×

දෙවියන්ද නොබලන ලේවැකි ඉරානය ; ‌විරෝධතා හේතුවෙන් මිය යන ලද දරුවන් සංඛ්‍යාව 58ක්

ගෙවී ගිය කාලය ඇතුළත විරෝධතා හේතුවෙන් අවුරුදු 18 ට අඩු පිරිමි ළමුන් 46 ක් සහ ගැහැණු ළමයින් 12 ක් මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


ඉරානයේ සදාචාර පොලිස් අත්අඩංගුවේ සිටිය දී මිය ගිය මහ්සා අමීනිගේ මරණයත් සමඟ ඇරඹි විරෝධතාවයන් මේ වන විට තෙවන මාසය දක්වා පැමිණ තිබේ. මෙම ගෙවී ගිය කාලය ඇතුළත විරෝධතා හේතුවෙන් අවුරුදු 18 ට අඩු පිරිමි ළමුන් 46 ක් සහ ගැහැණු ළමයින් 12 ක් මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


ඉරානයේ වැඩිවන ළමා මරණ සංඛ්‍යාව පැමිණෙන්නේ රට පුරා නගරවල උත්සන්න වන ප්‍රචණ්ඩත්වයන් හේතුවෙන් වන අතර විරෝධතා පහව යන ලකුණකුදු පෙනෙන්නට නොමැත.


රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා දිගටම පැවතීම නිසා පසුගිය සතිය තුළ පමණක් ආරක්ෂක අංශ විසින් ළමුන් 5 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. පසුගිය බදාදා ඉරානයේ බටහිර නගරයක් වන ඉසෙහ්හිදී අවුරුදු 13ක් වයසැති දරුවකු සිය පියා අසල වාඩිවී සිටියදී ආරක්ෂක අංශ විසින් වෙඩිතබා මරා දමා ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වගකීම ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂප කර ඇති අතර ඔවුන් විසින් වෙඩිතබනු ලැබුවේ ත්‍රස්තවාදීන්ට බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම විරෝධතා අතරතුර මිය ගිය 17 හැවිරිදි මොහොමඩ් අබෝල්ෆස්ල්ව මිය ගොස් තිබුණේද වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් වන අතර වෛද්‍යවරු පවසා තිබුණේ ඔහුගේ සිරුරේ වෙඩි උණ්ඩ 50ක් පමණ තිබූ බවයි.


විරෝධතා දැක්වීම නිසා ආරක්ෂක අංශ විසින් පහර දී මරා දමන ලදැයි කියන නිකා ෂකමරි සහ සරීනා එස්මයිල්සාදේ යන නව යොවුන් වියේ ගැහැණු ළමයින් දෙදෙනෙකුගේ මරණය තවදුරටත් විරෝධතාකරුවන්ගේ කෝපයට හේතු වී ඇත. ඉරානයේ ගුරු සංගමයට අනුව, තවත් 16 හැවිරිදි දැරියක් වන අස්රා පනාහි ඔක්තෝබර් 18 වන දින බටහිර නගරයක් වන අර්ඩබිල් හි ඇගේ පන්ති කාමරයේදී ආරක්ෂක හමුදා විසින් පහර දීමෙන් මිය ගොස් ඇත.

කුර්දිස්තානයේ 16 හැවිරිදි දැරියක් පසුගිය සතියේ තම පාසලේදී අත්අඩංගුවට ගෙන පාසල් වෑන් රථයකින් විසිවී ගොස් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පාසල් දරුවන්ට එල්ලවන ප්‍රහාර දිගින් දිගටම සිදුවන බව වාර්තා වේ.

ඉරානයේ මානව හිමිකම් ආයතනයක් වන HRA පවසන්නේ විරෝධතා ආරම්භ වූ දා සිට විරෝධතාකරුවන් 380 කට වැඩි පිරිසක් මරා දමා ඇති අතර ළමුන් ඇතුළු 16,000 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි