×

බ්‍රිතාන්‍ය අගමැති ට්‍රාන්ස් ප්‍රජාවට අපහාස කරද්දී ඔහුගේ පක්ෂයේම මන්ත්‍රීවරයකු තමා ට්‍රාන්ස් බව හෙළිකරලා!

තමා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු යැයි ජේමි සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙන්නේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව ය. ඒ අනුව බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා හෙවත් තම පක්ෂ නායකයා කළ ප්‍රකාශය ජේමි ට තදින්ම දැනෙන්නට ඇත.


බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේමි වොලිස් තමා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු ලෙස හෙළිදරව් කර තිබේ.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජේමි පවසා සිටියේ තමා සංක්‍රාන්ති සමාජභාවී බවත්, එය පිළිගැනීමට තමා නොපැකිළෙන බවත් ය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත වල මහජනතාව කිසිදා නොදන්නා බොහෝ දේ තිරය පිටුපස සිදුවන බවත් තමා සංක්‍රාන්ති සමාජභාවී බව හඳුනා ගත්තේ ඉතා කුඩා වයසකදී බවත් ජේමි අවධාරණය කරයි.

තමා සංක්‍රාන්ති සමාජභාවී බව, හෝ ජේමිගේ ම වචනයෙන් තමාට සංක්‍රාන්ති සමාජභාවී වීමට “අවශ්‍ය බව” තමා පැහැදිලිව හඳුනා ගෙන ඇති බව ජේමි පවසයි.

කුඩා වයසකදී තමාට ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ කනස්සල්ල හෙවත් ජෙන්ඩර් ඩිස්ෆෝරියා තිබූ බවට වෛද්‍යවරුන් නිගමනය කළ බවට අනාවරණය කරන ජේමි, මේ පිළිබඳව මහජනතාවට හෙළිදරව් කිරීමට තමාට කිසිඳු අවශ්‍යතාවයක් නොතිබූ බවත්, එසේ කළහොත් තමාට දේශපාලනයෙන් සමුගැනීමට පවා සිදුවනු ඇති බව තමා විශ්වාස කළ බවත් පවසයි.

තමා දිගටම භාවිතා කරන්නේ ඔහු/ඔහුගේ ආදී සර්ව නාම බව පෙන්වා දෙන ජේමි, තම අනන්‍යතාවය මත ජීවිත තර්ජනයට පවා මුහුණ දුන් බව සිය සමාජ මාධ්‍ය සටහන හරහා හෙළිදරව් කළේය.

2020 වර්ෂයේදී යම් පුද්ගලයකු සිය ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව තම පියා හා පවුලේ සාමාජිකයන්ට හෙළිදරව් කොට සමාජයට ද හෙළිදරව් කරන බව පවසා තර්ජනය කොට පවුම් පනස් දහසක කප්පම් මුදලක් ඉල්ලූ බව ජේමි හෙළි කරයි.

මෙම සිදුවීමත් සමඟ ජේමි පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, අදාළ සිදුවීමට වරදකරු වූ එම පුද්ගලයා වසර දෙකක් සහ මාස නවයක සිරදඬුවමකට ද නියම වී තිබේ.

මෙම සිදුවීම් සියල්ල අමතක කොට තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව පිළිබඳව ද නිහඬව තම ඉදිරි වැඩකටයුතු කරගෙන සිටීමට හැකිවනු ඇති බව ජේමි විශ්වාස කළ ද එය සාර්ථක වී නැති බවයි බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

එමෙන්ම, 2021 වර්ෂයේදී අන්තර්ජාලය හරහා හමුවූ පුද්ගලයකු තමා ලිංගික අපයෝජනයට ලක්කළ බව ද ජේමි සැල කරයි.

මෙම සිදුවීමෙන් පසු තමා ගතකළේ ඉතාමත් කටුක කාලවකවානුවක් බවත්, තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳව නිහඬව සිටීමට තමාට නොහැකි වූ බවත් ජේමි පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍ය පාලක පක්ෂ මන්ත්‍රී ජේමි වොලිස් මෙසේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු ලෙස පිටතට පැමිණෙන්නේ එම පක්ෂයේ නායක වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට අපහාසාත්මක ප්‍රකාශ පිට පිට සිදුකර ඇති වාතාවරණයක් තුළ වීම විශේෂය.

පොලිටිකෝ සඟරාවට අනුව, බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වූ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඊයේ (29) දින පවත්වා ඇති අතර, මෙහි දී සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට සහාය දක්වන එරට විපක්ෂ නායක කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් හාස්‍යයට ලක්කරමින් ප්‍රකාශයක් සිදුකර ඇත.

එහිදී බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇත –

“සුබ සන්ද්‍යාවක් නෝනාවරුනි, මහත්වරුනි, නැතහොත් කියර් ස්ටාමර් පවසන පරිදි උපතේදී ස්ත්‍රී හෝ පුරුෂ ලෙස නියම කර ඇති පුද්ගලයන්..”

එලෙස දේශපාලනික වශයෙන් තම ප්‍රතිවාදියා මෙල්ල කිරීමට සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පිළිබඳ විසිළු සහගත අන්දමින් අදහස් ප්‍රකාශ කිරීමට බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා මෙම මොහොත යොදාගෙන ඇති අතර, මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට ජේමි වොලිස් මන්ත්‍රීවරයා ද සම්බන්ධව ඇත.

මෙය හැඳින්වෙන්නේ දේශපාලනික සංක්‍රාන්ති භීතිකාව යනුවෙනි. දේශපාලනික ප්‍රතිවාදියකු මතවාදීමය වශයෙන් මෙල්ල කිරීමට අපොහොසත් වන විට ඊට සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ඉලක්කකරගත් මත ඔස්සේ යොමුවීම දේශපාලනික සංක්‍රාන්ති භීතිකාවේ ස්වභාවයයි. මේ අන්දමින්ම දේශපාලන සමරිසි භීතිකාව ද යොදා ගැනෙන අවස්ථා ඇත. දේශපාලනික සමරිසි/සංක්‍රාන්ති භීතිකාව උපායමාර්ගිකව යොදා ගැනෙන අවියකි.

තමා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු යැයි ජේමි සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙන්නේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව ය. ඒ අනුව බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා හෙවත් තම පක්ෂ නායකයා කළ ප්‍රකාශය ජේමි ට තදින්ම දැනෙන්නට ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි