×

සංසාරගත ප්‍රේමයක වත්මන් සලකුණ – අතිත්තයා – චොක්වේ

ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ප්‍රේමයට පිදෙන තිලිණයකි...🌷🌷🌷


බුදුරදුන් දේශනා කර වදාළ ත්‍රිලක්ෂණයෙන් මිදුනු මොනයම්ම දෙයක් හෝ මේ ලෝකෙ තියෙනවද. එහෙම නෑ නේද? මෙලොව සෑමදෙයක්ම පාහේ දුකකි. සදාකාලික නැත. අයිතියක්ද නැත.

ආදරයද එවැනිම දුකකි. කවදාම හෝ අතැර යා යුතුමය. නමුත් ආදරයේ සුවඳ කාලයක් මිහිපිට රඳවන්නට හැකිය. ඒකට අපමණ පරිත්‍යාග කලයුතුය. අවංකත්වයේ ගෞරවය රැකියයුතුය. ආදරයේ දිවුරුම් වන්දනා කලයුතුය. එකිනෙකාගෙ සතුට තකා ජීවිතේ කැපකළ යුතුය.

අද කාලයේ නම් අවංක සුන්දර ප්‍රේම කතා දවල් හීනය. වත්මන් පෙම්වතුන් අතර කිසිඳු පරිත්‍යාගයක් නැත. ඇත්තේ තව යමක් ලබාගැනීමේ අටියෙන් කෙරෙන තුටු ත්‍යාග පමණි. ඔවුහු අතර කිසිම අවංකත්වයක් නැත. දෙදෙනාම අවංකත්වය පෙන්වීමේ රංගනයක සමභාගී ජවනිකාවන්ගෙන් රවටමින් රැවටෙමින් සිටී. ඉටුකරන්නේ හැඟීම් සංතෘප්ත කිරීම විනා ආදරයේ දිව්රුමක් නොවේ. තමාගේ සතුට තකා කාලය ගෙවාදැමීම හැර අනෙකාගේ සතුට වෙනුවෙන් ජීවිතය කැපකරන්නන් අද කාලයේ කොහිද?

මේ පහළින් දකින පින්තූරය ඔබට කියන්නේ වෙනම කතාවක්. ඒ ඉහළින් කී අවංක ප්‍රේම කතාවලට වත්මනේ පෙන්විය හැකි සුන්දරම ආදර්ශය විය හැකිය. මුදල් මත රූපය මත උගත්කම මත දිගහැරෙන ආදර කතාවලට වඩා මේ ආදර කතාව මොන තරම් සුන්දරයිද?

අතිත්තයා චුම්කීව් හා පූ චොක්චේ ක්යු කියන්නෙ තායිලන්තයේ සොංලා ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණ ආදරවන්තයන් දෙදෙනෙක්. ඔවුන් ආදරය කරන්න පටන් ගත්තේ පාසල් අවධියේදිමයි. පාසලෙන් නික්මයාමත් සමඟම වගේ ඔවුන් විවාහ දිවියට එළඹ අදට වසර තුනකටත් වඩා වැඩියි. ඔවුන් විවාහ උනේ 2015 පෙබරවාරි 23වෙනිදාය. ආදර කතාවක තියෙන්න ඕනි හැම ලස්සනක්ම හැඩරුවක්ම එයාල ඒකට එකතු කලා. කිසිම විදිහකින් දුකක් නොතිබුණ ඒ ආදර කතාව ගොඩාක් ලස්සනට ගලායමින් තිබුනා.

ඒ ආදරයට එකපාරම මහා නපුරු කාලයක් ආවා. චොක්චේට දරුණු ගණයේ අක්ෂි පිළිකාවක් වැළදී ඇති බව දැනගැනීමත් සමඟම ඔවුන්ගේ සිහින ලෝකය පොළොවට පතබෑවිලා ගියා. සිහින කියන්නෙ හැබෑ කරගන්න බැරි උනත් දකින්නවත් ආස කරන දේවල්. අතිත්තයා තීරණයකට ආවා. ඇයගේ ආදරය දශමයකින්වත් වෙනස් වෙන්න නොදී රැකගන්නවා කියලා. ආදරයේ පොරොන්දුව මියෙන්න නොදී චොක්චේ වෙනුවෙන් ඉෂ්ට කරනව කියලා. ඇය එතන පටන් අවංක ආදරය වෙනුවෙන් වීරවරියක් වෙන්න පටන් ගන්නවා.

චොක්චේ ට වැළදිල තිබ්බෙ හරි කලාතුරකින් හැදෙන අක්ෂි පිළිකාවක්. Retinoblastoma
( රිටිනෝබ්ලාස්ටෝමා ) යනුවෙන් හඳුන්වන මේ දරුණු පිළිකාව ඇස් වෙතින් අරඹා මුහුණ පුරාවටම ව්‍යාප්ත වුණා. සීඝ්‍රයෙන් දුවන පිළිකා සෛල ඔහූගේ රූපය විතරක් නෙවෙයි මුළු ජීවිතයම විරූපි එකක් කලා. මෙවැනි රෝගියෙකුට අනුකම්පා කලත් ආදරය කරන අය හම්බවෙන්නෙ බොහොම කලාතුරකින් නේද? අතිත්තයා ඒ අතින් උතුම් ආදරවන්තියක්. ඇය ඔහූගේ ළගින්ම සිට ඔහූගේ තනිකම පාලුව මකාදැම්මා. ආහාර කැව්වා. ඔහූව පිරිසිදු කලා. සතුටු කාලෙ වගේම දුක්බර කාලයත් එකට බෙදාගත්තා. ආදරවන්තියකගෙ යුතුකම අකුරටම ඉටු කලා.

වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කරන්නට කිසිම අවස්ථවක් දෙවියන් ලබා දී තිබුණේ නෑ. ඇත්තටම අවසන් අදියරේ පැවැති පිළිකාවකට වෛද්‍යවරුන්ට කල හැකි දෙයක් නෑ. නමුත් අතිත්තයා දිගින් දිගටම වෛද්‍යවරුන්ට බැගෑපත් උනා ප්‍රතිකාර නවත්වන්න එපාමය කියලා. ඔහූව අතාරින්න එපාමය කියලා..

ප්‍රතිකාර කෙරෙන අතරතුර චොක්චේගෙත් අතිත්තයාගෙත් තුන්වන විවාහ සංවත්සරය එළඹුනා. එදින ලබාගත් ඡායාරූපය තමයි මේ පහළින් ඔබ දකින්නේ. ඒ වෙනකොට පිළිකා සෛල මුළු ඇඟ පුරාම පැතිරිලා තිබ්බෙ. මුළු ඇඟේම මස් දියවෙලා ගිහින් සැකිල්ල පෙනෙන ගානට ශරීරයත් පුංචි වෙලා තිබුණේ. කෙසේ වෙතත් සමාජජාලයට මුදාහැරුණු මේ ඡායාරූපය හරහා තායිලන්තයෙත් ලොව පුරාමත් සුවහසක් මිතුරු මිතුරියන් ඇය හා අත්වැල් බැඳගත්තා. පවුලෙ සාමාජිකයන් සියලු බලාපොරොරොත්තු අතැර සිටියත් මිතුරු මිතුරියන් කියා සිටියේ අතිත්තයාගෙ ආදරය ප්‍රාතිහාර්යයක් වී චොක්චේට සනීප විය හැකි බවයි. චොක්චේ ද පිළිකාව අතුරුදහන් වෙනු ඇතැයි විශ්වාස කළා.

නමුත් ප්‍රාතිහාර්‍ය සිදුවන්නට තරම් අප ජීවත්වන ලෝකය සුරංගනා ලෝකයක් නොවන බව අප තේරුම්ගතයුතුය. නමුත් එවැනි හීන ජීවත්වෙන්න යම් තරමකට අපිට අරමුණක් සපයනවා. තව දවසක් හරි ජීවත්වෙන්න හුස්ම තෑගි කරනවා. දිනෙන් දින මරණයේ නපුරු සෙවණැලි ළඟ ළඟ දිස්වෙන්න ගනිද්දි අගෝස්තු තිස්වෙනිදා ඒ අඳුරු දවස උදා උනා. වසර දෙකකුත් මාස හතරකුත් දින 25කුත් ජීවිත‍ය වෙනුවෙන් මරණය එක්ක පොරබදපු චොක්චේට මාරයාව එදිනනම් හරවා යවන්න බැරි උනා. අතිත්තයාගෙ මුළු ලෝකයම නිසරු වැලි කතරක් කරල, ඇයගෙ හිත් අහස කළු වැහි වළාකුළින් පුරවල චොක්චේ ආයෙ නොඑන්නම යන්න ගියා.

චොක්චේ ගියත් ඔහූගෙ මතකයන් තුරුළු කරගෙන ඇය තාම ජීවත් වෙනවා. ඇයත් ඔහුත් දැකපු හීන හීනයක්ම නොවෙන්න ඇය ඔහූ කියපු විදිහටම ජීවත්වෙනවා. කව්ද කියන්නෙ මරණයෙන් ආදරය වෙන් කරන්න පුලුවන් කියලා. අතිත්තයා ඒ කතාව බොරු කරල පෙන්නුවා. ඉදිරියට බලන් ඉමු ඈ තනිවම ආදරය ජයගන්න ඇපූරුව..

අතිත්තයා ඇගේ ආදරය ගැන චොක්චේ සමඟ සිටි අවසාන කාලයෙදි සමාජජාලයට එක පණිවුඩයක් තියනවා. ඇයගේ බලාපොරොත්තු මොන තරම්ම හයියයිද කියල මට හිතුනා.ඔයාලටත් ඒ හයිය දැනෙනවද බලන්න.

” අපි අත් පටලගෙන හැමදාම එකට ඇවිද්දා. අපි හැමදාමත් ඒ වගේ ඉදිරියට ඇවිඳිමින් ඉඳීවි. අපේ අත් අතෑරෙන එකක් නෑ. අපිට අනාගතයෙදි හොඳ ජීවිතයක් තියේවි. අපි හැමදේටම ලෑස්තියි. කවදාවත් අපි අපිව අතාරින්නෑ. අපේ ආදරය කවදාවත් මැරෙන්නෙ නෑ.”

චොක්චේගෙ මරණයෙන් පසු ඇය තවත් පණිවුඩයක් තියනව.

“මා තෝරාගත් ආදරය මට හීනයක් උනේ නෑ. ඒක මගේ සතුටු ජීවිතය උනා.”

එහි තේරුම තමයි ආදරය කියන්නෙ භෞතිකව ළඟ තබා ගතයුතු භාණ්ඩයක්වත් කරන්නන්වාලේ කරන එපා උනාම දාල යන එකක්වත් නෙවෙයි. හදවතත් එක්ක බැඳුණු අපරිමිත සෙනෙහසක්. ජීවිතයේ සතුටින්ම විඳියයුතු හැඟීම් සමුදායක්..

මේ කතාවෙන් මං හිතන්න ගත්තෙ මනුස්සයෙක් මේ විදිහට ආදරය කරන්නෙ කොහොමද කියලා. විනාඩි පහක පහත් කාමුක ආසාවක් සංතෘප්ත කරගන්න එහෙමත් නැත්තම් තමුන්ගෙ අඩුපාඩුකම් පිරිමහගන්න බොරුවට රඟපාන පවිටු ආදරවන්තයන් අතරේ මේ උතුම් ආදරවන්තියව අපි කොතනක තැබිය යුතුද කියලා..

අතිත්තයා ඔබ ඔහූට පිදූ ප්‍රේම හැමදාම සුවඳ දේවි..

|චතුර රුවන් වීරක්කොඩි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි