පුරා විසි අවුරුද්දක් ඔවුන් ගෙන ගිය මූලධර්මවාදී පාලනය තුළ කැපී පෙනෙන ලක්ෂණ දෙකක් විය. එනම් මානව හිමිකම් කඩකිරීම් සහ සංස්කෘතික ඝාතනයයි. මෙම සංස්කෘතික ඝාතන අතර, ක්‍රි.ව. 1-5 සියවස් දක්වා ඇෆ්ගනිස්ථානයේ ප්‍රචලිතව පැවති බුදු දහමේ උරුමයන් සංහාරයට ලක් කිරීම විශේෂිත ය.
දැන්, වසර 20 ක පසුබැසීමකින් පසුව තලෙයිබාන් හමුදාව, එදා 90 දශකයේ අග භාගයේ සිදුකළ පරිදිම ඇෆ්ගනිස්ථානය සහමුලින්ම යටත් කර ගනිමින් සිටියි. 90 දශකයේදී ඔවුන්ට මුළු රටම යටත් කර ගැනීමට වසර 5 ක් පමණ ගත වුවත්, මෙවර ඔවුන් දින කිහිපයක් ඇතුළත කරන බව පෙනේ. බාමියන් බුදු පිළිම පිහිටා තිබූ කන්දහාර් පළාත මෙවර ද ඔවුන්ගේ මර්මස්ථානයකි. ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර වැදගත් දේශසීමාවක් පිහිටා තිබෙන්නේ ද කන්දහාර් පළාතේ ය.
එදා කන්දහාර් පළාතේ සිදුවූ බාමියන් බුදු පිළිම විනාශය 2001 මාර්තු මාසයේදී ජාත්‍යන්තර පුවත් මැවීය. මීටර 55 ක් උස, ලෝකයේ උසම හිටි පිළිමය ද එසේ විනාශ කෙරුණු බුදු පිළිම දෙක අතර විය. ඒවා ‘බාමියන්‘ පිළිම ලෙස හැඳින්වූයේ කන්දහාර් හි බාමියන් නිම්නයේ පිහිටා තිබූ නිසා ය.
ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කඳුවැටියෙන් ඇරඹී ගලා යන බාමියන් ගංගාව ආශ්‍රිතව පිහිටා තිබූ බාමියන් නිම්නය තුළ වැලි ගුහා තුළ මෙම බුදු පිළිම ඉදි කරනු ලැබුවේ ක්‍රි.ව. 5 වන සියවසේදී ය. ගුප්ත අධිරාජ ්‍යයේ ආභාසය මෙන්ම සාසේනියානු සහ හෙලනික ආභාසයන් ද මෙම කලාකෘති තුළ විය. අද වන විට මූලධර්මවාදී තලෙයිබාන් ග්‍රහණයට නතු වෙමින් තිබුණත් එදා එහි තිබුණේ බෞද්ධ කුෂන් අධිරාජ්‍යයයි. ක්‍රි.ව. 1-5 යුගවලදී ඇෆ්ගනිස්ථානයේ බුදු දහම වේගයෙන් ව්‍යාප්ත විය. සේද මාවතේ ගමන් ගන්නා චීන, ඉන්දියානු සහ රෝම ජාතිකයන් බාමියන් බුදු පිළිම නැරඹීම සඳහා එහි පැමිණි බව ඉතිහාසය සඳහන් කරයි. ස්ථූප, බෞද්ධ බිතු සිතුවම් අද ද බාමියන් නිම්නය තුළ දැකිය හැකිය.
90 දශකයේදී ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගන්නා තලෙයිබාන්වරුන්, 90 දශකය අග වන විට ඇෆ්ගනිස්ථානයෙන් 90%ක් අල්ලාගෙන තිබිණි. අවනීතිය, මූලධාර්මික ඉස්ලාමීය දඬුවම් ක්‍රම සහ කාන්තාවන් පහත් කොට සැලකීම වැනි තලෙයිබාන් ක්‍රමවලට බුදු දහම විනාශ කිරීම ද එක් වන්නේ ඉතිහාසය වනසා දැමීමේ ක්‍රමයක් ද ලෙස ය.
ඒ අනුව 2001 පෙබරවාරි 7 වැනිදා තලෙයිබානය, බාමියන් බුදු පිළිම විනාශ කර දැමීමට තමන් අදහස් කරන බව පවසයි. ඒ සමගම ලොව පුරා මෙයට විරෝධය ද මතු වේ. පාකිස්ථාන ජනපති පර්වියෙස් මුෂාරෆ් මෙන්ම දලයි ලාමා වහන්සේ ද මෙයට එරෙහිව හඬ නගති. එම බුදු පිළිම ඇතුළු බෞද්ධ නටඹුන් ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා ආරක්ෂිත ක්‍රමයක් සපයා දීම ගැන ඉන්දියාව ද කතා කරයි.
නමුත් තලෙයිබානය, බුදු පිළිම පමණක් නොව ඒ අවට තිබූ බෞද්ධ භූ දර්ශන ද සාහසික ලෙස වනසා දැමීම අරඹන්නේ මාර්තු 2 වැනිදා ය. තලෙයිබාන් මිලීෂියාව තුවක්කු සහ කාලතුවක්කු යොදාගෙන පළමු උත්සාහ දරති. එය අසාර්ථක වන තැන, ඔවුහු බිම් බෝම්බ සහ අනතුරුව රොකට් ප්‍රහාර එල්ල කරති. මෙම බුදු පිළිම ද්විත්වය සම්පූර්ණයෙන්ම බිමට සමතලා කර දැමීම සඳහා ඔවුහු මාසයක් මුළුල්ලේ ඒවාට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහ. සලිත වී කම්පනයට ලක්වී බලා සිටිනවා හැරෙන්නට කිසිවෙකුට කළ හැකි දෙයක් තිබුණේ නැත.
මාධ්‍ය වලට එක් තලෙයිබාන් නායකයෙකු කතා කරමින් කියන්නේ තමන්ට බුදු පිළිම විනාශ කරන්නට උවමනා ඇයි ද යන්න ය. ඒ සඳහා හේතු ගණනාවක් ඔවුහු දක්වති. ඒ අතර, පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරන ඉස්ලාම් ඉගැන්වීම් අනුදකිමින් පිළිම වනසා විනෝදය ලැබීම ද අයත් බව පැවසේ.
බාමියන් බුදු පිළිම වනසා මේ වසරේ මාර්තු මාසයට වසර 20 ක් සම්පූර්ණ වන්නේ ඒ අනුව ය.
කෙසේ නමුත් 2001 සැප්තැම්බර් 11 වැනිදා, ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ඉතිහාසයේ බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරයත් සමග එදිනම ඇමරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරයි. ඒ, මෙම ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ අල් කයිඩා මහ මොළය – ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේ සැඟවී සිටින්නේය යන තොරතුර මත මෙම ආක්‍රමණය සිදු කෙරිණි.
බාමියන් බුදු පිළිම වනසා දැමීම ගෝලීය කලබලයක් ඇති කළ බව කිව හැක. එය සංස්කෘතික අපරාධයක් පමණක් නොව, ගෝලීය සංකලනය පිළිබඳ අදහසට ද පටහැණි බව අවධාරණය කෙරේ. තලෙයිබානයේ සංස්කෘතික සංහාරය බාමියන් බුදු පිළිම වලින් නතර වූයේ නැත. ඔවුහු කාබුල් හි කෞතුකාගාරය විනාශ කර එහි තිබූ පුරාවස්තු ද කොල්ල කා දැමූහ.
තලෙයිබාන්වරුන් විසින් බාමියන් බුදු පිළිම වැනසීම, ලොව පුරා විසිරී සිටි වෙනත් ඉස්ලාම් මූලධර්මවාදීන් හට ද උත්තේජනයක් ගෙන දී ඇති බව පෙනිණි. සංස්කෘතික උරුම වැනසීම ත්‍රස්තවාදී න්‍යායපත්‍රයන් හි අරක් ගත්තේය. උදාහරණයක් වශයෙන් ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍ය මිලීෂියාව ඛලීඩ් අල්-අසාද් නමැති ලෝක ප්‍රකට පුරා විද්‍යාඥයාව මරා දමන්නේ ඔහු විසින් 2015 වසරේදී සිරියාවේ පැල්මයිරා ඓතිහාසික නගරයේ සැඟව තිබූ අගනා කෞතුක භාණ්ඩ තොගයක් හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ය. 2016 වසරේදී සිරියාවේ මෝසුල් නගරයට යාබද ඉපැරණි ඇසිරියානු නගරයක් වූ නිම්රුඩ් නගරය ද ISIS විසින් විනාශ කර දමනු ලබයි.
[embedyt] https://www.youtube.com/watch?v=T00dhVsRZdI[/embedyt]
බාමියන් බුදු පිළිම වනසා දැමීමෙන් පසුව යුනෙස්කෝ සංවිධානය, එහි අවශේෂයන් 2003 වසරේදී ලෝක උරුම ලෙස නම් කළේය. හැකි තරම් දුරට බුදුපිළිම ප්‍රතිෂ්ඨාපනය කිරීමට ද ඔවුහු උත්සාහ කළහ. එය මතභේදාත්මක තීරණයක් වූයේ ඉස්ලාමීය අන්තවාදය රජයන රටක නැවත වරක් බුදු පිළිම ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පලක් වේ ද යන්නයි. ඇතැමුන් දැරූ මතය වූයේ බුදු පිළිම තැන්පත්ව තිබූ ලෙන් කුහර පමණක් සංරක්ෂණය කිරීම මගින් බුදු පිළිම සංහාරය පිළිබඳ මතකය සංරක්ෂණය කළ හැකි බව ය.
2013 වසරේදී “A Night with Buddha” යනුවෙන් වර්චුවල් තාක්ෂණය මගින් බාමියන් බුදු පිළිම ප්‍රතිෂ්ඨාපනය කිරීම සිදුවිය. ඒ, වෙනස් සංස්කෘතීන් අතර පාලමක් වශයෙන් සහ, ඇෆ්ගනිස්ථානයේ පූර්ව ඉස්ලාමීය යුගයේ උරුමයන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ලෙස ය. එහිදී ලොව උසම බුදු පිළිමය ව පැවති සාල්සාල් බුදු පිළිමයේ ප්‍රතිරුවක් එය පෙර තිබූ ස්ථානයේම වර්චුවල් තාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කර පෙන්වනු ලැබිණි. දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ මෙම උත්සවය පැවැත්වීමට සිදුව තිබිණි. ලන්තෑරුම් අතින් ගත් ප්‍ර දේශවාසීහු උත්සවාකාරයෙන් ඒ සමග එක් වූහ. යටත් විජිත ආක්‍රමණයන්ගෙන් මෙන්ම ඉස්ලාමීය අන්තවාදය හේතුවෙන් ද කලාකෘති වැනසුණු දේශයක, ත්‍රිමාන (3D) සහ හොලෝග්‍රෑම් තාක්ෂණය ඔස්සේ එය සිදුකිරීම පවා විශිෂ්ට කාරණයක් සේ සැලකිණි. අවනීතිය සහ මනුෂ්‍ය කෑදර කම හමුවේ සාමය පළා ගිය දේශයක, වඩාත්ම අර්බුදකාරී සමයක එසේ සිදුකිරීමට හැකි වීම ජයග්‍රහණයක් සේ සැලකිණි.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නොමැකෙන ලකුණක් තැබූ ඇෆ්ගනිස්ථානය, මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් ද, ග්‍රෙකෝවරුන් විසින්ද, කුෂාන්වරුන් විසින්ද, ඝාස්නාවිඩ්වරුන් විසින් ද, අවසානයේ මෝගල් අධිරාජ්‍යයන් විසින් ද ආක්‍රමණය කර තිබේ. ඇෆ්ගනිස්ථානය තුළ මුස්ලිම් ආගම තහවුරු වන්නේ මෝගල් අධිරාජ්‍ය යේ බලපෑම සමග ය.
එකල චීනයට බුදු දහම පැතිරුණේ ඇෆ්ගනිස්ථානයෙනි. එය, බහුආගම් අයිතිය සුරැකූ රටක් විය. බුදු දහම පමණක් නොව, ක්‍රිස්තියානි ආගම, යුදෙව් ආගම, හින්දු ආගම මෙන්ම ශරතුසවාදය ද මේ භූමියේ කිසිදු ආන්තරාවකින් තොරව රෝපණය විය. සේද මාවත හරහා නිරන්තරයෙන්ම ඉන්දියාව සහ චීනය සමග සම්බන්ධ වී තිබීම නිසා ම සේද මාවත හරහා මේ ආගම් ද එයට ලැදි අනුගාමිකයන් සොයමින් ගෝලීය සංචාරයක නිරත විය.
කෙසේ නමුත් මෙවර, තලෙයිබාන් සංවිධානය පුරාවස්තු සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන ආකාරයට ඔවුන්ගේ අනුගාමිකයන්ට පුරා විද්‍යාත්මක ස්ථාන විනාශ කිරීම, ඒවා හෑරීම යනාදිය තහනම් කර තිබේ. නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාව පෙන්වා දෙන පරිදි, පුරාවස්තු, වෙළඳපොළේ විකිණීම ද තහනම් ය.
නමුත් බොහෝ දෙනා, මෙය ඉටුවන පොරොන්දුවක් ලෙස දැකීමට නොකැමැතිව සිටින්නේ තලෙයිබානය දැනටමත් ප්‍රකට කර ඇති ආක්‍රමණශීලී සහ ප්‍රහාරාත්මක හැසිරීම නිසා ය. අනාගතය බොහෝ දේ තීරණය කරනු ඇත. එසේ තීරණය කරන දේවල් අතර, බාමියන් නිම්නයේ – හින්දු කුෂ් කඳුවැටියේ සැඟවී ගිමන් හරින සංස්කෘතික උරුමයන් ද අයත් වීමට ඉඩ තිබේ.