×

දියණියන් එක්ක කිලෝමීටර් 24ක් දිනපතා පාසැල් ගිය හදවත් රෝගී පියෙකු නමින් ඇෆ්ගනිස්ථානයේ පාසැලක්

දරුවන්ට අධ්‍යාපය ලබා දීම වෙනුවෙන් දහසකුත් දුක් විදින මව්වරුන් සහ පියවරුන් අප රටේද එමටය. නමුත් ඔවුන් සිටින්නේ බෙහෝ විට වගකිව යුත්තන්ගේ අවධානයෙන් බෙහෝ දුරකය . මේ ලිපිය ඔවුන් සියල්ලක්ම වෙනුවෙනි.


ඇෆ්ගනිස්ථානය යනු කාන්තා අධ්‍යාපනයට දොරගුළු නිසි ලෙස නොඇරුණ කාන්තාවන්ගේ අයිතීන් වලට දොර වැසුණු රටකි. මීට වසර ගණනාවකට පෙර තලේබාන් සංවිධානය ඇෆ්නිගස්ථානය පාලනය කරන සමයේ අඩුම තරමේ රූපවාහිනිය නැරඹීම හෝ වර්ණ ඡායාරූපයකට මුහුණ දීම කාන්තාවට තහනම් විය.
ඇෆ්ගනිස්ථානය යනු සාක්ෂරතාව සියයට 50%කටත් අඩුවෙන් පවතින රටකි. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ඇෆ්ගනිස්ථානයේ ළමුන් මිලියන 3.7 ක් පාසලෙන් බැහැරව සිටින අතර ඔවුන්ගෙන් සියයට 60 ක් ගැහැණු ළමයින් ය.

එහෙව්පසුබිමක අධ්‍යාපනය නොලද පියෙකු සිය දියණියන්ට උගන්වන්ට දිනපතා කිලෝමීටර් 24ක් ඇවිද ගිය පුවතක් ඇෆ්ගනිස්ථානයේන් වාර්තා වේ. ඔහු ඒසා කැප වන්නේ දිනක සිය දියණියන් වෛද්‍යවරියන් කිරීමේ අරමුණිනි.

ඔවුන්ගේ නිවසට ආසන්නතම පාසැල පිහිටා තිබුණේ කිලෝමීටර් 12ක් දුරිනි. මියා කාන් නැමති 63 හැවිරිදි පියා සහ දියණියන් පදිංචිව සිටි ඇෆ්ගනිස්ථානයේ පක්තිකා පළාතට ආසන්නයෙන්ම පිහිටි නුරානියා නම් බාලිකා පාසැල එයයි.

බෙහෝ දිනවල දැරියන්ද සමග පයින් ඇවිද යන ඔහු ඇතැම් දිනවලදී පමණක් මෝටර් බයිසිකලයෙන් පාසැල වෙත යයි.

ඔහුගේ මෙම ශ්‍රේෂ්ඨ කාර්ය පිළිබදව ඇෆ්ගිනිස්ථානයේ සමාජ මාධ්‍යයන් හි ප්‍රචලිත වන්නට පටන් ගන්නේ ඔහු පිළිබදව ප්‍රශංසනාත්මක වර්ණනයන්ද සමගිනි.

ඇෆ්ගිනිස්ථාන අධ්‍යාපන අමාත්‍යංශය ඔහු පිළිබදව දැන ගැනීමත් සමග දකුණු ඇෆ්ගනිස්ථානයේ ඔහුගේ ගමෙහි නව පාසැලක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී. එපමණක්ද නොව එම පාසැල 63 හැවිරිදි මියා කාන්ගේ නමින් නම් කරනු ලබන්නේය.

අධ්‍යාපන අමාත්‍යංශය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම දියණියන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා කැපවීම උදෙසා ඔහුගේ ගම්මානයේ පාසැලක් ඉදිකරන බවත් මියා ඛාන්ට එහිදී ගෞරවය දක්වන බවත්ය.

Mia Khan, left, and the education minister Mirwais Balkhi. Photo: Twitter

ඒ අනුව පසුගිය දා එරට අධ්‍යාපන අමාත්‍ය මිර්වායිස් බාල්කි මියා කාන්ව හමුවීමට ඔහුට තම කාර්යාලයට ආරාධනා කරන්නේය. ඇෆ්ගනිස්ථානයේ දැරියන්ගේ විශේෂයෙන් දුර බැහැරවල ජීවත් වන්නන්ගේ අධ්‍යාපනයේ ඇති බාධක ජය ගැනීමට පරමාදර්ශ සැපයූ ඛාන්ව අගයමින් ඔහුට සම්මානයක්ද පුද කර සිටියේය. ඔහු විසින් මියා ව හැදින්වූයේ අධ්‍යාපනයේ වීරයා නමිනි.

එහිදී අදහස් දැක්වූ මියා ඛාන් පවසන්නේ ” ඉගෙනීම මගේ දියණියන්ගේ අයිතියකි” යනුවෙනි.
හදවත් රෝගයකින්ද පෙළෙන මේ මිනිසා උදෑසනින්ම පාගමනින් පාසැලට ගොස් පාසැල නිම වන තෙක් පාසැලෙන් පිටතට වී බලා සිටින්නේය.

කාන්තා අයිතීන් පිළිබද ඇෆ්ගනිස්ථාන රාජ්‍ය නොවන සංවිධානයක් වන SCA සංවිධානය පවසන්නේ 12 දෙනෙකුගෙන් යුතු පවුලක පියා ලෙස සිය දියණියන් වෙනුවෙන් සිදු කරන මෙම අරගලය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම පරමාදර්ශයක් බවයි.

.
“සමාජයේ කාන්තාවන්ගේ භූමිකාව පිරිමින් තරම්ම වටිනවා” යන්න සිය මූලික අදහස කරගෙන ඇති මියා ඛාන්ගේ එකම සිහිනය වී ඇත්තේ සිය 12 හැවිරිදි දියණිය රෝසි ගමේ පළමු වෛද්‍යවරිය වනු දැකීමයි. අප්‍රතිහත ධෛරයයෙන් යුත්ව සිය දියණියන් වෙනුවෙන් කැපවන ඔහුගේ සිහිනය සේම ලොව වෙසෙන එවන් පියවරුන් සියල්ලන් දරුවන් උදෙසා මවන සිහින සැබෑ විය යුතුමය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි