×

ඉරානයේ ආණ්ඩු විරෝධී අරගල මැද මරණයට පත් දරුවන් සංඛ්‍යාව 23ක්!

වෙඩි උණ්ඩ, ලෝහ පතුරු සහ මරණීය ප්‍රහාර හමුවේ දරුවන් 23ක ගේ ජීවිත අහිමි වෙයි...


වර්තමානය වන විට ඉරාන රජයට එරෙහිව උත්සන්න වෙමින් පවතින ජන අරගල හමුවේ මරණයට පත් දරුවන් සංඛ්‍යාව 23 පමණ වන බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අනාවරණය කරයි.

ඉකුත් මස හිජාබය පැළිඳීමේ දී සිදුවූ අඩුපාඩුවක් මත ඉරාන සදාචාර පොලීසිය (Morality Police) විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටිය දී අභිරහස් ලෙස මරණයට පත් වූ මාහ්සා අමීනි වෙනුවෙන් මෙකී ජන අරගල උත්සන්න වූ අතර, ඉරාන රජය ප්‍රකාශ කරන්නේ මෙම අරගල සතුරා විසින් ඉරානයේ නවමු ව්‍යාපෘති සහ තම රාජ්‍යයේ ශ්‍රේෂ්ඨත්වය අඩපණ කිරීම සඳහා දියත් කරන ලද බොළඳ කැරැල්ලක් බවයි.

A police motorcycle burns during a protest over the death of Mahsa Amini, a woman who died after being arrested by the Islamic republic’s “morality police”, in Tehran, Iran September 19, 2022. WANA (West Asia News Agency) via REUTERS

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයකු විසින් අද (18) දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මේ වන විට මෙම ජන අරගල හේතුවෙන් දරුවන් 23 පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එකී මරණ බොහොමයක් වෙඩි උණ්ඩ වැදීම, ලෝහ පතුරු ශරීරගත වීම සහ මරණීය ප්‍රහාර එල්ල කිරීම හමුවේ සිදුව ඇති බවට වාර්තා වී ඇති බවත් ය.

එමෙන්ම, මෙම ජන අරගලවලට සහාය පළකරමින් ඉරානයේ පාසල්වලින් ආරම්භ වී ඇති අරගල හමුවේ අත්අඩංගුවට පත්ව ඇති සිසුදරුදැරියන් සංඛ්‍යාව තවමත් ගණනය කර නොමැති බව ද එම මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

මේ අතර, ඇතැම් දරුවන් මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව ද ඔහුගේ නිවේදනයේ සඳහන්.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි