×

ඉතින් අපි සමු දෙමුද..?

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් නිජබිමේ ආවේණික සුරතලා වන කෝලා වලසා සම්බන්ධයෙන් ජාතික ව්‍යවසනයක් (නැෂනල් ට්‍රැජඩි) ප්‍රකාශයට පත් කර තිබේ.


හාත්පස පරිසරයම දැවී හළු වී ඇත. වාසනාවකට ජීවිතය බේරාගැනීමට සමත් වූ සුරතල් පෙනුමැති කෝලා වලසෙක් බිම වාඩි වී ප්ලාස්ටික් කෝප්පයකින් තමන් වෙත දිගු කරන ජලය බිඳක් නොඉවසිල්ලෙන් තොල ගායි.

මෙය චිත්‍රපටයක කොටසක් නොවේ. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනිවලට මැදි වූ අහිංසකයෙකුගේ තවත් එක් කතාවකි.

ඉහත දර්ශනය සහිත වීඩියෝව මේ වන විට සමාජ ජාල හරහා වේගයෙන් ප්‍රචාරණය වේ. මේ එයින් ලබාගත් එක් රූප රාමුවකි.

කෝලා වලසුන් – ඔස්ට්‍රේලියාවේ ජාතික සංකේතයක්

සිය පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇති බව හැඟුණු විට කෝලා වලසුන් කරන්නේ තුරු වියනට වැදී ආරක්ෂාව සඳහා සිරුර බෝලයක් මෙන් රවුම් කර ගැනීමයි. නමුත් වනය ගිනි ගන්නා විට මේ ආරක්ෂක උපක්‍රමය සාර්ථක නොවේ. පෝට් මැක්වයර් ප්‍රදේශයේ ජීවත් වූ මාසුපියල් සතුන් 700 දෙනාගෙන් 350 දෙනෙක්ම ගින්නට පිළිස්සී ඇතැයි බලධාරීහු මේ වන විට පවසති. ඒ අනුව අක්කර 4,900 ක් පුරා පැතිර ඇති මෙම නිකේතනයේ ජීවත් වන කෝලා වලසුන්ගෙන් 2/3 ක්ම ගින්නට පිච්චී මිය ගොස් තිබේ.

කෝලා වලසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ම පිහිටුවා ඇති Port Macquarie Koala Hospital හි අධ්‍යක්ෂවරයා මෙය “national tragedy” හෙවත් ජාතික ඛේදවාචකයක් ලෙස නම් කරන්නේ මේ තත්වය තුළ ය.

මේ වන විට මෙම කෝලා රෝහල GoFundMe යනුවෙන් වෙනම ෆේස්බුක් පිටුවක් ද සමග ලැව් ගිනිවලින් තුවාළ ලත් කෝලා වලසුන්ට ප්‍රතිකාර කිරීම පිණිස අරමුදලක් ද පිහිටුවා ඇත. එමගින් මේ දක්වා ඩොලර් ලක්ෂ හයහමාරක මුදලක් එක් රැස්ව ඇති බව ද වාර්තා වේ. මෙම අරමුදල් එක්රැස්කිරීම අධිවේගී වූයේ අප ඉහත කී වීඩියෝව සමාජ ජාලවලට එක් කිරීමත් සමග ය.

ගින්න ඇරඹුණේ විදුලි කෙටීමකින්

පසුගිය මාසයේ මේ ගිනිගැනීම් (බුෂ් ෆයර්ස්) ඇරඹුණේ නිව්සවුත් වේල්ස් ජනපදයට එල්ල වූ විදුලි කෙටීමක් ද සමග ය. එමගින් කෝලා වලසුන්ගේ, ඒ වන විටත් ක්ෂීණ වී යමින් තිබූ නිකේතන ගිනි ගන්නට පටන් ගත්තේය.

‘‘අපිට කොහොමටත් කෝලා වලසුන් ජීවත් වන නිකේතන තිබෙන්නේ අල්පයයි. එයට හේතුව බොහෝ නිකේතන ගමන් මාර්ග සහ කාර්මීකරණය හේතුවෙන් විනාශ වෙලා.“ Australian Broadcast Corporation (ABC) ගුවන් විදුලිය සමග එක්වූ කෝලා වලසුන් රැක ගැනීමේ පදනමක් පවසන්නේ එසේ ය. එයට අනුව ක්වීන්ලන්තයේ ගෝල්ඩ් කෝස්ට් නගරය ජනාවාස කිරීමේදී ද, එනම් මෙයට දශක කිහිපයකට පෙර එහි සිටි කෝලා වලසුන්ගෙන් හරි අඩක් විනාශ වී ගියේය.

නිකේතන අහිමි වීම, වාහන, සුනඛයන් විසින් හපා කෑම, ලෙඩ රෝග සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම විසින් කෝලා වලසුන්ගේ ඉරණම විසඳමින් තිබේ.

වඳ වී යන කෝලා සුරතලා

New York Post

මේ සුන්දර සත්වයා මේ වන විට සිටින්නේ සිය නිජබිම වන ඔස්ට්‍රේලියාව තුළ “vulnerable” හෙවත් අවදානමට ලක්ව සිටින සත්ව විශේෂ යන කාණ්ඩය තුළ ය. (IUCN Red List’s 2014)

කෝලා වලසුන් සුරැකීම සඳහාම පිහිටුවාගෙන තිබෙන ඔස්ට්‍රේලියානු කෝලා පදනම – Australian Koala Foundation මේ වන විට පවසා තිිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ ඉතිරි වී සිටින්නේ කෝලා වලසුන් ලක්ෂ 8 ක් පමණක් බවයි.

පරිසර විද්‍යාඥයන්ට අනුව මෙය අති බැරෑරුම් තත්වයකි.

කෝලා වලසුන්ගේ ව්‍යාප්තිය පිළිබඳ අධීක්ෂණය කරන ඔස්ට්‍රේලියානු කෝලා පදනම 2010 වසරේ පටන් එරට ෆෙඩරල් දිස්ත්‍රික්ක 128 ම අධීක්ෂණයේ යෙදෙයි. මේ වන විට ඒ අතරින් ෆෙඩරල් දිස්ත්‍රික්ක 41කම කෝලා වලසුන් වඳ වී ගොස් ඇත. දිස්ත්‍රික්ක බොහෝ ගණනක කෝලා වලසුන් ඉතිරි වී සිටින්නේ ද සීමිත සංඛ්‍යාවක් පමණකි. මේ අතර තවත් ස්ථානවල 1994 සහ 2016 අතර සමයේදී කෝලා ගහණයෙන් 80%ක් පමණ වඳ වී ගොස් තිබේ.

කිසිවෙකුටත් කරදරයක් නොකරන, යුකැලිප්ටස් කොල බුදීම සහ ඉතිරි වැඩ කටයුතු සඳහා දවසේ වේලාවෙන් පැය 2 ක්ද, ඉතිරි පැය 22 නිදා ගැනීමට ද වැය කරන – ඔස්ට්‍රේලියාවට ආ‍වේණික මේ සුන්දර සුරතලා දැන් ඉතින් මිහිතලයෙන් සමුගන්නට නියමිත ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි