×

‘‘චීනය වෙනත් රටවල් සමග අමනාප වුණාට කමක් නැ. නමුත් චීනය අමනාප කර ගන්න එපා‘‘! – චීන ඔස්ට්‍රේලියානු විරසකයේ සැඟවුණු තර්ජනය

පරාජය වන බව දැන දැනම, පරාජය පෙනි පෙනීම ඔස්ට්‍රේලියාව චීනය සමග ගැටෙන්නේ පරාජයෙන් බේරෙන්නද? නැතිනම් අනෙක් රටවලට පාඩමක් උගන්වන්නද?


ඔස්ට්‍රේලියාව සමඟ බීජිං පාලනය මේ වන විට සටනකට එළඹ ඇත. නමුත් එයින් සිදුවනු ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ දෙනෙකු ද චීනය පිළිබඳ දක්වන ස්ථාවරයේ හානිකර වෙනස්වීමකි.

හානිකර පරාජයක් බව දැන දැනම එවැනි ප්‍රතිපත්තියක චීනය දිගින් දිගටම රැඳී සිටින්නේ ඇයි ද යන්න සොයා බැලීම මේ ලිපියේ අරමුණයි.

ඒ පිළිතුර රඳා පවතින්නේ බීජිං හි අභිප්‍රේරණයන් එනම් ළබැඳියාවන් සහ අරමුණු වටහා ගැනීම මත ය. ඒ හැර ඔස්ට්‍රේලියාවේ කැන්බරා ආණ්ඩුවට යටත් වීම හෙවත් පරාජය වීම සමග එහි එතරම් ලොකු සම්බන්ධයක් නැත. අග්නිදිග ආසියාව, යුරෝපා සංගමය, කොරියාව සහ ජපානය සම්බන්ධයෙන් ද චීනයේ උපක්‍රමය බවට පත් ව තිබෙන්නේ මෙයම බව පෙනේ.

චීන – ඔස්ට්‍රේලියා සබඳතා පිරිහුණේ 2017 වසරේ පටන්

චීන – ඔස්ට්‍රේලියා සබඳතා පිරිහෙන්නට පටන් ගත්තේ 2017 වසරේ පටන් ය. එවකට ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියානු දේශපාලනයට චීනය අතපෙවීම් සිදුකරන බවයි. මේ ප්‍රකාශයත් සමග දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නාට්‍යානුසාරී ලෙස පිරිහෙන්නට පටන් ගත්තේය.

ඔස්ට්‍රේලියාව චීන තානාපති කාර්යාලයේ ද විචේනයට හේතු වෙමින්, මැතිවරණයෙන් තේරී පත් වූ නිලධාරීන් සම්බන්ධයෙන් චීන බලපෑම් අවම කිරීම සඳහා නව නීති සකස් කළේය.

චීනයේ ප්‍රකට ටෙලිකොම් සමාගමක් වන Huawei සමාගම, ඔස්ට්‍රේලියාවෙන් පිටමං කිරීම ද ඒ සමගම සිදුවිය. ඒ, ඔවුන්ට ඔස්ට්‍රේලියාව තුළ සකස් කිරීමට භාර දී තිබූ 5G තොරතුරු තාක්ෂණ ජාලය පිළිබඳ කොන්ත්‍රාත්තුව අහෝසි කරමිනි.

2020 වසරේදී ඔස්ට්‍රේලියාව, චීනයට තවත් ප්‍රහාරයක් එල්ල කරන්නේ, කොරෝනා වෛරස් වසංගතය සම්බන්ධයෙන් චීනයේ භූමිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විමර්ශනය කළ යුතු බව පැවසීමත් සමග ය.

ඉන්පසු 2020 සැප්තැම්බරයේදී ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය මාරිස් පේන්, ෂින්ජියැන් හි මුස්ලිම්වරුන්ට හිංසා පීඩා කිරීම සහ හොංකොං හි සිවිල් නිදහසට බාධා කිරීම සම්බන්ධයෙන් බෙයිජිං පාලනයට ඇඟිල්ල දිගු කළේය.

චීනය එකට එක කළ හැටි

මෙවිට චීනය කළේ ඔස්ට්‍රේලියාවෙන් ආර්ථිකමය වශයෙන් පළි ගැනීමයි. ඔස්ට්‍රේලියාවේ වැදගත් කර්මාන්ත 13ක නිෂ්පාදන සඳහා චීනය ආනයන සීමාවන් පැනවීය. ඒ නිෂ්පාදන අතර ගල් අඟුරු, ගවමස්, බාර්ලි සහ වයින් ද වේ.

ඔස්ට්‍රේලියානු වයින් 2020 නොවැම්බර් 27 වන දින නැගෙනහිර චීනයේ ෂෙජියැං පළාතේ හැංෂෝ හි සුපිරි වෙළඳසැලක දැක ගත හැකි වූයේ මෙසේ ය. මේවා ආනයනයට දැඩි සීමාවන් පනවා තිබේ. ඡායාරූපය: AFP / STR

මේ අතර චීනය, සිය මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම ඔස්ට්‍රේලියාව විවේචනය කළේය. චීනයට එරෙහිව දේශපාලනික සතුරුකම් කරන බවට ප්‍රතිචෝදනා කළේය. මේ පුවත් චීන මාධ්‍ය විසින් වාර්තා කළේ ‘‘කැන්බරාව චීනය සම්බන්ධයෙන් වෘක ගණයේ ප්‍රතිපත්ති සම්පාදනය කරයි‘‘ හෝ එසේත් නැතිනම් ‘‘ඔස්ට්‍රේලියාව චීනයට සිදුකරන කෘෘර ක්‍රියාවන් නිසා චීන සමාජය පුදුමයට පත් ව සිටිනවා පමණක් නොව ඔස්ට්‍රේලියාව දෙස පිළිකුළෙන් යුතුව ද බලයි‘‘ වැනි භාෂා විලාසයක් යොදා ගනිමිනි.

2020 නොවැම්බර් 17 වැනිදා චීනය මේ ආරවුල නවතම මට්ටමක් දක්වා ගෙන ගියේය. ඒ, ‘‘චීනය කෝප වී ඇත‘‘ යන පණිවුඩය සහිතව ‘‘පසුතැවිලි 14 ක් සහ අනතුරු ඇඟවීමක්‘‘ නමැති ලැයිස්තුවක් ඔස්ට්‍රේලියානු රජයට යැවීම මගිනි.

මෙම ලැයිස්තුවේ සාරාංශගත කර තිබුණේ චීනය, ඔස්ට්‍රේලියාව සමග කෝපයෙන් පසුවීමට හේතූන් ය. ඒ අතර හුආවෙයි සමාගම රටෙන් දොට්ට දැමීම, ඇමරිකාවේ පැත්ත ගනිමින් කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් චෝදනා කිරීම, චීනය විසින් සයිබර් ප්‍රහාර සිදුකළ බවට එල්ල වන චෝදනා, දකුණු චීන මුහුදේ අර්බුදය ගැන කතා කිරීම සහ චීනයේ මානව හිමිකම් උල්ලංඝනයන්ට මැදිහත් වීම යනාදියයි.

ෂී ජිං පින් ගේ චීන ආණ්ඩුව මෙතෙකින් ද නතර වීමට සූදානම් නැත.

ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් සහ වගවීම ගැනත් චීනය කතා කරයි!

ඔස්ට්‍රේලියානු සොල්දාදුවන් ඇෆ්ගනිස්ථානයේදී නීතිවිරෝධී ලෙස සිවිල් වැසියන් ඝාතනය කළ බවට ඔස්ට්‍රේලියානු රජය විසින් කරන ලද පරීක්ෂණයකින් පසුව චීන රජයේ විචාරකයින් ඔස්ට්‍රේලියාව හෙළා දැකීමට එය ද හේතුවක් කර ගත්හ.

නොවැම්බර් 30 වැනිදා චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියැං මේ ඇවිලෙන ගින්නට තවත් පිදුරු දැමුවේ ඇෆ්ගන් දරුවෙකු මරා දැමීම ගැන සිනාමුසුව පවසන ඔස්ට්‍රේලියානු සොල්දාදුවෙකුගේ ඡායාරූපයක් ට්වීට් කිරීම මගිනි. මෙම ඡායාරූපය සැලසුම් සහගත ව සකස් කළ එකක් බව පසුව හෙළි විය.

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්, මෙම ට්විටර් සටහන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවෙන් සමාව ගන්නා ලෙසට චීන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. නමුත් එම ඉල්ලීම ඉදිරිපත් වූ සැණින් එය ප්‍රතික්ෂේප කිරීමට චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළේය.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක සාවෝ ලිජියැන් Zhao Lijian. Photo: AFP / Greg Baker

චීනය පැරදෙන ලකුණු

මේ මොනවා කළත් චීනයට, ඔස්ට්‍රේලියාවට එරෙහි ගැටුමේදී පරාජය වන බවක් පෙනේ. 2020 මැද භාගය වන විට ඔස්ට්‍රේලියාවට හිතකර මතයක් චීන ගැටුම සම්බන්ධයෙන් වර්ධනය වන්නේ, වසර ගණනාවක් මුළුල්ලේ ශක්තිමක් චීන-ඔස්ට්‍රේලියා වෙළඳ සබඳතා ඇති කර ගැනීම සඳහා දෙරටම කර ඇති වැඩ කොටස අපතේ යවමිනි. චීනයේ විරුද්ධත්වය නොතකා රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක්, කෝවිඩ් වසංගතයට චීනයේ දායකත්වය පරීක්ෂා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් කෙරුණු ඉල්ලීමට සහයෝගය ලබාදුන්හ.

චීනයේ ‘කෝපයට හේතු 14‘ ලැයිස්තුව මගින් ඉල්ලා සිටින්නේ ඔස්ට්‍රේලියාවේ ස්වෛරීභාවයෙන් කොටසක් පවරා දෙන ලෙසට චීනය කරන ඉල්ලීමක් යැයි ඔස්ට්‍රේලියාව නිවැරදිව වටාගෙන තිබේ.

රටවල් ගණනාවක නායකයන් මේ සටනේදී ඔස්ට්‍රේලියාවේ සහායට පැමිණ ඇත. උදාහරණයක් වශයෙන්, නොවැම්බර් 30 වැනිදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිවේදනය කළේ,

‘‘මේ සතියේ ධවල මන්දිරයේ නිවාඩු කාලය එළඹීම නිමිත්තෙන් පැවැත්වෙන සාදයට ඔස්ට්‍රේලියානු වයින් අන්තර්ගත වනු ඇත. ඒ, ඔස්ට්‍රේලියාවේ වයින් කර්මාන්තය සඳහා බෙයිජිං පාලනය පනවා ඇති ආසාධාරණ බදු වලට විරෝධය පෑමක් ලෙස ය‘‘
යනුවෙනි.

විය හැකි දේවල් 3 යි !

තමන් තනි වන බවත්, පරාජය විය හැකි බවත් දැන දැනම චීනය මෙසේ ඔස්ට්‍රේලියාව සමග හැප්පෙන්නේ ඇයි?

මෙයට හේතු 3 ක් තිබිය හැකිය..

පළමු හේතුව : වැරදි ගණනය කිරීමක්

ඔස්ට්‍රේලියාව චීනය සමඟ වෙළඳාම මත යැපීම නිසා කැන්බරා ආණ්ඩුව යම් දුරකට චීන ඉල්ලීම්වලට යටත් වනු ඇති බවට “සම්පූර්ණ වැරදි ගණනය කිරීමක්” බීජිනය විසින් සිදු කර තිබේ. එය සැබෑවක් නම්, චීනයේ විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ජාත්‍යන්තර කටයුතු නිවැරදිව තක්සේරු කිරීමට චීන රජයට ඇති නොහැකියාව බරපතළ ලෙස පෙන්නුම් කරනු ඇත.

දෙවැනි හේතුව :අනෙක් අයට පාඩමක් ඉගැන්වීම

මෙය බොහෝ දුරට ‘විය හැකි හේතුව‘ ලෙස විචාරකයෝ හඳුන්වති. එනම්, බෙයිජිං හි සැබෑ ඉලක්කය ඔස්ට්‍රේලියාව නොව සෙසු ආණ්ඩු ය. මේ ඉලක්කගත කලාප සහ රටවල් අතර අග්නිදිග ආසියාව, යුරෝපා සංගමය, දකුණු කොරියාව සහ ජපානය වේ.

මෙහිදී බීජිනය බලාපොරොත්තු වන්නේ කැන්බරාවේ ප්‍රබල ආපසු හැරීමක් නොවේ. ඊට වඩා දෙයකි. එනම්, චීනයට දේශපාලනික වශයෙන් සංවේදී යැයි සලකන මාතෘකා ගැන කතා කළහොත්, ඔවුන්ගේ විශාල වෙළඳ හා ආයෝජන හවුල්කරුගෙන් ආර්ථික පළිගැනීමක් සිදුවනු ඇතැයි යන පාඩම අනෙකුත් ආණ්ඩු ඉගෙන ගනු ඇතැයි අපේක්ෂා කරයි. සරල වචනවලින් පවසන්නේ නම් චීනය, ඔස්ට්‍රේලියාව සමග මේ ආරවුල ගෙනයන්නේ, චීනයට බලපැම් කරන්නට හෝ චීනය විවේචනය කරන්නට බලා සිටින අනෙක් රටවලට පෙනෙන්ට ය. ඔවුන්ට පාඩමක් ඉගැන්වීම සඳහා ය.

ඔස්ට්‍රේලියාවට එරෙහි ආර්ථික සම්බාධක සහ ඔස්ට්‍රේලියාව සමඟ බීජිංහි දේශපාලන ආරවුල් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව නිරන්තරයෙන් ප්‍රකාශ වන කාරණයකි. එසේ තිබියදීත් එම සම්බාධක සැබවින්ම දේශපාලන ආරවුලේ ප්‍රතිඵලයක් බවට නිරීක්ෂකයින්ගේ මනසෙහි සැකයක් ඇති කිරීමට චීන නිලධාරීන් අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ.

එනම්, ‘‘චීනය වෙනත් රටවල් සමග අමනාප වුණාට කමක් නැ. නමුත් චීනය අමනාප කර නොගන්න‘‘ නමැති ප්‍රබල පණිවුඩය ලෝකයට ලබාදීමයි.

නමුත් මෙයද බීජිනය විසින් කළ වැරදි ගණනය කිරීමක් විය හැකිය. ලෝකයේ ආණ්ඩු චීනයෙන් විකර්ෂණය වීමට මෙය බලපෑ හැකිය.

තෙවැනි හේතුව :  Wolf Warrior මානසිකත්වය

විය හැකි තුන්වන පැහැදිලි කිරීම නම්, “වුල්ෆ් වොරියර්” මානසිකත්වය දැන් චීන නිලධරය තුළ ඉහළ ගොස් ඇති බවය:

මෙම Wolf warrior diplomacy යන්න, 21 වන සියවසේදී ෂී ජින්පින්ගේ නායකත්වය යටතේ චීනය විසින් අනුගමනය කරන ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තියයි. මෙම නම භාවිතයට යෙදුණේ චීනය උමතුවෙන් මෙන් වෙළාගත් රම්බෝ ගණයේ චීන – ජාතිකවාදී ක්‍රියාදාම චිත්‍රපටයක් වූ Wolf Warrior 2 වෙතිනි.

එනම් මෙම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය යටතේ විදේශිකයන් චීනය වෙත දක්වන අගෞරවයට එඩිතර හා තියුණු ප්‍රතිචාර දක්වන අතර, එය චීනය තුළ දේශීය වශයෙන් ඉතා ඉහළින් සලකයි. මේ සමගම බැඳී ඇති ලක්ෂණය වන්නේ මේ නිසා හටගත හැකි සෘණාත්මක ප්‍රතිවිපාක ගැන බැරෑරුම් ලෙස සලකා බැලීම අනවශ්‍ය යැයි බලධාරීන් විසින් සිතීමයි.

මෙය, චීනයේ ජාතික අභිලාෂයන් ඉටු කිරීම අපහසු තත්වයකදී වුවත් එසේ විශේෂඥයන් සේ හැසිරීම මගින් අධි-ජාතිකවාදයක් වෙත ගෙන යන දේශපාලන වාතාවරණයක් රට තුළ ඇති වීමේ ස්වභාවික විපාකයකි. එය ෂී ජින් පින් සිය රට ගෙන යන දිශාවයි.

මෙම ‘වුල්ෆ් වොරියරිසම්‘ හෙවත් ‘වෘක රණශූරත්වය‘ විසින් චීනය එක් පියවරක් උතුරු කොරියාවට සමාන වීම වෙත ගෙන ගොස් තිබේ. රටේ නායකයාට අපහාස කිරීමට ප්‍රතිචාර වශයෙන් කුමන හෝ ආකාරයකින් යුධ ප්‍රකාශ කිරීම මෙහි ප්‍රධානතම ලක්ෂණයකි.

කෝපයට කාරණා එලෙසම තිබියදීත්…

THAAD මිසයිල පද්ධතිය චීනයේ අභිලාෂයන් නොවන වෙනත් දේ සඳහා පාවිච්චි කිරීමට තීරණය කිරීමත් සමග චීනය දකුණු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීය. මේ ආර්ථික තර්ජනයේ ප්‍රතිඵලය වූයේ ඇමරිකා එක්සත් ජනපදය සමග පවත්වන ආරක්ෂක සහයෝගීතාවයේ ඇතැම් අංශ සීමා කිරීමට දකුණු කොරියාව අවසානයේ එකඟ වීමයි.

මේ අන්දමින්ම 2010 වසරේදී චීනයේ විසම්මුතිකවාදියෙකු හට (ලූ ක්සියාබෝ හට) නොබෙල් සම්මානය පිරිනැමීම නිසා නෝර්වේ රාජ්‍යය ද චීනයේ සම්බාධකවලට නතු විය. මේ සම්බාධක ඉවත් කර ගැනීම සඳහා චීනය ප්‍රශංසා කරමින් ‘නියාලු‘ ආකාරයක ප්‍රකාශයක් නිකුත් කිරීමටත් චීන ඇජෙන්ඩාවට සහාය දැක්වීමටත් නෝර්වේ රාජ්‍යයට සිදුවිය.

ඔස්ට්‍රේලියාවේ සිද්ධියේදී නම් සමාව ඉල්ලා සිටීමක් හෝ සමථයක් දැකගත හැකි වූයේ නැත. ඒ වෙනුවට කප්පාදු කිරීම් සහිතව වුවත් ද්වීපාර්ශවික ආර්ථික සබඳතා තවමත් ක්‍රියාත්මක ය.

චීනය, ඇතැම් ඔස්ට්‍රේලියානු නිෂ්පාදන තවමත් කිසිදු සීමාවකින් තොරව ඔවුන්ගෙන් මිලදී ගනියි. චීනයට දැඩි සේ අවශ්‍ය යකඩ බොර එයින් එකකි. ගල් අඟුරු සඳහා පැනවූ සීමාවන් නිසා ද වැඩිම පාඩුව සිදුවූයේ චීනයට නොව ඔස්ට්‍රේලියාවට ය.

නැගෙනහිර චීනයේ ෂැන්ඩොන් පළාතේ රිසාහෝ වරායේ දැකගත හැකි යකඩ බොර නිධියක්. මෙම ඛනිජ සම්පත ඔස්ට්‍රේලියාවේ අති බහුල ලෙස පවතියි. Photo: AFP

මාස කිහිපයක ඇවෑමෙන්, පෙර කියූ ‘කෝපයට කාරණා 14‘ එසේම තිබියදී වුවත් චීනය, ඔස්ට්‍රේලියාවට එරෙහිව පනවා ඇති තහනම් ඉවත් කිරීමට ඉඩ තිබේ.

බෙයිජිං විශ්වාස කරනු ඇත්තේ, සෙසු ලෝකය තුළ ශක්තිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීම සඳහා තමන් විසින් ඔස්ට්‍රේලියාව සමග පවත්වන සබඳතා තාවකාලිකව කැප කළ බවයි. කෙසේ වෙතත්, ඒ අපේක්ෂිත ප්‍රතිඵලය ලැබේද යන්න සැක සහිත ය. මෙහිදී ‘ගේම් එක‘ සංකල්පීයකරණය කිරීමෙන් අදහස් කරන්නේ චීනය තවමත් පැරදී ඇති බව නම් නොවේ.

ඒෂියා ටයිම්ස් පුවත් සේවයට ඩෙනී රෝයි විසින් ලියූ ‘Attacking Australia, Beijing tries to win by losing‘ නමැති කලාපීය දේශපාලන විග්‍රහයේ සිංහල පරිවර්තනයයි.

Main Photo: Asia Society



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි