×

පුටින් ට එරෙහිව සුවිසල් ම හඬ නැඟි රුසියානුවාත් දහතුන් වසරකට හිරගෙට!

රුසියාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට වසර 13 ක සිරදඬුවමක් අධිකරණය විසින් නියම කර තිබේ.


ඒ මහා පරිමාණ වංචා හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට ඔහු වරදකරු කරමින්.

ඇලෙක්සි යනු රුසියාවේ ජනපති ව්ලැදිමිර් පුටින් ප්‍රමුඛ ක්‍රෙම්ලින් පාලනාධිකාරිය දරුණුවටම විවේචනය කළ ප්‍රධාන දේශපාලන ක්‍රියාධරයායි.

ඉහත චෝදනා වලට වැරදිකරු කරමින් ඇලෙක්සිට දහතුන් වසරක සිරදඬුවම් පැමිණවීමට රුසියානු අභිචෝදකයන් ඉල්ලා සිටියේ මීට සතියකට පමණ ඉහත දී ය.

ඒ අනුව අද (22) දින අධිකරණ තීන්දුව ප්‍රකාශ කරමින් රුසියාවේ හිටපු විපක්ෂ නායකවරයා ට එම සිරදඬුවම ලබා දීම සිදුවිය.

අභිචෝදකයන් ඉල්ලා සිටියේ ඉහත වරදට අදාළව උපරිම සිරදඬුවම් සහිත මැදිරි පරිශ්‍රයක ඇලෙක්සි රඳවන ලෙසයි.

45 හැවිරිදි ඇලෙක්සි අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් වර්ෂයේ ජනවාරි මස දී ජර්මනියේ සිට පුනරුත්ථාපනය වී යළි නිවෙස් බලා පැමිණෙමින් සිටිය දී ය. ඔහු පුනරුත්ථාපනය වූයේ ඊට ද වසරකට ඉහත දී ගුවන් ගමනක් අතරතුර විෂ ශරීරගත වීමක් සමඟ රෝහල් ගත වීමෙන් අනතුරුව ය.

ඇලෙක්සි දිගින් දිගටම චෝදනා කරනු ලැබුවේ මෙසේ විෂ ශරීරගත වීම රුසියානු රජය විසින් තමා ඝාතනය කිරීමට සූක්ෂම ව දියත් කළ සැලසුමක් බවයි.

ඇලෙක්සි පුටින් ප්‍රමුඛ රජය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මත ඔහු නිහඬ කිරීමට විවිධ අවස්ථා වල රාජ්‍ය අනුග්‍රහය ලද ක්‍රියාන්විතයන් දියත් වී ඇති බවත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස සාවද්‍ය ලෙස මුදල් අක්‍රමිකතා චෝදනා මත ඔහුව සිරභාරයට ගැනීමට රුසියානු රජය කටයුතු කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත්, මෙම චෝදනා රුසියානු රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඇලෙක්සි ගේ දේශපාලන ව්‍යාපාර වලට ලැබි පවුම් මිලියන 3.5 ක ආධාර සොරකම් කිරීමේ චෝදනාව මත වසර තුනහමාරක සිරදඬුවමක් ඔහුට පනවා තිබිණි. මෙම චෝදනාව ඇලෙක්සි විසින් ප්‍රතික්ෂේප කරයි.

ඔහු රඳවාගෙන සිටි රුසියාවේ මොස්කව් නගරයේ නැගෙනහිර කලාපයේ උපරිම ආරක්ෂාව සපයා ඇති බන්ධනාගාරය තුළදී ම වංචා හා අධිකරණයට අපහාස කිරීමේ නව චෝදනා වලට අදාළ නඩු පැවරීම සිදුවූ අතර, ඊට අදාළ නඩු කටයුත්ත ද බන්ධනාගාර පරිශ්‍රය තුළදී සිදුවිය.

ඒ අනුව, ඉහත චෝදනා වලට අද දින වරදකරු වන ඇලෙක්සි නවාල්නි වසර 13 ක සිරදඬුවමක් විඳීමට නියමිත ය.

ඡායාරූප: ස්කයි නිව්ස්

ප්‍රජාතන්ත්‍රවාදය හිරේ යවා හුරේ තබන්නට උගනිමු රුසියාවෙන්!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි