‘‘අපි ඔක්ස්ෆර්ඩ් වැක්සිනයේ ජයග්‍රාහී සූත්‍රය සොයාගත්තා!‘‘ – ඇස්ට්‍රාසෙනිකා ප්‍රධානියා
එන්නතේ සාර්ථකත්වය වැඩි දියුණු කරවීමේ “ජයග්‍රාහී සූත්‍රය” සොයාගැනීම සම්බන්ධයෙන් ඔහු එහි ගෞරවය ලබාදෙන්නේ පර්‍යේෂකයන් හට ය.
මෙම වැක්සිනයේ අත්හදා බැලීම්වලදී මුලින් ලබාදුන්නේ මාත්‍රාවෙන් අර්ධයකි. පසුව මාසයක් ඇතුළත සම්පූර්ණ මාත්‍රාවක් ලබාදීම සිදුවිය. එවිට එය 90%ක සාර්ථකත්ව ප්‍රතිශතයක් පෙන්වා තිබේ.
මේ අනුව අඩුම වශයෙන් මාසයක පරතරයක් සහිතව සම්පූර්ණ මාත්‍රා දෙකක් දුන් විට වැක්සිනයේ සාර්ථකත්ව ප්‍රතිශතය 62%කි – එහි අදහස මේ සියලු ප්‍රතිඵල සැකෙවින් ගෙන බැලූ කල එන්නතේ සාර්ථකත්වය 70%ක් වන බව යි.
ෆයිසර් සහ මොඩර්නා වැක්සින පිළිවෙළින් 95%ක සහ 94.5%ක සාර්ථකත්වයක් පෙන්වයි.
මේ අනුව බැලූ බැල්මට පෙනෙන්නේ ඔක්ස්ෆර්ඩ් වැක්සිනය තිබෙන්නේ ෆයිසර් සහ මොඩර්නාවලට වඩා පිටුපසින් බව වුවත්, මේ ගැටළුව දැන් විසඳා තිබෙන්නේ ජයග්‍රාහී සූත්‍රයක් සොයාගැනීම මගිනි.
එහෙත් ඇස්ට්‍රා සෙනේකාහි ප්‍රධාන විධායක පැස්කල් සෝරිඔට්, සන්ඩේ ටයිම්ස් වෙත කියා සිටින්නේ ඔවුන් ජයග්‍රාහී ඔසු සූත්‍රයත්, මාත්‍රා දෙකකට පසුව අනෙක් කොරෝනාවෛරස එන්නත් හා සම සාර්ථකත්‍වයක් ලබා ගන්නා ආකාරයත් සොයා ගෙන ඇති බව ය.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළි කරන බව ද ඔහු කියා සිටියි.
එවැනි තත්ත්වයක් එක්සත් රාජධානියේ රජයට මහත් සැනසුමක් වනු ඇත්තේ ඔවුන් දැනටමත් මාත්‍රා මිලියන 100ක් ඇනවුම් කර ඇති නිසා ය. එයින් මාත්‍රා මිලියන 40ක් පමණ මාර්තු වන විට ලැබෙන්නට නියමිත ය.
සෝරිඔට් පවසන පරිදි මුල දී ලද ප්‍රතිඵල ඖෂධ සමාගම විසින් “ධනාත්මක” ලෙස දැක තිබේ. ඒවා ලොව පුරා තත්ත්ව පාලකයන් නිශ්චය කරන ලද නිර්ණායක අනුව යනවා” යැයි ද ඔහු පවසයි.
“මිනිසුන් මදක් අපේක්ෂා භංගත්වයට පත්වනු ඇතැයි අප සිතුවා, එය සහතික යි , එහෙත් අප මෙවැනි කුණාටුවක් බලාපොරොත්තු වූයේ නැහැ.” යැයි ද ඔහු කියයි.
එසේ පැවසීමට හේතුව, ෆයිසර් බයොන්ටෙක් එන්නත ඉක්මනින් වෙළඳපොළට පැමිණීම නිසා එය ‘ගෝලීය වසංගතයේ ගැළවුම්කාරයා‘ ලෙස බැලූ බැල්මට පෙනී ගිය නිසා ය. නමුත් මීට පෙර ද අප විසින් පෙන්වා දී ඇති පරිදි මෙම එන්නතේ අධික මිල, සෙල්සියස් සෘණ 70 ක් වැනි අධි ශීතලක ගබඩා කිරීමට සිදුවීම වැනි කරුණු හේතුවෙන් දුප්පත් රටවලට සහ ඝර්ම කලාපීය රටවලට මෙම එන්නත ‘පොදු ප්‍රතිකර්මයක්‘ ලෙස භාවිතාකිරීමේදී විශාල දුෂ්කරතා මතුවීමට නියමිත ය. ඔක්ස්ෆර්ඩ් වැක්සිනය තවදුරටත් දියුණුකර, තරගකාරී ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය වූයේ මේ නිසා ය.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි පරීක්ෂාත්මක වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්‍යවරයකු වන් ආචාර්‍ය පීටර් ඕපන්ෂෝ “එය ඉතා හොඳ සහ ලබා දීමට පහසු බව පෙනෙනවා” යැයි කියයි.
ඔහු එයින් අදහස් කරන්නේ ගෝලීය වසංගතයට ගෝලීය පිළිතුර බවට පත්වනු ඇත්තේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා වැක්සිනය බවයි.
මේ වැක්සිනයේ ගෝලීය බලපෑම වඩාත් විශාල විය හැකි බව ද, එය එක්සත් ජනපදයේ එන්නත්කරණ ව්‍යාපාරය වේගවත් කරනු ඇති බවද ඔහු පවසයි.
මේ වන විට රජයේ රෝහල් මගින් ලබාදුන්නත් ෆයිසර් එන්නත ලබාගැනීමේදී රෝගීන්ට පොරොත්තු ලේඛනවල දිගු කාලයක් රැඳී සිටීමට සිදුව තිබේ. තවද ඇතැමුන්ට රජයේ රෝහල්වලට ප්‍රවේශය ලබාගැනීම සඳහා පවුම් දහස් ගණනක් වැය කිරීමට ද සිදුව තිබේ.
සන්ඩේ මිරර් පුවත්පත වාර්තා කරන්නේ අවදානම් තත්වයේ පසුවන සිය ගණන් රෝගීන්ට වැක්සිනය ලබාදීම සඳහා යොදාගෙන තිබූන නිශ්චිත වේලාවන් ද අවලංගුකරන ආකාරය දැකගත හැකි බවයි.
ප්‍රමුඛතා ලැයිස්තුවල මුලින් ම සිටින සුරක්ෂා නිවාසවල සිටින පුද්ගලයින් 12,000කට එන්නත ලබා දී නොමැති බව සන්ඩේ පීපල් පුවත්පත කියා සිටියි.
මේ අනුව අඩුමිල- කාර්යක්ෂම සහ විකල්ප වැක්සිනයක් ලෙස ඔක්ස්ෆර්ඩ් වැක්සිනයට තිබෙන්නේ විශාල වලංගුභාවයකි.
මේ තොරතුරු අනාවරණය වන්නේ මේ වැක්සිනය ලබන සතිය තරම් ඉක්මනින් අනුමත වනු ඇතැයි වාර්තා පළවද්දී ය. දෙසැම්බර් මස මුල් සතියේ ෆයිසර් එන්නත ගෝලීය භාවිතය සඳහා අනුමත විය.
සන්ඩේ ටෙලිග්‍රාෆ් පුවත්පතට අනුව, ඔක්ස්ෆර්ඩ් වැක්සිනය බෙදා හැරීම ජනවාරි 4 වන විට සිදු කෙරෙනු ඇත. පළමු සති දෙක තුළ මිලියන දෙකකට අධික පිරිසකට තම ප්‍රථම මාත්‍රාව ලබා දෙන්නට හැකිවනු ඇතැයි එක්සත් රාජධානියේ රජය බලාපොරොත්තු වේ.
වෛරසයේ නව ප්‍රභේදයක් මුල්වරට එක්සත් රාජධානියෙන් සොයා ගත් අතර එය වෛරසයේ මුල් ප්‍රභේදය හා සසඳන කල වඩාත් ඉක්මණින් පැතිර යයි. මෙය මේ වන විට ජපානය, දකුණු කොරියාව වැනි දුරබැහැර රටවලට ද පැතිර ගොස් තිබේ.
මෙසේ සිදු වන්නේ වෛරසය පැතිර යාම වැළැක්වීමට එක්සත් රාජධානිය විසින් දැඩි රැකවල් යෙදූ තත්ත්වයක් තුළදී වීමත් විශේෂ ලක්ෂණයකි.
බෙදා හැරීම පිළිබද සලකන විට, ඔක්ස්ෆෝර්ඩ්/ ඇස්ට්‍රාසෙනේකා වැක්සිනයට ෆයිසර් සහ මොඩර්නා වැක්සිනයට සාපේක්ෂව වාසි තුනක් තිබේ. මූලික වශයෙන් එය මිලෙන් අඩු අතර දෙවනුව, එය ඉතා අවම උෂ්ණත්වවල ගබඩා කරන්නට අවශ්‍ය නැත.
තුන් වැනි වාසිය එක්සත් රාජධානියට පමණක් ලැබෙන්නකි; ඔවුන් සතුව ඔක්ස්ෆෝර්ඩ් වැක්සිනය යහමින් තිබේ.
එහෙත් එක් අවාසියක් ඇත. ඔක්ස්ෆෝර්ඩ්/ ඇස්ට්‍රාසෙනේකා අත්හදා බැලීම්වලින් ලැබී ඇති දත්ත ෆයිසර් එන්නතෙන් ලැබී ඇති දත්ත තරම් පැහැදිලි නැත.
නමුත් එම අවිනිශ්චිතතාවය ද ඉක්මනින් පහව යනු ඇතැයි විශ්වාස කෙරේ.