මේ වන විට බංග්ලාදේශ මහ මැතිවරණයට තිබෙන්නේ දින කිහිපයකි.
ෆේස්බුක් නිලධාරීන් පවසා තිබෙන්නේ, බංග්ලාදේශ ෆේස්බුක් පිටු 9 ක් මෙන්ම ව්‍යාජ පුද්ගලික ගිණුම් 6 ක් ද මේ වන විට වසා දමා ඇති බවයි. ඒවා බංග්ලාදේශ විරුද්ධ පක්ෂය පහළට ඇද දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණයක කොටස් ලෙස ඔවුන් විසින් හඳුනාගෙන තිබේ. ඒවා බංග්ලාදේශ රජයේ සම්බන්ධතා මත ගොඩ නැගූ ඒවා බව ද ෆේස්බුක් හි සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී නැතනියල් ග්ලෙයිෂර් (Nathaniel Gleicher) පවසයි.
ඔහු පවසන ආකාරයට මෙම ෆේස්බුක් පිටු සහ ගිණුම්, බංග්ලාදේශ ආණ්ඩුවේ සබඳතා මත පවත්වාගෙන යන බව සනාථ කර ගෙන තිබෙන්නේ Graphika නමැති පුද්ගලික බුද්ධි අංශ සමාගමක සේවය ලබාගනිමිනි. කෙසේ නමුත් මේ පිළිබඳ වැඩිදුර විස්තර සැපයීමෙන් ඔහු වැළකී සිටියේය.
මේ සිදුවීමේදී දැකගත හැකි කැපී පෙනෙන කරුණක් වූයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල නිල ෆේස්බුක් පිටුවලට සමාන සහ කිසිදු වෙනසක් නොමැති අයුරින් ව්‍යාජ ෆේස්බුක් පිටු සකස් කර තිබීමයි. BBC පුවත් සේවයේ බංගලි භාෂාවෙන් පවත්වාගෙන යනු ලබන පුවත් අඩවිය ට සමාන ව්‍යාජ ෆේස්බුක් පිටුවක් මේ අතර වසා දමා තිබේ. bdnews24.com නමැති බංග්ලාදේශයේ ජනප්‍රිය ඔන්ලයින් පුවත්පතක ව්‍යාජ ෆේස්බුක් පිටුවක් ද මේ අන්දමින් වාරණයට ලක් විය.
මෙම පිටු හරහා අත්අඩංගුවේ පසුවන බංග්ලාදේශ විපක්ෂ නායිකා බෙගම් ඛලීඩා ෂියා (Khaleda Zia) පිළිබඳ ව්‍යාජ තොරතුරු රාශියක් පතුරුවමින් තිබිණි. එ් අතර, ඇය විසින් බංග්ලාදේශ ජාතික පක්ෂයේ මහලේකම්වරයාව අස් කළ බවට ව්‍යාජ පුවතක් පළ විය. මෙයට සමගාමීව bdnews24.com ව්‍යාජ පිටුව හරහා පළ වී තිබුණේ ඛලීඩා ෂියා විසින් සිරගෙදර සිට එවූ වීඩියෝ පණිවුඩයක් මගින් මෙසේ කළ බවයි. මේ අතර, බීබීසී බංගලි – ව්‍යාජ ෆේස්බුක් පිටුවේ දැක්වුණේ සියාගේ පක්ෂය අභ්‍යන්තරයේ දැඩි බෙදීම් සිදු වෙමින් තිබෙන බව ය. එසේ බෙදුණු කණ්ඩායම් විරුද්ධ පක්ෂ රැළියකදී මෝටර් රථයක් පුළුස්සා දැමූ අයුරු ඇතුළත් ඡායාරූපයක් පවා එහි පළ වී තිබිණි.
bdnews24.com වෙබ් අඩවිය සඳහන් කරන්නේ සිය වෙබ් අඩවියේ ජනප්‍රියත්වයත් සමග ‘ක්ලෝන වෙබ් අඩවි‘ (clone sites) යැයි බැලූ බැල්මට පෙනෙන ෆේස්බුක් පිටු ගණනාවක් පිළිබඳ තමන්ට තොරතුරු වාර්තා වී තිබූ අතර, රජයේ බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දුන් නමුත් කිසිවක් සිදු නොවූ බවයි. අවසානයේ ඒවා යම් තරමකින් හෝ වාරණයට ලක් කර ගත හැකි වූයේ එවැනි පිටු පිළිබඳ දිගින් දිගටම ෆේස්බුක් ආයතනය වෙත වාර්තා කිරීම (රිපෝට් කිරීම) මගින් පමණි.
මේ අතර, බංග්ලාදේශ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව (Bangladesh Telecommunication Regulatory Commission – BTRC) තමන් වෙත එවැනි පැමිණිලි කිසිවක් ලැබී නොතිබුණු බව පැවසුවේය.
මේ අතර ඇතැම් ව්‍යාජ පෝස්ට්වල ආණ්ඩු විරෝධී හෝ විපක්ෂ විරෝධී ලක්ෂණ නොමැති වීම ද විශේෂත්වයකි. එනම්, ඔවුන් විසින් තමන්ට අවශ්‍ය ප්‍රොපගැන්ඩාව සෙමෙන් ක්‍රියාත්මක කරමින් තිබුණේ සැකයක් නොසිතෙන පරිදි ය. ස්වාධීන බව හැඟවෙන පෝස්ට් සමහරක් ද මේ අතර දැකගත හැකි විය.
ෆේස්බුක් ආයතනය මේ ආචාර ධර්ම උල්ලංඝනයන් පිළිබඳ සැලකිල්ලෙන් පසුවීම ආරම්භ කර තිබෙන්නේ පසුගිය නොවැම්බරයේ සිට ය.
එසේම මේ ෆේස්බුක් පිටු විශාල reach එකක් ලබාගෙන නොමැතිව තිබියදී ද ෆේස්බුක් ආයතනය විසින් මේ පියවර ගෙන තිබීම කැපී පෙනේ. මෙසේ තහනමට ලක් වූ එක් ෆේස්බුක් පිටුවක පමණක් අනුගාමිකයන් (followers) 11,900 ක් දැකගත හැකි ව තිබිණි.
දෙසැම්බර් 30 වැනිදා බංග්ලාදේශ මහමැතිවරණය පැවැත්වීමට නියමිත ය. අගමැතිනී ෂේක් හසීනා, පිට පිට තෙවැනි වරටත් අගමැති ධුරයට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.
2016 වසරේ පටන්, ඇමරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් දිනවීම සඳහා රුසියානු මුදල් යොදවමින් ෆේස්බුක් හරහා සිදුකළ ප්‍රචාරණ ව්‍යාපාරයන් සහ, මියැන්මාරය තුළ රොහින්ජ්‍යා වරුන්ට එරෙහිව වෛරය පැතිරවීම සඳහා ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත එල්ල වූයේ සුළුපටු විවේචනයක් නොවේ. මේ නිසා ෆේස්බුක්, පරිශීලකයන් විසින් නිර්මාණය කරන අන්තර්ගතයන් පිළිබඳ ඉතා දැඩි සැලකිල්ලකින් පසුවෙයි.
2018 වසරේ අග මාස 4 තුළ පමණක් ෆේස්බුක් හි පැවති ව්‍යාජ ගිණුම් (ෆේක් අකවුන්ට්ස්) මිලියන 754 ක් නිෂ්ක්‍රිය කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. 2018 මුල් කාර්තුවේදී ඔවුන් විසින් මෙම පදනම මත නිෂ්ක්‍රිය කළ ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව මිලියන 583 කි.
පසුගියදා පැවති ඉතාලි මහමැතිවරණයේදී ෆේස්බුක් හරහා දියත් වූ ප්‍රචාරණ ව්‍යාපාරය පිළිබඳ විශේෂ ලිපියක් www.outboundtoday.com තුළින් බලාපොරොත්තු වන්න..
ප්‍රධාන ඡායාරූපය – © Jaap Arriens/NurPhoto via Getty Images