×

අවුන් සාන් සුකී ජාත්‍යන්තර අධිකරණයේ – ජාත්‍යාලය දෝරෙ ගලයි!

කලෙක සාමයේ සංකේතය ලෙස සැලකුණු ‘බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව‘ ලෙස හැඳින්වුණු අවුන් සාන් සුකී අවසානයේ ජාත්‍යන්තර යුක්ති අධිකරණය හමුවේ ජන සංහාර චෝදනාවලට මුහුණ දෙන්නීය.


ජාත්‍යන්තර යුක්ති අධිකරණය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිහිටුවන ලද ලෝකයේ ඉහළම අධිකරණය වේ.

ඇය නෙදර්ලන්තයේ පීස් පැලස්හි පිහිටා තිබෙන එම ජාත්‍යන්තර යුක්ති අධිකරණය (International Court of Justice – ICJ) වෙත පැමිණ තිබෙන්නේ මියැන්මාරය විසින් සිදුකළ රොහින්ග්යා ඝාතන සාධාරණීකරණය කරන්නට ය.

2017 ගිම්හානයේදී මියැන්මාර හමුදාව විසින් රඛීන් ප්‍රාන්තයේදී සිදුකරන ලද රොහින්ග්‍යා සමූල ඝාතන සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සංකීර්ණ විලාසයෙන් ප්‍රතික්ෂේප කළ ඇය එහිදී කියා සිටියේ ‘ජනසංහාර අරමුණ උපකල්පයක් පමණක් විය නොහැකි බව‘ යි.

මියැන්මාරයේ සුළු ජාතික ජන වර්ගය වන රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව හමුදාව විසින් දියත් කළ මෙම භීෂණයේ සහ ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලය ලෙස 740,000 ක් රොහින්ග්‍යාවරුන්ට  2016 සහ 2017 වසරවලදී අසල්වැසි බංග්ලාදේශය වෙත පළා යාමට සිදුවිය. මෙහිදී මියැන්මාර හමුදාව පමණක් නොව බහුතර මියැන්මාර ජනතාව ද දැරූ ස්ථාවරය වූයේ ‘නුඹලා අපේ රටේ අය නොවේ. නුඹලා පැමිණි රටටම පලයල්ලා‘‘ යන්නයි. මෙම මිලිටරි භීෂණය හමුවේ රොහින්ග්‍යා මුස්ලිම් කාන්තාවන් සහ පුරුෂයන් පණ පිටින් පුළුස්සා දැමීම, අමානුෂික ලෙස ඝාතනය කිරීම, ස්ත්‍රී දූෂණ, නිවාස හා දේපළ පුළුස්සා දැමීම යනාදී අපරාධ රැසක් වාර්තා විය.

අවසානයේ ජගත් සංවිධානයේ UN fact-finding commission විසින් මෙය විස්තර කළේ ‘මනුෂ්‍ය සංහාරයක්‘/ ‘ජන සංහාරයක්‘/‘සමූලඝාතනයක්‘ යන තේරුම දෙන  genocide යෙදුමෙනි.

රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් මියැන්මාරය වගවීමට හසු කර ගැනීමට අන්තර්ජාතිකව ගනු ලබන ප්‍රථම නෛතික උත්සාහය වන්නේ මෙයයි. එහිදී ICJ හි සිටින විනිසුරුවරුන් 15 දෙනෙකු විසින් රොහින්ග්‍යා අර්බුදයට අදාළ නීතිමය තත්වයන් විමසා බලමින් ඇයව ප්‍රශ්න කරනු ලැබේ.

සුකී මේ ප්‍රශ්නවලට උත්තර දීම සඳහා මියැන්මාරයට පැමිණ තිබෙන්නේ මියැන්මාර නියෝජිත කණ්ඩායමක් සමග ය.
එහිදී ඇයව කුඩා අප්‍රිකානු දේශයක් වන ගැම්බියාව වැනි රටවලින් පවා ප්‍රශ්න කරනු ලැබේ.

සුකී කීවේ කුමක්ද?

‍මෙහිදී සුකීගේ ප්‍රධාන තර්කය වන්නේ ‘මියැන්මාරයේ ස්වාධිපත්‍යය සහ ජාතික ආරක්ෂාව‘ අභියෝග කරමින් රඛීන් ප්‍රාන්තයේ සන්නද්ධ අරගලයක් පැවති බවයි.
‘අරකාන් රොහින්ග්‍යා ගළවාගැනීමේ හමුදාව‘ (Arakan Rohingya Salvation Army (ARSA)) නමැති රොහින්ග්‍යා කැරළි කණ්ඩායම ‘ඉලක්ක කර ගනිමින්‘ මියැන්මාර හමුදාව විසින් ‘සංවිධානාත්මක‘ ප්‍රහාර ගම්මානවල සිදුකළ බව ද ඇය එහිදී පිළිගත්තාය. ඒවා ඇය විසින් හඳුන්වා දුන්නේ ‘ක්ලියරන්ස් ඔපරේෂන්ස්‘ හෙවත් ‘සුද්ද කිරීමේ මෙහෙයුම්‘ ලෙස ය. ARSA කැරළිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා එම ප්‍රහාර සිදුකළ බවත් ඇය තවදුරටත් කියා සිටියාය.
එසේම අපරාධ සිදුවී තිබේ නම් ඒවා විමර්ශනය කර ‘අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට‘ මියැන්මාරයේ අපරාධ අභිචෝදකයන්ට‘ ශක්‍යතාවය තිබෙන බව කියමින් ඇය නොකියා කීවේ එම ප්‍රශ්නය විසඳීම සඳහා ජාත්‍යන්තර විමර්ශකයන් අවශ්‍ය නොවන බව ය.
කෙසේ නමුත් මේ දක්වා රොහින්ග්‍යා අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නේ මියැන්මාර සොල්දාදුවන් හත් දෙනෙකු පමණි.
සුකී මෙහිදී තවත් අපූරු තර්කයක් ගෙන ආවාය. ‘‘මියැන්මාරය ජන සංහාරයක් කළා නම්, රජය මැදිහත් වෙලා විමර්ශනයක් කරයිද?“
ඇය තරයේ කියා සිටියේ ජාත්‍යන්තරය විසින් සිදුකරන ජන සංහාර/සමූලඝාතන චෝදනා අමූලික බොරුවක් බවයි.

මේ සිටින්නේ ඇය නොවේ!

මියැන්මාරයේ මානව හිමිකම් පිළිබඳ ජගත් සංවිධානයේ විශේෂ වාර්තාකාරිය යැංගී ලී (Yanghee Lee) අපූරු ප්‍රකාශයක් කරයි.
‘‘අපි දැනගත යුතු දෙයක් තිබෙනවා. මියැන්මාරය තුළ සුකී ලා දෙදෙනෙක් සිටිනවා. එක් කෙනෙක් තමයි, 2015 මහමැතිවරණයෙන් ඇගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය බලයට පැමිණීමට පෙර සිටි සුකී. අපි දැන් දකින්නේ 2015 න් පසුව සිටින සුකී. ඇය වෙනස් කෙනෙක්.“
ඔව් ඇත්ත..! 2015 න් පසුව සිටින සුකී වෙනස්ම සින්දුවක් කියමින් සිටින්නීය. ලෝකයේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් අවසානයේ සිය ගමනාන්තය ලෙස තෝරාගන්නේ ජාතිවාදය, දේශානුරාගය සහ ස්වාධිපත්‍යයයි. කණගාටුදායක ‍ලෙස, සුකී ද එයින් වෙනස් නොවුණාය.
රොහින්ග්‍යා සංහාර සිදුවීමෙන් පසු ජගත් සංවිධාන මානව හිමිකම් වාර්තාකාරිනී යැංගි ලී සුකී ගෙන් ඉල්ලා සිට ඇත්තේ රඛීන් ප්‍රාන්තයට තමන් සමග සංචාරයක නියැළෙන ලෙස ය. ඒ සඳහා සුකී ලබා දී තිබෙන්නේ අමුතුම ප්‍රතිචාරයකි. ‘‘ඔබ දිගටම ඔය ඉල්ලීම කළොත් – ඔය කතාව කිව්වොත් රඛීන් ප්‍රාන්තයට නෙවෙයි, මියැන්මාරයටවත් එන්න බැරි වෙයි..‘‘
දැන් සුකී අන්තර්ජාතික යුක්ති අධිකරණයට පැමිණීමත් සමග මියැන්මාරය තුළ අවිවාදයෙන්ම ‘ජාතික වීරවරියකගේ‘ තත්වයට පත්ව තිබේ. හේග් නුවර සාම මන්දිරයට පිටතින් පවා ‘අපි සුකී සමගයි‘ යැයි සඳහන් පුවරු සහිත සහාය පළ කරන්නන් දැකගත හැකි විය.
මේ අන්තර්ජාතික අධිකරණ සිදුවීම සුකීගේ ඉදිරි දේශපාලන ගමනට පිටිවහලකි. 2020 මහ මැතිවරණය අත ළඟම පැමිණෙයි. ඉතින් රටකට මීට වඩා හොඳ නායිකාවක් ලැබිය හැකිද?

මියැන්මාරයට  සම්බාධක

මේ අතර, මෙයට දින දෙකකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය මියැන්මාරයේ සන්නද්ධ හමුදා නායක මින් අවුන් හ්ලැයින්ග් සහ ඔහුගේ නියෝජ්‍ය සගයා වන සෝ වින් ඇතුළු තවත් මිලිටරි නායකයන් දෙදෙනෙකුට රඛීන් ප්‍රාන්තයේ සිදුකළ ‘බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන්‘ සම්බන්ධයෙන් දැඩි සම්බාධක පැනවීය.
මෙහි පළමු පියවර වශයෙන් ඔවුන්ට ඇමරිකාව තුළ අයත් යම් දේපළක් තිබේ නම් ඒ සියල්ල මුද්‍රා තැබෙනු ඇත. තවද කිසිදු ඇමරිකානුවෙකුට ඔවුන් සමග මූල්‍ය ගනුදෙනු සිදුකළ නොහැකි වනු ඇත.
මේ පළමු පියවරයි. අපි බලා සිටිමු.
Cover Photo: Al Jazeera
පෙර ලිපි


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි