×

වකුගඩු විකුණා අවසන් – දැන් දරුවන් විකුණමු ද? 

ස්කයි නිව්ස් කණ්ඩායම, ඇෆ්ගනිස්ථානයේ හෙරත් පළාතේ සිදුකළ ඇසින් දුටු සාක්ෂි සහිත ගෂණාත්මක විමර්ශනය


පසුගිය වසරේ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටි ඇමරිකාව ප්‍රමුඛ බටහිර හමුදා එයින් ඉවත් වූයේ ලෝකයේ දීර්ඝතම යුද්ධය අවසන් කරමින් වුවත්, ඇෆ්ගනිස්ථානයේ ජන ජීවිත එයින් විපතේ වැටිණි. බලය අල්ලාගත් තලෙයිබාන් රෙජීමයට අන්තර්ජාතික සහයෝගය අද දක්වා ද ලැබී නැත. එහි ප්‍රතිඵලයක් ලෙසට සම්බාධක පැනවී සහනාධාර කැපී ප්‍රජාතන්ත්‍රවාදය පාඩමක් ඉගෙන ගනිමින් තිබේ. ඊටත් වඩා, ඇෆ්ගනිස්ථානයේ දුප්පත්ම ජන කොටස්, වකුගඩු විකුණා, එයින් නොනැවතී සිය දරුවන් ද විකුණාගෙන කන අන්ත අසරණ තත්වයට පත් ව තිබේ.

සියල්ලටම පෙර ජීවත් විය යුතුය. ඇෆ්ගනිස්ථානයේ හෙරත් පළාතේ එසේ සිතූ පවුල් බහුල ය. එක් පවුලක සහෝදරයන් තිදෙනෙක් හා සහෝදරියක්, සිය වකුගඩුවක් පවුම් 1,150කට විකුණා තිබුණේ පවුලේ සෙසු අය සඳහා කෑම බීම මිලදී ගන්නට මුදල් හොයාගැනීමට ය.

දරුවා ගෙතුළ සාගින්නේ මියැදෙනවාට වඩා, දරුවාට කන්න බොන්න දිය හැකි පවුලකට දරුවා විකුණා දැමීම නරකදැයි තවත් පවුලක් ස්කයි නිව්ස් මාධ්‍යවේදීන්ගෙන් ඇසූහ.

තුවාළවලට සැරහුමක් මිලදී ගැනීමට පවා මුදල් නැති දුප්පත් දෙමාපියන්ගේ ඉරණම ගැන ස්කයි නිව්ස් මාධ්‍යවේදීන් සමග හැඟීම්බර ලෙස දොඩමලු වූවෝ ඇෆ්ගන් රෝහල්වල වෛද්‍යවරු ය.

 

ඩොලර් බිලියන ගණනක් ‘සංවර්ධනය’ සඳහා වැය කළ බව කියන 20 අවුරුදු ‘රැකබලාගැනීමක’ අවසානයේ, දස දහස් ගණනක් දෙනා දිවි පිදූ අරගලයක අවසානයේ ඇෆ්ගනිස්ථානයේ අද තත්වය මේක ය.

දුප්පත්කම නිසා මිනිස් ප්‍රජාවට අත් විය හැකි නරකම ඉරණම ගැන, හේරත් පලාතේ ඇෆ්ගන් ගම්මාන ජීවමාන සාක්ෂි සපයයි.

ස්කයි නිව්ස් කණ්ඩායම ගමේ වියපත් නායකයා වෙත කළ ඉල්ලීමෙන් පසුව මාධ්‍ය කණ්ඩායම වෙත පැමිණ ඔවුන්ව වට කර ගත්තෝ සිය ගණනකි. වියපත් ගැහැණු, තමන්ගේ ඖෂධ ටික මිලට ගෙන ලෙස අයැදිමින් අතපාමින් සිටියහ. කටුමැටි පැල්පත්වලින් සාගින්නේ හඬන සිය දරුවන් ද රැගෙන පිටතට ආවේ දරුවාට ආහාර බිඳක් අයදිමිනි. විවිධ නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන, ආබාධිත තත්වයට පත් වූ – සියලු වයස් කාණ්ඩවලට අයත් ගැහැණු, පිරිමි සහ ළමෝ සිය ගණනින් විනාඩි කිහිපක් ඇතුළත එක් රොක් වී සිටියහ.

 

මෙම පෙදෙස අතිශයින් මුඩු අතර, සැතපුම් ගණනක් යන තෙක් ජලය පොදක්වත් නැත. බොහෝ පවුල්වලට ‘සල්ලි කළ හැකි’ එකම දෙයකට ගෙයි හරියේ තිබුණේ තමන්ගේම සිරුරේ අවයව සහ ඉන්ද්‍රියයන් ය. බොහෝ දෙනා ඒ වන විටත් ඒවා විකුණා අවසන් ය. දැන් ඉතිරි වී සිටින්නේ දරුවන් පමණි.

මේ ගමේ, දරුවන් වෙනුවෙන් වකුගඩු විකුණූ අඹුසැමි යුවළක් සමග ස්කයි පුවත් සේවාව කතාබස් කළේය. ඔවුන්ට දරුවන් අට දෙනෙකි. එම ජීවිත අට වෙනුවෙන් ඔවුන් තීරණය කරගෙන සිටියේ කළ නොහැකි දෙයක් කරන්නට ය. 25 හැවිරිදි මව මෙසේ කීවාය.

”මාස 6 කට කලින් මගෙ අවුරුදු තුනේ පුතා බඩගින්නේ මැරුණා… මට ඒ හැමෝම මැරෙනව බලන් ඉන්න බෑ… අඩුම ගානෙ මේ විදියෙන් හරි.. කවුරු හරි කෙනෙක් එයාලට කන්න දෙයි..”

ඇය කිහිප වතාවක්ම සිය කතාව නතර කළේ මහ හඬින් හඬන්නට පටන් ගත් නිසා ය.

මේ අතර ඇගේ සැමියා කීවේ, කුමන දරුවා විකුණන්නදැයි තීරණය කර ගත නොහැකි බවයි. නමුත් වකුගඩුවක් තරම් දරුවෙකු මිල කළ නොහැකි බවත් ඔහු හෙළි කළේය.

”අපිට විකුණන්න කිසි දෙයක් ඉතිරි වෙලා නෑ. අපිට දරුවො විකුණන්නයි සිද්ධ වෙලා තියෙන්නෙ. ඇෆ්ගනි 20,000 කට වුණත් ඒක කරන තත්වෙට අපි පත් වෙලා. දරුවො බඩගින්නෙ අඬද්දි මට නින්ද යන්නෙ නෑ..”

(ඇෆ්ගනිස්ථානයේ මුදල් ඒකකය වන ඇෆ්ගනිවලින් ඒකක 20,000 ක් ලංකාවේ මුදලින් දළ වශයෙන් රු. 40,000 කට සමාන වේ)

මේ කතාව බොරුවක් – මිත්‍යාවක් – තලෙයිබාන් සංවිධාන කියයි

මෙය බටහිර මිත්‍යාවක් බවත්, බටහිර මාධ්‍යවලින් මැවූ බොරු කතාවක් බවත් තලෙයිබාන් සංවිධානය කියා ඇත. මේ වන විට ඇෆ්ගනිස්ථානයේ සියලු දැරියන් පාසල් යන බවත්, එම පාසල් සහ සරසවි විවෘත කර ඇති බවත්, දශක දෙකක් තිස්සේ වුණාක් මෙන්, ඔවුන්ගේ ආරක්ෂාවට දැන් ප්‍රශ්නයක් නැති බවත් තලෙයිබාන් සංවිධානය කීවේය!

මුරපොළක සිටින තලෙයිබාන් භටයෙක් Pic: Chris Cunningham

දේශසීමාව දිගේ වකුගඩු වෙළෙන්දෝ

හෙරත් නගරයේ ගම්වල වකුගඩු විකුණූ ගැහැණුන් ඇතැම්විට හමුවිය යුත්තේ කටුමැටි ගෙවල්වල කාමර තුළිනි. අතිශය සංස්කෘතික පසුබිම් සහිත ඇතැම් ස්ථානවල කාන්තාවන්ට නිවසින් පිටතට යන්නට පවා අවසර නැත.

ස්කයි මාධ්‍යවේදීන්ට අනුව මෙහිදී හමුවූ බොහෝ දෙනා යොවුන් හා තරුණ වියේ පසුවන යුවතියන් ය. නමුත් ඔවුහු දරුවන් සිටින මව්වරු වූහ. නැවත වරක් ගර්භනී තත්වයට පත් වූ අය ද ඒ අතර සිටියහ.

සාරෙට සිදු කෙරෙන වකුගඩු වෙළඳාමේ තිප්පොළවල් ක්‍රියාත්මක වන්නේ ඔවුන් ජීවත් වන ස්ථානවල සිට විශාල දුරකින් නොවේ. ඉරාන දේශසීමාව අසල වකුගඩු වෙළෙන්දෝ සහ තැරැව්කරුවෝ බහුල ය.

වකුගඩු විකිණීම සඳහා මේ දුප්පතුන් සැත්කම්වලට ලක්වීමට නගරයට යා යුතුය. මේ වන විට කාන්තාවන්ගෙන් ලබාගත් වකුගඩුවක් වෙනුවෙන් ඇෆ්ගානි 150,000 ක් ගෙවනු ලැබේ. වකුගඩුව විකුණන්නේ පිරිමියෙකු නම් ඇෆ්ගානි 200,000 ක් ගෙවයි. නමුත් බොහෝ දෙනා වකුගඩු වෙළඳාමට යොමුවීම තුළ මේ වන විට වකුගඩු මිල ද පහළ බසිමින් තිබෙන බව දැනගන්නට ලැබේ.

ඇෆ්ගනිස්ථානයේ සිවිල් පාලනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය බව කී, මීළඟ පරම්පරාවට මේ යුද්ධය රැගෙන නොයන බව කී ඇමරිකාවේ බයිඩන් පරිපාලනය සහ එක්සත් රාජධානිය වැනි රටවල් දැන්, ඇෆ්ගනිස්ථානයෙන් ලැබෙන වාර්තා දෙස මුව ගොළු වී බලා සිටියි. පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල එක්සත් රාජධානි නියෝජිතවරිය ලෙස කටයුතු කරන විදේශ ලේකම්වරිය ලිස් ටෲස් මෙම වාර්තා පිළිබඳ අතිශය කණගාටු වන බව සහ සැලකිලිමත් වන බව කියා තිබේ.

ලෝකයේ දරුණුතම ‘මානුෂීය විපතක’ (globe’s worst humanitarian disaster) කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් තිබෙන බවට ඇෆ්ගනිස්ථානය පත් වෙමින් තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි