නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අගනුවර ළමා වියේ තරබාරුකම හෙවත් ළමා ස්ථූලතාවය අඩු කිරීමට සාර්ථක ලෙස සමත් වී තිබේ.
ඇම්ස්ටර්ඩෑම් නගරයේ බොහෝ පාසල්වල දරුවන්ට පළතුරු යුෂ සහ කේක් ලබාදීම තහනම් ය.
ඒ වෙනුවට ඔවුන්ට සෞඛ්‍යමත් ආහාර සහ ජලය පමණක් ලබා දෙයි.
ඇතැම් පාසල් විසින්, දෙමාපියන් ඉල්ලීම් නොකරන්නේ නම්, දරුවන්ට ක්ෂණික කෑම (ෆාස්ට් ෆුඩ්ස්) ලබා නොදෙන ලෙස ද අවන්හල්වලින් ඉල්ලීම් කර තිබේ.
මෙයට අමතරව අඩු ආදායම්ලාභී පවුල්වලට ක්‍රීඩා සඳහා ආධාර ලබාදීම ද සිදු කරනුයේ එමගින් දරුවන්ගේ ස්ථූලතාවය මර්දනය වීමට පිටිවහලක් වන බැවිනි.
මේ අතර, ගෙයින් ගෙට ගොස්, දරුවන්ට හොඳ ආහාර පුරුදු කියා දෙන ස්වෙච්ඡා කණ්ඩායම් ද නගරයේ වෙති.
කළ යුත්තේ කුමක්ද කියා දරුවන්ට කියනු වෙනුවට ඔවුන්, නොකළ යුත්තේ කුමක්ද කියා දරුවන්ගෙන්ම ඇසීම සිදු කරයි.
ඇම්ස්ටර්ඩෑම් නගරයේ සුපිරි වෙළඳ සැල් ද මේ වන විට සෞඛ්‍යමත් ආහාර පමණක් සිය රාක්කවල තැබීමට උත්සුක වෙමින් සිටිති.
මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේ පටන් 2015 වසර දක්වා කාලය තුළ නගරයේ දරුවන් අතර අධික තරබාරුව 12%කින් අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇත.
දරුවන්ගේ තරබාරුකම පිටු දැකීම කෙරෙහි අවධානය යොමු කර ඇති ලෝකයේ එකම නගරය ඇම්ස්ටර්ඩෑම් නොවේ.
එංගලන්තයේ ලීඩ්ස් නගරය ද මේ වෙනුවෙන් වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවයි.
ඔවුන් ඒ සඳහා දෙමාපියන් දිරිමත් කිරීමට පියවර ගෙන තිබේ.
දරුවන් සමග උද්‍යානවලට ගොස් ඔවුන් සමග ක්‍රියාකාරකම්වල නියැළීමට ද මෙමගින් දිරි ගැන්වේ.
හොඳ දේ කරන දරුවන් සඳහා ‘තෑගි‘ ලෙස ආහාරමය නොවන දේ ලබාදීමට ද ඔවුන්ට උගන්වනු ලබයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙසට 2016 සිට 2017 දක්වා වසරක කාලය තුළ වයස අවුරුදු 4-5 අතර ස්ථූල දරුවන් ගේ සංඛ්‍යාව 625 කින් අඩු කර ගැනීමට ලීඩ්ස් නගරය සමත් වී ඇත.
නමුත් තවමත් ලීඩ්ස් නගරය ගිය මගෙහි කිසිදු එංගලන්ත නගරයක් යාමට සමත් වී නැත.
එංගලන්තයේ වයස 2-15 අතර දරුවන්ගෙන් 28%ක් අධික තරබාරුවෙන් හෝ බර වැඩි කමෙන් පීඩා විඳිති.
අධික තරබාරුව සහ බර වැඩිකමෙහි ප්‍රතිඵල ලෙස බඩවැලේ පිළිකා හෝ වැඩිහිටි වියේදී ආඝාතය (මොළයේ රුධිර කැටි සිරවීම) නිසා අංශභාගය වැනි රෝගී තත්ව හටගැනීමට ඉඩ ඇත. හෘදයාබාධ, අධි රුධිර පීඩනය යනාදී රෝග ගණනාවක ද අවදානම මේ නිසා අධික වේ.
වාර්තාවලට අනුව වයස අවුරුදු 5 දී තරබාරු බවෙන් පෙළෙන දරුවන්, තරබාරු වැඩිහිටියන් බවට පත්වීමේ ඉඩකඩ 5 ගුණයකි.
මේ නිසා ළමා වියේදීම ස්ථූලතාවය අඩු කර ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් ය.
නෙදර්ලන්තය, එංගලන්තය වැනි රටවල් ඒ සඳහා දැනටමත් වැඩ ආරම්භ කර තිබියදී රටක් වශයෙන් අප සිටින්නේ කොතැනද?
Cover Photo: BBC