ඒ නිම්නය අපරාජිත ය. කාබුල් නුවර සිට කිලෝමීටර 125 ක පමණ දුරින් පිහිටා තිබුණත්, තලෙයිබාන් සටන්කරුවන්ට කිසිසේත්ම මෙහි එන්නට නොහැකි වී තිබේ. මේ, ‘අපරාජිත නිම්නය‘ යැයි නම් ලද පන්ජ්ෂීර් නිම්නයේ (Panjshir Valley) කතාන්දරයයි.
තලෙයිබාන් විරෝධී සටන්කරුවන් කිහිප දහසක් එහි සිටිති. මෙවර 2021 අගෝස්තුවේ මුළු රටම තලෙයිබානයට නතු වෙද්දී ඔවුන් සූදානම් ශරීරයෙන් සිටියේ මෙසේ ය.
තලෙයිබානයට පමණක් නොව, සෝවියට් යුගයේදී පවා මෙය අපරාජිත නිම්නයක් ව පැවතියේය. ඒ අනුව 1980 දශකයේ පටන් එය විදෙස් ආක්‍රමණ පරාජය කළේය. දේශීය ආක්‍රමණද පරාජය කළේය.
මේ වන විට එහි බලය පවතින්නේ ‘‘ඇෆ්ගනිස්ථාන ජාතික ප්‍රතිරෝධී පෙරමුණ‘ National Resistance Front of Afghanistan (NRF) ය. ‘ප්‍රතිරෝධය‘ ගැන නම තුළින්ම කීම මගින් ඔවුහු නොබියව සිය අනන්‍යතාවය ප්‍රකාශ කරති.
‘‘රතු හමුදාවට අපිව පරාජය කරන්න බැරි වුණා.. අවුරුදු 25 කට කලින් තලෙයිබානයටත් බැරි වුණා.. නිම්නය අල්ලා ගන්න හැදුවත් ඔවුන් අසමත් වුණා.‘‘ යැයි අලි නසාරි කියයි. NRF අතිශය සංවිධානාත්මක ය. අලි නසාරි එහි විදේශ සම්බන්ධතා ප්‍රධානියා ය.
එය දීර්ඝ විහිදෙන, ගැඹුරු බිම් කඩ ගහණ දුහුවිලි වැකුණු නිම්නයකි. සැතපුම් 75 ක් හෙවත් කිලෝමීටර 120 ක් දුරට එය විහිදෙයි. එහි උතුරු ඉම දිවෙන්නේ කාබුල් වෙතට ය. අඩි 9,800 ක් තරම් උසට විහිදෙන කඳු මුදුන්වලින් සැදුණු කඳු වළල්ල විසින් නිම්නයට ආරක්ෂාව සලසයි. එය ස්වභාවික බාධකයකි. ඇෆග්නිස්ථානයේ ‘කන්දඋඩරට‘ මෙය යැයි ද කිව හැකිය.
නිම්නය බාහිර ලෝකය සමග විවෘත වන මාවත් තිබෙන්නේ එකකි. එය ද පටු පාරකි. නිම්නය වටා ඈතට නිල් පැහැයෙන් දිස්වන්නේ පන්ජ්ෂීර් ගංගාවයි. ගිරි දුර්ගය පාමුලම ජල දුර්ගයයි.
ඇතැමුන්ට අනුව මේ නිම්නය මායාවී බවකින් වෙළී ඇත. පිටස්තරයන් එයට මං මුළා වනු ඇත. මෙහි තිබෙන්නේ එක් තනි නිම්නයක් නොවන බවත්, උප නිම්න 21 කින් එය සුසැදි බවත් දැක ඔවුන් වික්ෂිප්ත වනු ඇත.
ප්‍රධාන නිම්නයේ ඈත කෙළවරේ සිට අඩි 14,534 ක් උසට ස්වභාවික දුර්ගයක් වන අන්ජොමාන් දුර්ගය විහිදෙයි. එය නැගෙනහිර දෙස පිහිටි හින්දුකුෂ් කඳුවැටිය දක්වාම විහිදෙන්නකි. ශ්‍රේෂ්ඨ ඇලෙක්සැන්ඩර් සහ මොන්ගෝලියානු ටිමූර් අධිරාජ්‍යයා යන දෙදෙනාටම මේ දුර්ගය ජය ගන්නා තෙක් මේ බිමට ඇතුල් වන්නට හැකි වුණේ නැත.
අතීතයේ ඇලෙක්සැන්ඩ්‍රියෙට් සහ අමතේස්ත වැනි අර්ධ මැණික් ගල් බහුල මෙම නිම්නය පුරා මේ වන විට ජල විදුලි බලාගාර රැසකි. සුළං මෝලක් ද ඇත. ඇමරිකාව එහි මාර්ග කිහිපයක් ඉදි කර දුන්නේය. තවද කාබුල් සිට එන රේඩියෝ තරංග ලබාගත හැකි වන පරිදි සම්ප්‍රේෂණ කුලුනකට ද ආධාර කළේය. ඇමරිකානු හමුදාව සිටි බග්රම් හමුදා කඳවුර පිහිටා ඇත්තේ නිම්නයේ සිට සුළු දුරකිනි. 1950 දශකයේ එය ඉදි කළේ සෝවියට්වරුන් විසිනි. ඒ මිස, නිම්නයේ බලය පතුරුවන්නට සෝවියට්වරුන්ට හෝ ඇමරිකානුවන්ට හැකි වුණේ නැත.
ලක්ෂ එකහමාරත් දෙකත් අතර ජනතාවක් මේ නිම්නයේ වෙසෙති. ඔවුන්ගෙන් බහුතරය ඩාරි බස කතා කරන්නෝ ය. එය ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන භාෂා දෙකෙන් එකකි. මේ ජනතාව ටජික් සම්භවය ඇත්තෝ ය.
ඇෆග්නිස්ථානයේ මිලියන 38 ක් වන ජනතාවගෙන් කාලක් පමණ සැදුම් ගන්නේ ටජික් සම්භවය ඇත්තන්ගෙනි. නමුත් ඔවුන් සිය අතීත මව්රට වන ටජිකිස්ථානය වෙත කත් අදින්නෝ නොවෙති. ඇෆ්ගනිස්ථානය තුළදී ඔවුන් ඇෆ්ගන්වරුන් ය. ඔවුන්ගේ අනන්‍යතාවය එයයි.
ඇෆග්නිස්ථානයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු සැලසුම් අධ්‍යක්ෂවරයා වරක් මෙසේ කියා ඇත.
‘‘මේ නිම්නයේ මිනිස්සු තමයි, ඇෆග්නිස්ථානයේ නිර්භීතම ජන කොට්ඨාසය..‘‘
ඉතිහාසය තුළ බ්‍රිතාන්‍යය, සෝවියට් දේය සහ තලෙයිබානය සමග ඔවුන් යුද වැදී තිබේ. ඔවුන් සැබවින්ම රණකාමී ය. නමුත් එය වෙනස් රණකාමිත්වයකි. සිය භූමිය රැක ගැනීම සඳහා සාමූහික හැඟුමෙන් කරන සටනකි.
2001 වසරේදී තලෙයිබාන් සංවිධානය පරාජය ලැබීමත් සමග එතෙක් දිස්ත්‍රික්කයක් ව පැවති මෙම නිම්නය ‘පළාතක්‘ බවට පත් විය. දැන් එය ඇෆග්නිස්ථානයේ කුඩාම පළාතයි.
තවද එය ස්වයං පාලන බලයක් සහිත ඇෆග්නිස්ථානයේ එකම පළාත ද වෙයි. එයට තිබෙන්නේ ප්‍රාදේශීය පාලනයකි. මෙම පළාතෙන් බිහිවන නායකයෝ ඇෆග්න් ආණ්ඩුවේ සහ හමුදාවේ ඉහළ නිලතල දැරුවහ. නමුත් මධ්‍යම රජය විසින් පළාත් ආණ්ඩු අවුල් කිරීමේ ආසියානු සම්ප්‍රදාය මේ පළාතට අදාළ කරගෙන නැත.
‘‘සාමාන්‍ය යෙන් පාලකයන් ජනතාවට වඩා ආණ්ඩුවට හිතෛෂී විය යුතුයි. නමුත් පන්ජ්ෂීර් වෙනස්..‘‘
එය බොහෝ දෙනෙකුගේ මතයයි.
ඇතැම්විට මෙවැනි නිම්න තවත් සිය ගණනක් ඇෆග්නිස්ථානයේ තිබෙනවා විය යුතුය. නමුත් කාබුල් නුවරට නුදුරින් පිහිටා තිබීම විසින් එයට උපාය මාර්ගික වැදගත්කමක් ප්‍රදානය කර තිබේ. නිම්නයේ පටු පිවිසුම ද තිබෙන්නේ කාබුල් අධිවේගී මාර්ගයට නුදරිනි.
ඒ අනුව මේ නිම්නය වැදගත් වන්නේ එය හුදෙකලා සටන් බිම් රැසකින් සැදුම් ගෙන ඇති නිසා පමණක් නොවේ. කඳුකර ගිරි දුර්ග නිසා පමණක් නොවේ. පන්ජ්ෂිර් වැසියන්ගේ මහා අභිමානවත්කම නිසා ද පමණක් නොවේ. මේ සියල්ලේ සංකලනයක් ලෙස ය.
විශ්වාස කෙරෙන්නේ පන්ජ්ෂීර් නිම්නයේ ආයුධ ගබඩාවන් ද පිහිටා ඇති බවයි. මේ නිම්නයේ සිටින්නේ සටන්කාමී ජනතාවක් බව පෙර ද කීවෙමු. මෙයට වසර 20කට පෙර ජනතාව අත ආයුධ රජයට භාරදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී තිබේ. නමුත් හමුදා නායකයන් නිම්නයෙන් බිහිවීම සහ ඇෆ්ගනිස්ථානයේ ජන නායකයන් වූ ඝානි සහ හමීඩ් කර්සායිගේ බටහිර ගැති බව පිළිබඳ සැක සංකා නිසාම නැවත වරක් නිම්නය තුළ ආයුධ ක්‍රමානුකූල ලෙස රැස් වී තිබේ. මේ අගෝස්තුවේ තලෙයිබාන් සංවිධානයට එරෙහිව ඔවුන් පාවිච්චි කළේ ඒ ආයුධ විය හැක.
නිම්නයේ තලෙයිබාන් විරෝධී හමුදාව මෙහෙයවන්නේ 32 හැවිරිදි තරුණ නායකයෙකු විසිනි. ඔහු අහමද් මසූඩ් ය. ඔහු 1980 සහ 90 දශකවල ප්‍රතිරෝධී නායකත්වය සැපයූවෙකුගේ පුත්‍රයා ය. එනිසා ඔහුට නිම්නය තුළ පවුල් බලයක් ද තිබේ. නිම්නයේ සටන්කරුවන් ඇෆ්ගන් හමුදාවට සහ විශේෂ කාර්ය බලකායට එක්ව විටින් විට සේවය කර ඇති බව අහමඩ් මසූද් වරක් පැවසීය.
පසුගියදා වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ඔහු ලිපියක් ලියමින් කියා තිබුණේ අනාගතයේදී උවමනා වේ යැයි සිතා සිය පියාගේ කාලයේ පටන්ම අවි ආයුධ පරිස්සමෙන් එකතු කර ගෙන නිම්නයේ තබා ඇති බවයි.
ඔහුගේ පියාට අන්වර්ථ නාමයක් විය. එහි තේරුම ‘පංජ්ෂීරයේ සිංහයා‘ ය. ඔහු සෝවියට් සහ තලෙයිබාන් බලයට එරෙහිව සටන් වැදුණු මුජහිදීන් කමාන්ඩෝවරයෙකි. පංජ්ෂීර් යන නමෙහි තේරුම ද ‘පංච සිංහ‘ හෙවත් සිංහයන් පස්දෙනෙකුගේ බලයැති යන්නයි.
අහමද් ෂා මසූඩ් හෙවත් අහමද් මෂූඩ්ගේ පියා නිම්නයේ මහත් ජනප්‍රියත්වයක් උසුළන්නෙකි. ඇතැම් නිම්න වැසියන් ඔහුගේ ඡායාරූපය සිය නිවෙස්වල පවා එල්ලාගෙන සිටිති. නිම්නයේ බිල්බෝඩ් ඇතැමක් ද ඔහුගේ රුවින් සැරසී තිබේ. 1978 වසරේදී PDPA හෙවත් ඇෆ්ගනිස්ථානයේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලය ලබාගත්තේය. නමුත් මේ කොමියුනිස්ට් පාලනයට පංජ්ෂීරයේ සිංහයා එරෙහි විය. එය කොතරම් දුර දක්නා තීරණයක් දැයි පෙනුණේ එයට පසු වසරේදී කොමියුනිස්ට්වාදයේ කර මතින් සෝවියට් රුසියාව ඇෆග්නිස්ථානය ආක්‍රමණය කළ විට ය. ක්‍රමයෙන් ඔහු ‘සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේ මහජන විරෝධයේ පැතිකඩ‘ බවට පත් විය. ඔහුගේ ජනකාන්ත බව පිළිබඳ බටහිර මාධ්‍ය ද වරින් වර කතා කළේය.
ඒ කාලයේ සිටි කැරළි නායකයන්ට වඩා අහමඩ් ෂා මසූඩ් අතිශය වෙනස් කෙනෙකු වූ බව ඉතිහාසය කියයි. මනා උගතෙකු වූ ඔහු ප්‍රංශ බස කතා කිරීමට දැන සිටි මෘදු ව බස හසුරුවන පෞරුෂයක් විය. සෙසු මුජහිදීන් කමාන්ඩෝවරුන් යනු රළු, සැර පරුෂ අය වූ නමුත් ඔහු එසේ නොවීය. 2005 වසරේදී හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් අහමද් ෂා මසූඩ් යුධ අපරාධ කර ඇතැයි පැවසුවත්, ඔහුගේ ජනප්‍රියත්වය අඩු වූයේ නැත.
1980 -85 අතර කාලයේදී සෝවියට්වරු නිම්නයට පහර දීමට උත්සාහ කළහ. නමුත් සෝවියට් මෙෂින් තුවක්කුවලට නිම්නයේ හඬ පරදවන්නට බැරි විය. 1979 කාලයේ නිම්නයට ගොඩ බට සෝවියට් හෙලිකොප්ටරයක් අද මළකඩ කෑ කෞතුක වස්තුවක් බවට පත් ව ඇත. කුඩා කාලයකට නිම්නය තුළ සෝවියට් හමුදාව සිටියත් ඉක්මනින්ම ඔවුහු එයින් ඉවත් වූහ.
පියා මිය යන විට අහමද් මසූඩ් ගේ වයස 12 කි. ලන්ඩනයේ ඉගෙන ගත් ඔහු වසරක් පමණ රාජකීය හමුදා ඇකඩමියේ පුහුණුව ලැබුවේ සැන්ඩ්හර්ස්ට්ස් හිදී ය. පියාට මෙන්ම ඔහුට ද ජන ආකර්ෂණය නොමද ව ඇත. පියා මෙන්ම ඔහු ද චාම් මිනිසෙකි. ඔහු කිසිවිටෙක නිම්නයේ බලය අවතක්සේරු නොකරනවා මෙන්ම අධිතක්සේරු ද නොකරයි. ඔහු වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ඉංග්‍රීසි බසින් ලිපි ලියයි. නිම්නය රැක ගැනීමට ඇති අවශ්‍යතාවය මෙන්ම බාහිර ලෝකයෙන් හුදෙකලා නොවීමේ අවශ්‍යතාවය ද ඒවායින් අවධාරණය කෙරේ.
තලෙයිබානය ඉදිරියේදී මේ අපරාජිත නිම්නයේ කුමක් කරාවිදැයි නිශ්චිතව කිව නොහැකි නමුත්, සියවස් ගණනක් මුළුල්ලේ ඔවුන් චිරාගත ලෙස අභිමානවත් ලෙස සුරැකී තිබේ. ඉතිහාසය නැවත නැවතත් සිදුවේ නම්, පන්ජ්ෂීර් නිම්නය හෙටත් හරිත ගිරි දුර්ගයක් ලෙසින් තමන්ගේ ආරක්ෂාව තමන්ව සලසා ගන්නවා ඇත.