×

ඇමසන් වැසි වනයේ ආදිවාසීන්ට තෙල් සමාගම් පැරදුණු හැටි

ඉක්වදෝර ආදිවාසීන්ට අධිකරණයෙන් විශිෂ්ට ජයක්. ඇමසන් වනයේ අක්කර මිලියන ගණනක් රැක ගනිති.


ඉක්වදෝරයට අයත් ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වන වාවොරානි ආදිවාසීන් (The Waorani people of Pastaza) මතක ඇති කාලයේ පටන්, පරම්පරා ගණනාවක්ම ජීවත් වුණේ ඇමසන් වැසි වනය තුළ ය. බහුජාතික තෙල් සමාගම් ගණනාවක් ඔවුන්ගේ ජීවන නිකේතනය වනසා දමන්නට සැරසෙද්දී ඔවුහු නොබියව අධිකරණයට ගියහ. නඩුව ජයග්‍රහණය ද කළහ.

ඇමසන් වැසි වනය ගැන නොදන්නෝ කවුරුන්ද? එය ලෝකයේ ලොකුම සහ වැඩිම ඝනත්වයෙන් යුත් වනාන්තර පරිසර පද්ධතියයි. ලෝකයේ රටවල් 9 ක් හරහා දිවෙන ඇමසන් වැසි වනය මිලියන ගණනක් වූ ශාක සහ සත්ව විශේෂයන්ට සෙවණ සදයි. ලෝකයේ පෙණහැල්ල යන අන්වර්ථයෙන් හඳුන්වන මෙය, ලෝකයට අවශ්‍ය ඔක්සිජන් වායුවෙන් 80%ක්ම සිය හරිත වන වැස්මේ ප්‍රභාසංස්ලේෂණය හරහා අපට දායාද කරයි. සිය ගණනක් වූ ඇමසන් ගෝත්‍රයන් ද මේ වැසි වනය තුළ, බාහිර ලෝකයෙන් හුදෙකලාව තවමත් ජීවත් වෙති.

Ecuador Rainforest Amazon River
ඉක්වදෝර වැසි වනය හරහා ගලා බසින ඇමසන් නදිය

අධිකරණයේදී ජය ලැබූ හැටි

තෙල් සමාගමක් සිය හරිත නිවහනට අත තබන්නට එන බව දැනගත් විට මේ ආදිවාසීන් එය සුළුකොට තැකුවේ නැත. එය දීර්ඝ නීතිමය අරගලයක් විය. පරිසරයට හා ආදිවාසී අයිතිවාසිකම්වලට හිතැති සංවිධාන ගණනාවක්ම මේ සටනේදී ඔවුන්ට සහයෝගය ලබාදුන්හ.

  • අවසානයේ විශාල තෙල් සමාගම් විසින් පොළොව කණිමින් තෙල් සම්පත හූරා ගැනීම නතර කරන ලෙසට අධිකරණ නියෝගය ලැබිණි.
  • එය සිදු කෙරුණේ වාවොරානි ආදිවාසීන්ට අයත් නිජබිම් තෙල් සමාගම්වලට වෙන්දේසි කිරීම අත්හිටුවීම මගිනි.
  • පැස්ටාසා පළාත් අධිකරණයේ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයක් විසින් මේ තීන්දුව ලබාදීම සිදුවිය.
  • 2012 වසරේදී ඉක්වදෝර ආණ්ඩුව තෙල් සමාගම් සමග මේ ඉඩම් මිලට ගැනීම් සම්බන්ධයෙන් එළඹුණු ගිවිසුම් ‘ශුන්‍ය සහ බල රහිත බව‘ එහිදී ප්‍රකාශ විණි.
  • ඒ අනුව ඇමසන් වැසි වනයෙන් අක්කර මිලියන භාගයක් රැක ගැනීමට ඔවුන්ට හැකි විය.

මේ නඩු තීන්දුව විසින් මේ වන විට ඉක්වදෝර ඇමසන් වනයේ වෙසෙන තවත් ආදිවාසී ගෝත්‍රයන්ට ද කදිම පූර්වාදර්ශයක් සපයා දී තිබේ.

අක්කර මිලියන 7 ක ආදිවාසී භූමියක් පුරා විහිදී තිබෙන තෙල් නිධි 17 ක් මෙම සමාගම් විසින් හඳුනාගෙන තිබූ බව පැවසේ.

පරිසරයට හිතැති සම්මානනීය හොලිවුඩ් නළු ලියනාඩෝ ඩි කැප්රියෝ, මේ ජයග්‍රහණය ගැන ට්විටර් සටහනක් පළ කර තිබුණේ මෙසේ ය.

ඉක්වදෝර ආණ්ඩුව කළ දේ

ඉක්වදෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඇමසන් වනය වනාහී අන්සතු කළ නොහැකි, ප්‍රමාණයෙන් සීමා කළ නොහැකි ආදිවාසී උරුමයකි. නමුත් මෑත කාලයේ දැකගත හැකි වන්නේ ඉක්වදෝර ආණ්ඩුව මෙම ස්වභාවික සම්පත රැක ගැනීම වෙනුවට විකිණීම වෙත අවධානය යොමු කරන බවකි. සෘජු සාක්ෂි නැතිවුවද විශ්වාස කෙරෙන්නේ තෙල් සමාගම් සහ ඉක්වදෝර ආණ්ඩුව අතර මේ සම්බන්ධයෙන් විවිධ එකඟතා පවතින බව ය. ආණ්ඩුවේ ප්‍රධානීන්ට මේ සඳහා අල්ලස් ලැබෙන බව ද කියයි.

River Amazon Rainforest
ඇමසන් නදිය මැදින්

ඉක්වදෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇමසන් වනය රැක ගැනීම සඳහා විශේෂිත ප්‍රතිපාදන තිබේ. එයින් සමහරකට අනුව ඇමසන් භූමිය තුළ පවතින යම් භූ සම්පත් කැණීමට හෝ පරීක්ෂා කිරීමට නම් මුලින් ඒ සඳහා ජනතාවගෙන් අවසර ලබාගත යුතුය. එවැනි උත්සාහයක් මගින් ආදිවාසී ප්‍රජාවට සිදුවන පාරිසරික හා සංස්කෘතික හානිය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. තමන් මේ ගිවිසුම්වලට එළඹීමට පෙර 2012 වසරේදී මේ සියලු අවශ්‍යතා තෘප්ත කළ බව නඩුවේදී ඉක්වදෝර ආණ්ඩුව පැවසුවේය. නමුත් ආදිවාසීන් මේ ගැන දැනුවත්ව සිටියේ නැත. පෙනෙන්නට තිබුණේ මෙය හුදෙක් ආණ්ඩුවේ උවමනාවට, ප්‍රශ්නගත ප්‍රජාවන් නොසලකා හරිමින් කළ සැලසුමක් බවයි.

අවසානයේ විනිසුරුවරුන් නඩු තීන්දුව දෙමින් කියා සිටියේ, නීතියේ යම් අඩුපාඩුවක් පවතියි නම් අන්තර් ඇමරිකානු මානව හිමිකම් අධිකරණයේ මගපෙන්වීම් අනුගමනය කරන ලෙස ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය නම් නව ප්‍රතිපාදන මෙහිදී හඳුන්වා දිය හැකි බව ද ඔවුහු පැවසූහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි