×

ස්පේස් එක්ස් යානයේ නැගී යන පිටසක්වළ රොබෝ ගැහැණිය

සුප්‍රසිද්ධ ඒලියන් චිත්‍රපට මාලාවේ එන Sigourney Weaver රංගන දායකත්වය ලබාදුන් රිප්ලි එහෙමත් නැතිනම් Ellen Louise Ripley කියන වීරවරිය ඔබට මතකද? ඔබ පිටසක්වළ කතා ගැන අවධානයෙන් සහ උනන්දුවෙන් පසුවන අයෙක් නම් අනිවාර්යයෙන්ම ඔබට ඇයව අමතක කරන්න බෑ.


මේ පිටසක්වළ උරුමයට පණ දෙමින් අපේ කාලයේ විශ්ව යාත්‍රිකයා වන එලන් මස්ක්, ස්පේස් එක්ස් යානයේ කාර්ය මණ්ඩලයට රිප්ලි කෙනෙක්ව එකතු කරගෙන.

එලන් රිප්ලි

ස්පේස් එක්ස් සමාගම විසින් නිෂ්පාදනය කළ කෘ ඩ්‍රැගන් – Crew Dragon යානය ගැනත් මෙහිදී යමක් කිව යුතුමයි. මේ යානයට පැවරී තිබෙන කාර්යය තමයි, අන්තර්ජාතික අජටාකාශ මධ්‍යස්ථානය වෙත මිනිසුන් එනම් ගගන යාත්‍රිකයන් ගෙන යාම. ඒ භාරදූර කාර්යයේ නිරත වන ලෝකයේ ප්‍රථම වාණිජ ගගන යාත්‍රාව වන්නේ කෘ ඩ්‍රැගන්. ඒ නිසා මේ යානය තාරකා විද්‍යාවේ සහ අජටාකාශ විද්‍යාවේ සන්ධිස්ථානයක් සලකුණු කරනවා.

රිප්ලි පෙරහුරු පරීක්ෂණයේදී

රිප්ලි මේ වැඩේ කරන්න කොයි තරම් සමත් වනවාද කියා පසුගිය දිනෙක පෙරහුරු පරීක්ෂණයකින් සොයා බැලුණා.

ඒ පෙරහුරු පරීක්ෂණය අතිශයින්ම සාර්ථක වූ බව ස්පේස් එක්ස් සමාගම පවසන්නේ අභිමානයෙන් යුතුවයි.

එලන් රිප්ලි රොබෝවක් බව ඇත්ත. නමුත් මේ යානය මිනිස් ගමනාගමනය සඳහා සුදුසු බවට සහතික කර ගැනීමත්, ආරක්ෂිත ගොඩබෑමක් දක්වා මනුසතා ව පරිස්සම් කර ගැනීමත් භාරවී තිබෙන්නේ ඇයටයි. ඇගේ හිස, ගෙළ සහ කොඳු ඇට පෙළ වටා සංවේදක සවි කර තිබෙනවා. ඒවා හැම ගගනගාමියෙක් ගැනම හැම දත්තයක්ම සටහන් කර ගනීවි. මේ මෙහෙයුම පුරා සිදුවන හැම දෙයක් ගැනම ඇය තාක්ෂණික වශයෙන් සාක්ෂි දරාවි.

කෘෘ ඩ්‍රැගන් යානය පෘථිවියට සමුදීමට පෙර

මේ මෙහෙයුමේ තවත් වැදගත්කමක් තිබෙනවා. එය තමයි, මෙය සාර්ථක වුණොත්, ස්පේස් එක්ස් සමාගම විසින් දියත් කළ ගගන යාත්‍රිකයන් සහිත පළමු ගගන මෙහෙයුමේ පූර්වාදර්ශය බවටත් මෙය පත්වෙනවා.

ඒ කියන්නේ මේ මෙහෙයුමට මිනිස් ගගනගාමීන් එක් වන්නේ නැති වුණත්, ජූලි මාසයට සැලසුම් කර තිබෙන Doug Hurley සහ Bob Behnken යන ගගනගාමීන් දෙදෙනා අන්තර්ජාතික අජටාකාශ මධ්‍යස්ථානයට රැගෙන යාමේ මහා මෙහෙයුම අනිවාර්යයෙන් ක්‍රියාවට නැංවෙනු ඇති. එයින් පසු නිතර නිතරම ගගනගාමීන්ට රිප්ලි රොබෝව සමග අන්තර්ජාතික අජටාකාශ මධ්‍යස්ථානයට යන්නට පුලුවන් කම ලැබේවි.

එමගින් තවත් විශාල දෙයක් සිද්ධ වීමට නියමිතයි. දශක ගණනක් තිස්සේ ඇමරිකාව, අන්තර්ජාතික අජටාකාශ මධ්‍යස්ථානයට සැපයුම් සහ ගගනගාමීන් ගෙන යාමේදී රුසියාවේ ආධාරය පැතුවා. මේ අතරේ 2011 වසරේදී ඇමරිකාවේ අජටාකාශ ෂටල් වැඩසටහන අවසන් වුණා. මේ නිසා ඇමරිකාව දැන්, අන්තර්ජාතික අජටාකාශ මධ්‍යස්ථානයට යන රුසියානු සෝයුස් යානයක එක ආසනයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් ගෙවමින් සිටිනවා! ඇමරිකාව ලෝකටෙ ලොක්කා වුණත් පිටසක්වළ ලෝකයට තවමත් ලොක්කා වී සිටින්නේ රුසියාවයි. නමුත් රිප්ලි සහ කෘෘ ඩ්‍රැගන් යානය මේ රුසියානු ආධිපත්‍යයට සෘජුවම අභියෝග කර සිටිනවා.

මෙවර මේ යානයෙන් ගෙන යන්නේ රාත්තල් 400 ක සැපයුම් තොගයක් සහ නාසා ආයතනය විසින් ඇන්ත්‍රොපොමෝෆික් ටෙස්ට් ඩිවයිස් එකක් ලෙස හඳුන්වන රිප්ලි රොබෝව පමණයි.

ඉතින් අද හවස එලන් රිප්ලි, කෘෘ ඩ්‍රැගන් යානයේ නැගී අන්තර් ජාතික අජටාකාශ මධ්‍යස්ථානයට ළඟා වෙනවා.

ඇය එන බව අසා අන්තර්ජාතික අජටාකාශ මධ්‍යස්ථානයේ සිටින ඈන් මැක්ක්ලේන් ගගනගාමිනිය ට්විටර් සටහනක් හරහා එලන් මස්ක්ගේ ට්වීටයකට පිළිතුරු ලෙස මෙසේ කියනවා.

‘‘දවස් කීපයකින් ඇයව පෞද්ගලිකව මුණ ගැහෙන්න මම මග බලාගෙන සිටිනවා!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි