×

3 වැනි වතාවටත් දිල්ලි මහ ඇමති ලෙස කෙජ්රිවාල් දිවුරුම් දෙයි

ඉන්දියාවේ නවදිල්ලි මහ ඇමතිවරයා වශයෙන් අර්වින්ද් කෙජ්රිවාල් 3 වැනි වතාවටත් දිවුරුම් දුන්නේය.


මේ අනුව 2015 පෙබරවාරි සිට මේ දක්වා අඛණ්ඩව දිල්ලි මහ ඇමති ධුරය දිනාගත් පුද්ගලයා වශයෙන් ඔහු ඉතිහාස පොතට එක් වේ.

කෙජ්රිවාල්ගේ AAP (ආම් ආද්මි) පක්ෂය පසුගියදා අවසන් වූ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ ආසන 62 ක බලය තහවුරු කර ගනිමිනි. ප්‍රබල ප්‍රචාරණ ව්‍යාපාරයක් අත්පත් කරගෙන තිබූ, නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට එහිදී ලබාගත හැකි වූයේ ආසන 8 ක් පමණි. කොංග්‍රසය ආසන 9 ක් ලබාගත්තේය.

VIP සංස්කෘතිය තරයේ ප්‍රතික්ෂේප කරන කෙජ්රිවාල්, දූෂණ විරෝධී ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිය නාමය ආරක්ෂා කර ගැනීමට සමත් වී ඇති බව මෙම ජයග්‍රහණයත් සමග පෙනේ. ඔහු සිය නිල තනතුර අනුව හිමිවන සියලු සුඛෝපභෝගී වරප්‍රසාද ප්‍රතික්ෂේප කරමින් තමන්ට හිමි වැගන් ආර් රථය භාවිතා කරන අයෙකු ලෙස ප්‍රකට ය.

මෙයට පෙර 2014 වසරේදී ඔහු දිල්ලි මහ ඇමති තනතුරට පළමු වරට පත්වූයේ, දිල්ලියේ වැඩිම කලක් මහ ඇමති තනතුර හෙබවූ ෂීලා ඩික්සිත් පරාජය කරමින්, ළාබාලතම දිල්ලි මහ ඇමතිවරයා බවට පත් වෙමිනි. එවර ඔහුගේ ධුර කාලය දින 49කට සීමා වූයේ ඔහු විසින් ගෙන එන්නට උත්සාහ කළ දූෂණ විරෝධී කෙටුම්පත රාජ්‍ය සභාවේදී දේශපාලන විරුද්ධවාදීන් විසින් පරාජය කිරීමත් සමග ය.

තමන්ගේ, සිය බිරිඳගේ හෝ දරුවන්ගේ උපන් දින කිසිවිටෙක සමරන්නේ නැති අයෙකු ලෙස ද කෙජ්රිවාල් ප්‍රසිද්ධ ය.

කෙජ්රිවාල් සිය ජීවිතයෙන් වැඩි කොටස, ඉන්දියාවේ අල්ලස හා දූෂණය පිටුදැකීම සඳහා වැඩකිරීමට යෙදවුවෙකි. සාමාන්‍ය මහ ජනතාවට බදු පිළිබඳ අවබෝධ කර දීමට සහ අල්ලස් දීමෙන් ඔවුන් වළක්වා ගැනීමට ඔහු විශාල මෙහෙයක් සිදු කර තිබේ.

මෙම සමාජ සත්කාරය වෙනුවෙන් අර්වින්ද් කෙජ්රිවාල් 2006 වසරේදී රාමොන් මැග්සාසෙයි සම්මානයෙන් පිදුම් ලද අතර, එහිදී ත්‍යාග වශයෙන් ලැබුණු මුදල් සම්භාරය ද ඔහු පොදු ජනයාගේ යහපත වෙනුවෙන් වැය කළේය.

2014 වසරේදී ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් ලෝකයට වැඩිම බලපෑමක් කළ හැකි මිනිසුන් 100 දෙනා (2014 TIME 100′) අතරට ඔහුගේ නම ඇතුළත් කරන ලදී. එම ලැයිස්තුවේ ඔහු පළමු තැන දිනාගත්තේ නරේන්ද්‍ර මෝදිව ද පරාජය කරමිනි.

Cover Photo: NDTV



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි