ඔවුන්ගේ ප්‍රහාරවලට ලක් ව තිබේ.
මෑත ඉතිහාසයේ සිදුවූ ඇතැම් ම්ලේච්ඡතම ප්‍රහාරවල වගකීම ISIS–K වෙත පැටවී තිබේ. ඒ අතරින් බාලිකා පාසල්වලට පහරදීම, රෝහල්වලට පහර දීම ඇතුළත් ය. වරක් ඔවුන් විසින් මාතෘ සායනයකට ද පහර දී තිබිණි. එහිදී ගැබිණි මව්වරුන් සහ හෙදියන් ඝාතනය කරනු ලැබිණි.
තලෙයිබාන් සංවිධානයේ අරමුණ ඇෆ්ගනිස්ථානය තුළ බලය තහවුරු කර ගැනීම වුවත් ISIS–K හි අරමුණ ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාමීය රාජ්‍යය ව්‍යාප්ත කිරීමයි. ඒ වෙනුවෙන් ජිහාඩ් හෙවත් ශුද්ධ යුද්ධයක් සිදුවිය යුතුම බව ඔවුහු අදහති. ISIS–K, ගෝලීය අයි එස් සංවිධානයේ ඇෆ්ගන් ශාඛාව ලෙස සැලකෙන්නේ එනිසා ය. හැකි සෑම විටකම බටහිර ලෝකය ඉලක්කයක් කර ගැනීම ඔවුන්ගේ සිරිතයි.
ISIS–K භටයන් මූලික වශයෙන් සිටින්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් පළාතේ ය. සටන්කාමීන්ගෙන් වැඩි පිරිස සිටින්නේ නන්ගහාර් සහ කාබුල් නුවර ය. කුනාර්, ජොවාන්ස්, පටාකියා, කුන්දුස් සහ හෙරත් යන පළාත්වල ද ඔවුන් විසින් ප්‍රහාර දියත් කර ඇත.
තුන්වැනි පාර්ශවයක් වන හක්කානි ජාලය (Haqqani network) හරහා ඔවුන් තලෙයිබාන් සංවිධානය සමග සම්බන්ධතා පවත්වන බවට තොරතුරු තිබේ. පර්යේෂකයන්ට අනුව Haqqani network සහ ISIS–K අතර ප්‍රබල සම්බන්ධයක් ඇත. 2019 සහ 2021 වසර දෙක තුළ ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බොහෝ ප්‍රහාරවලට තලෙයිබාන් හක්කානි කණ්ඩායම සහ IS–K දායක වී ඇති බව පර්යේෂකයෝ කියති.
හක්කානි කණ්ඩායමේ නායකයා ඛලීල් හක්කානි ය. ඔහුගේ හිස වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් නියම කර තිබේ. ඔහු ලෝකයට සොයාගැනීමට අවශ්‍ය කර තිබෙන ත්‍රස්තවාදියෙකි.
අගෝස්තු 15 වැනිදා තලෙයිබාන් සංවිධානය විසින් කාබුල් නුවර බලය අල්ලා ගත් විට IS–K විසින් පුල්-ඉ-චාකි බන්ධනාගාරයේ සිටි සිරකරුවන් විශාල සංඛ්‍යාවක් නිදහස් කර ගෙන ඇත. මෙම සිරකරුවන් අතර IS සහ අල් කයිඩා සිරකරුවන් බහුතරයක් වූ අතර, ඔවුන් දැන් සිටින්නේ ඇෆ්ගනිස්ථානය තුළ නිදහසේ ය.