×

දළ රහිත ඇතුන් ඉපදෙයි – සොබාදහම මිනිසාගේ තෘෂ්ණාවට උත්තර බඳියි

ඇතින්නියන්ගෙන් 1/3 ක්ම මේ වන විට බිහිකරමින් සිටින්නේ උපතින්ම ඇත් දළ රහිත ඇත් පැටවුන් ය!


ඇත් දළ ජාවාරම ලොව පුරා යහමින් සිදුවන්නේ හරියට ඇතුන් සිටින්නේ මිනිසාට දළ දෙන්නට යැයි මිනිසා සිතා සිටින කලෙක මෙනි. සතුන් සිටින්නේ මිනිසාට මරාගෙන කන්නට ය, සතුන්ගෙන් යැපෙන්නට ය වැනි ආත්මාර්ථකාමී සිතිවිලිවල නිමග්න වී සිටින මිනිසාට දැන් සොබාදම් දිනිතිය විසින්ම අපූරු දඬුවමක් ලබා දෙමින් තිබේ.

ඒ අනුව, දැන් දැන් අප්‍රිකානු අලි ඇතුන් පරිණාමය වෙමින් සිටින්නේ ඉතා කුඩා දළ සහිතව වැඩෙන්නට ය!

ඇත් දළවලට මේ හැටි ඉල්ලුමක් ඇයි?

මිනිසා පැමිණ දළ කපා නොගන්නේ නම් අවුරුදු 48 සිට අවුරුදු 70 දක්වා ආයු කාලයකට හිමිකම් කියන අලි ඇතුන්, ලංකාවේ තැනින් තැන හොර රහසේ දඩයම් වන විට අප්‍රිකාව තුළ බුරුතු පිටින් දඩයම් වෙමින් තිබේ. අප්‍රිකානු ඇතුන්ගේ දළ සුවිශාල ඒවා වීම නිසා අන්තර්ජාතික කළු කඩය තුළ ඒවාට තිබෙන්නේ අති මහත් ඉල්ලුමකි. කුඩා හෙලිකොප්ටර සහ ඇතැම්විට කුඩා ගුවන් යානා පවා යොදාගෙන අප්‍රිකානු සැවනාව තුළ ඇතුන්ට වෙඩි තබනු ලැබේ. ඒ, ගුවනින් ගොස් වෙඩි තබන විට උන්ට පළා යාමට ඇති ඉඩකඩ අවමයක් කරමිනි.

1989 වසරේදී Convention on International Trade in Endangered Species (CITES) මගින් අන්තර්ජාතික ඇත් දළ වෙළඳාම තහනම් කර තිබුණත් එය තවමත් හොර රහසේ සිදු වේ. ඒ තහනම නිසාම ඇත්දළවල වෙළඳපොළ මිල ද නොසෑහෙන්නට ඉහළ ගියේ ඒවා දුර්ලභ වස්තු බවට පත් කරමිනි.

ලෝකයේ බොහෝ රටවල තත්වය එසේ ය. උදාහරණයක් වශයෙන් 2017 වසරේදී චීිනය ඇත් දළ වෙළඳාම රට තුළ තහනම් කළේය. නමුත් අදටත් චීනය තුළ ඇත් දළ, රත්තරන් වලටත් වඩා වටියි.

ඇත් දළවලින් ලබාගන්නා අමුද්‍රව්‍යවලට ලෙඩ රෝග සුවකිරීමේ, සරු බව ඇති කිරීමේ විස්මිත හැකියාවක් ඇති බවට පවතින විශ්වාසය, ඇත්දළවල මහේශාක්‍ය පෙනුම යනාදී හේතු ගණනාවක් මත ඇති කරගන්නා මිනිස් තෘෂ්ණාව විසින් සත්ව ලෝකයේ සද්දන්තයා ක්‍රමයෙන් තුරන් කරමින් තිබේ.

නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ‘කුඩු කරන ලද ඇත්දළ‘ හෙවත් ඇත් දළ ‘පව්ඩර්‘වල මේ කියන ආකාරයේ කිසිදු ඖෂධීය ගුණයක් ඇති බව සනාථ කර නැත.

FILE PHOTO: A Kenya Wildlife Service ranger stacks elephant tusks on a pyre near Nairobi, Kenya April 20, 2016. REUTERS/Thomas Mukoya/File Photo
කෙන්යාවේ නයිරෝබි නුවරදී ගිනි තබා විනාශ කෙරෙුණු ඇත් දළ තොගයක්

නමුත් දැන් සොබාදම් දිනිතිය මිනිසාගේ මේ තෘෂ්ණා රෝගයට ස්වභාවික ඔසුව ආලේප කර තිබේ. එය නම් අන් කිසිවක් නොව ‘පරිණාමය‘ යි. පසුගියදා National Geographic සඟරාවේ පළ වූ ලිපියකට අනුව ස්වභාවික වරණය (නැචුරල් සිලෙක්ෂන්) විසින් ඇත්දළ රහිත ඇත් පැටවුන් මේ ලෝකයට වඩාත් සුදුසු යැයි සොබාදහම විසින් තීරණය කරමින් තිබේ.

සොබාදම් දිනිතියගේ උත්තරය

නැෂනල් ජියෝග්‍රැෆික් වාර්තාවට අනුව මේ වන විට මොසැම්බික් රාජ්‍යයේ ඇත් දළ රහිත ඇත් පැටවුන් ඉපදෙමින් තිබේ. මොසැම්බික් හි විද්‍යාඥයෝ මේ දළ නැති ඇත් පැටවුන්ගේ ජාන විද්‍යාව තේරුම් ගැනීමට යුහුසුළු වෙමින් සිටිති. එසේ සිදුව තිබෙන්නේ මන්දැයි වටහා ගනිමින් සිටිති.

elephant playing baby calf
Poachers focus on elephants with tusks — and spare those without.

අතීතයේ නම් මොසැම්බික් රාජ්‍යයේ මෙසේ දළ රහිත ඇත් පැටවුන් ඉපදුණේ ඇතින්නියන් 2%ත් 4%ත් අතර ප්‍රමාණයකට ය. නමුත් ගතවූ කාලයේ මේ උපත් අනුපාතිකය අති විශාල ප්‍රමාණයකින් ප්‍රගුණනය වී ඇත. මේ වන විට ඇතින්නියන්ගෙන් 1/3 ක්ම බිහි කරමින් සිටින්නේ ඇත් දළ රහිත පැටවුන් ය!

ඇතුන්ගේ චර්යා රටාවන් පිළිබඳ විශේෂඥයෙක් සහ නැෂනල් ජියෝග්‍රැෆික් පර්යේෂකයෙකු වන ජොයිස් පූල් පවසන්නේ මෙය ඇත් දළ ජාවාරම්කරුවන් නිසා ඇතුන්ගේ ගහණයට ඇති වී තිබෙන බලපෑම නිසා ඔවුන් විසින් පරිණාමය තුළ යොදාගන්නා ආරක්ෂක උපක්‍රමයක් බවයි. දළ පිණිස ඇතුන් මරාදැමීම නිසා ඇත් ගහණය වඳ වී යාමේ තර්ජනය මතුව ඇති අවස්ථාවේ, මිනිස් සතා මේ උවදුර මැඬලීමට අසමත් වූ විට ඇතුන් විසින්ම සොබාදම් මෑණියන් සමග එක්ව එයට ප්‍රතිකාරය සොයාගෙන ඇති අයුරු විස්මිත ය.

මූලාශ්‍රය- Bussiness Insider




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි