×

Analysis: එක රටක් – එක නීතියක් මග යන චීනය, අවසානයේ බුදු පිළිම වනසයි!!

2001 වසරේදී ලෝකය සසල වූයේ තලෙයිබාන් සංවිධානය විසින්, සහශ්‍ර වර්ෂයක් සුරැකී තිබූ, 6 වන සියවසේදී නිර්මාණය කළ ලොව විශාලතම හිටි බුදු පිළිම වූ 'බාමියන් බුදු පිළිම' ද්විත්වය මෝටාර් ගසා විනාශ කිරීමත් සමග ය.


‌මේ සංස්කෘතික සංහාරයට නොදෙවෙනි සංස්කෘතික සංහාරක් චීනය විසින් ටිබෙටයේ සිදු කරමින් තිබෙන බවට නවතම සාක්ෂියක් දැන් තිබේ. ඒ, අඩි 99 ක් උස, එනම් තුන් මහල් ගොඩනැගිල්ලක් තරම් උස බුද්ධ ප්‍රතිමාවක් විනාශ කිරීමත් සමග ය. මේ සමග දැක්වෙන ප්‍රධාන ඡායාරූපය, එසේ විනාශ කළ බව කියන දැවැන්ත පිළිමයේ ය.

එදා තලෙයිබාන් සංවිධානය, අන්තර්ජාතික මාධ්‍යවේදීන් හට බුදු පිළිම විනාශය සියැසින් දැක බලා ගැනීමට සැලැස්වූයේ උත්සවකාරී ලෙස ය. බාමියන් බුදු පිළිම විනාශය ලෝකය සජීවී ව දැක ගත යුතුයැයි ඔවුන් විශ්වාස කළාක් මෙනි. ඒ, ‘බුදු පිළිම විනාශ කිරීමේ තලෙයිබාන් ක්‍රමය’ යි.

2021 වසරේදී බාමියන් බුදු පිළිම විනාශ වී වසර 20 ක් සපිරුණි. 2021 දෙසැම්බර් මාසයේදී චීනය, තලෙයිබාන් ක්‍රමයට බුදු පිළිම විනාශ කළේ තලෙයිබානය සමරමින්ද?

නමුත් එක වෙනසක් විය. එදා තලෙයිබාන් සංවිධානය විසින් බුදු පිළිම විනාශ කරන විට ලෝකයම එයට විරුද්ධ විය. නමුත් චීනය හරියටම අවුරුදු 20කට පසු එයම කරන විට ලෝකය අනෙක් පැත්ත බලා ගත්තේය!

ජාත්‍යන්තර මාධ්‍ය විසින් පවා සීමිත වාර්තාකරණයක යෙදුණු මෙම සිද්ධිය ගැන දැන් සවිස්තරාත්මක තොරතුරු හෙළි වෙමින් තිබේ.

2021 දෙසැම්බර් මාසයදී සිචුආන් පළාතේ ටිබෙට් ආශ්‍රමයක පිහිටා තිබූ අති දැවන්ත බුද්ධ ප්‍රතිමාව චීනය විසින් විනාශ කර දමන්නේ ටිබෙට් ජාතිකයන් ගණනාවක් අත්අඩංගුවට ද ගනිමිනි. යාඥා චක්‍රද පුළුස්සා දමනු ලැබිණි.

සිචුආන් පළාතේ මෙම බෞද්ධ ආශ්‍රමය පිහිටා තිබෙන්නේ චීන පාලනයට නතු නොවූ කලාපයක්, එනම් ස්වයං පාලන කලාපයක් තුළ ය. ප්‍රහාරයට පෙර චන්ද්‍රිකා ඡායාරූපවල දැකගත හැකි ආශ්‍රමය වෙනුවට ප්‍රහාරයෙන් පසු චන්ද්‍රිකා ඡායාරූපවල දැකගත හැකි වූයේ හිස් තැනකි. බුදු පිළිමය සමග ආශ්‍රමය ද චීන නිලධාරීන් විසින් බිමට සමතලා කර තිබිණි.

තවද මෙම ප්‍රහාරය එක් දිනකදී සිදුවූ දෙයක් ද නොවේ. මේ වන විට හෙළිදරව් වී ඇති අන්දමට 2021 දෙසැම්බර් 12 වැනිදා ආරම්භ වූ මෙම ප්‍රහාරය හෝ විනාශ කිරීම, දින 9 ක් මුළුල්ලේ සිදු කෙරී තිබේ. මෙම ආශ්‍රමයේ තිබූ බෞද්ධ ඇකඩමියේ සිටි භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුනීන් වහන්සේලා පළවා හැර ඇති අතර, ඔවුන්ගේ නවාතැන් ස්ථාන ද විනාශ කර දමා තිබේ.

 

මෙය හදිසි අනතුරක් නොවේ. සිතා මතා කළ දෙයකි. සිදුවූයේ සියලු දෙනා ඉදිරිපිටදී ය. සියලු දෙනාට පෙනෙන පරිදි ය. චීන හමුදාව විසින් අසල නගරයේ සිටින ටිබෙට් වැසියන් එක්රැස් කර මෙම ප්‍රහාර නරඹන ලෙස ඔවුන්ට බල කර තිබේ.

කතාව මෙතැනින් අවසන් නොවේ. චීන බලධාරීන් විසින් ඉන් පසුව ටිබෙට් භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක් අත්අඩංගුවට ද ගෙන තිබේ. බුදු පිළිම විනාශය සිදුවන විට රැඳවුම් භාරයේ ද ඇතැම් භික්ෂූන් තබාගෙන තිබිණි.

චීනය කියා තිබෙන්නේ ටිබෙට් බුද්ධාගමට ”පාඩමක් ඉගැන්වීම සඳහා” මෙසේ කළ බව ය!

චීනය ටිබෙටයට උගන්වන පාඩම කුමක්ද?

ටිබෙටය චීනය ඉදිරියේ අද දක්වා ද දණින් නොවැටී සිටීමට එරෙහිව පාඩමක් ඉගැන්වීම ට චීනයට අවශ්‍ය වී තිබේ. චීනය අන් ආගම් ඉවසන්නේ නැත. චීනය විසින් උයිගුර් මුස්ලිම් ජනතාව මහත් සේ පීඩාවට පත් කරයි. ආගමික සුළුතරයන් චීනයේදී ප්‍රබල අගතීන්ට ලක් වේ. මේ අතර චීනය සිය රට තුළ වෙනත් නීතිවලින් පාලනය වන කලාප තිබීම ඉවසන්නේ ද නැත. සිචුආන් පළාතේ ස්වයං පාලන කලාපයක තිබූ ටිබෙට් බෞද්ධ ආශ්‍රමයකට ප්‍රහාර එල්ල වන්නේත්, චන්ද්‍රිකා ඡායාරූපවල හිස් තැනක් පමණක් ඉතිරි කරමින් මුළු ආශ්‍රමයම බිමට සමතලා වන්නේත් ඒ නිසා ය.

මෙයින් නොනැවතී මෙම ප්‍රහාරය පිළිබඳ පුවත ව්‍යාප්ත කරන අයට ද චීනය දඬුවම් කරමින් සිටියි. සිය නිවෙස්වලට පිටතින් බෞද්ධ ධජ එල්ලා ගෙන සිටීම පවා මේ වන විට චීනයේ ජීවත් වන ටිබෙට් ජාතිකයන්ට තහනම් කර ඇති බව කියැවේ.

එනිසා මෙම ප්‍රහාරය ටිබෙටයේ ආගම සහ විශ්වාසයන් මත එල්ල වූ ප්‍රහාරයකි. ඇදහිල්ලේ අයිතිය හා සංස්කෘතිය ට එල්ල වූ ප්‍රහාරයකි. චීනය විසින් අන් මත නොඉවසීමේ දුර්ගුණය ප්‍රදර්ශනය කළ තවත් අවස්ථාවකි. චීන මකරා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයට රිසි සේ දුම් පිඹිමින් සිටින්නේ මෙසේ ය.

චීනය විසින් ටිටෙබ් බුදු දහමට මෙසේ පහර දෙමින් සිටින්නේ අද ඊයේ නොවේ. 2016 වසරේ වාර්තා වූයේ ලොව විශාලතම ටිබෙට් බෞද්ධ ආයතනය වන, ටිබෙට් නිම්නයේ පිහිටා ඇති ලරුන්ග් ගාර් ආශ්‍රමය වනසා දැමුවේය. අඩි 13,000 කට ඉහළින් පිහිටා තිබෙන නිසා මෙයට යෙදී තිබුණු අන්වර්ථ නාමය වූයේ ‘අහස් නගරය’ යි. අහස් නගරයේ 10,000-40,000 අතර ජනගහනයක් විය. විශාල භික්ෂු පිරිසක් ද ඒ අතර වූහ.

ටිබෙටියානු අහස් නගරය – චීන ප්‍රහාරයට පෙර සහ පසු

නමුත් 2016 ජූනි මාසයේදී බෙයිජිංවලින් නියෝගයක් ලැබෙයි. ඒ, ‘නගරය ජනයාගෙන් පිරී ඇති නිසා 2017 ඔක්තෝබරය වන විට නගරයේ ජනගහනය 5,000 දක්වා අඩු කළ යුතු බවට ය. සති කිහිපයක් ඇතුළත චීන හමුදාව අහස් නගරය ආක්‍රමණය කළ අතර ආශ්‍රම විනාශ කර, යාඥා චක්‍ර පුළුස්සා දමා, විශාල පිරිසක් බස් රථවල පටවා නගරයෙන් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබිණි. භික්ෂූ ආරාම 172 ක් සහ භික්ෂුණී ආරාම 1328 ක් විනාශ කර දැමිණි. ලරුන්ගාර් වෙත යාමට සමත් වූ මැන්ඩරින් බස දැන සිටි කැනේඩියානුවෙක් නොවන්නට, මේ සිද්ධිය ද ලෝකයෙන් සැඟවී යන්නට ද ඉඩ තිබිණි.

නමුත් චීනය, පිරිස් රැස් කරවා, ‘බලාපල්ලා තොපේ ආගමට අපි කරන දේ’ යැයි කියන මට්ටමට හෙවත් ‘තලෙයිබාන් තලය’ දක්වා පල්ලම් බසිමින් බුදු පිළිම විනාශයේ මේ යෙදෙන්නේ ප්‍රථම වතාවට ය.

එනිසා, චීනය තමන්ගේ ‘ලොකු අයියා’ යැයි සිතාගෙන සිටින රටවල්, චීනය යනු තලෙයිබාන් ක්‍රමයට බුදු පිළිම පවා විනාශ කළ හැකි අන්තයකට යා හැකි රටක් බව කිසිසේත්ම අමතක නොකළ යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි