×

අගමැතිනිගේ පියා දෙවියන් වහන්සේටත් ඉහළින්! – ෂේක් හසීනාගේ පුරපති දඩයම

තවමත් රට පුරා මුජිබර් රහ්මන්ගේ කටවුට් ය. බිල් බෝඩ් ය. හරියට 2010 සමයේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට මෙනි.


බංග්ලාදේශ අගමැති ෂේක් හසීනාගේ පියා වන ෂේක් මුජිබර් රහ්මන්, බංග්ලාදේශයේ පළමු නායකයා වන අතර, අදටත් බොහෝ අය ඔහුගේ නාමය ඉදිරියේ වැඳ‌ වැටෙති. ‌මේ අතර, ෂේක් හසීනා ද රට පාලනය කරන්නේ ‘පියාගේ මහිමය’ ඉදිරියට දමමිනි. තවමත් රට පුරා මුජිබර් රහ්මන්ගේ කටවුට් ය. බිල් බෝඩ් ය. හරියට 2010 සමයේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට මෙනි.

මේ අතර, බංග්ලාදේශයේ නිල ආගම වන ඉස්ලාම් දහම අනුව, කිසිදු ආකාරයක බිතු සිතුවම් සහ පිළිම යනාදිය භාවිතා කිරීම තහනම් ය. මුස්ලිම් රටවල බොහෝ දුරට නීතිය වශයෙන් ක්‍රියාත්මක වන්නේ ඉස්ලාම් ආගමයි. ඒ අනුදකින බංග්ලාදේශයේ නගරාධිපතිවරයෙක්, ෂේක් මුජිබර් රහ්මන්ගේ අති දැවැන්ත සමරු ඵලකයක් නගරයේ ප්‍රදර්ශනය කිරීමට අනුමැතිය ලබාදුන්නේ නැත. ඒ පිළිබඳ ඔහු පළ කරන අදහස් සහිත ඔ්ඩියෝ පටයක් පසුගියදා සමාජමාධ්‍ය ජාල හරහා වයිරල් වී තිබිණි. එය ෂේක් හසීනාට දැනගන්නට ලැබිණි. කුපිත වූ හසීනාගේ මහිමයෙන් දැන් පුරපතිවරයා සිටින්නේ අත්අඩංගුවේ ය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ නීතිය කුමක්ද? බංග්ලාදේශය මහ ඉහළින් වර්ණනා කරන ‘ඩිජිටල් ආරක්ෂණ පනත’ Digital Security Act හෙවත් ‘අන්තර්ජාල නීතිය’යි. ඒ යටතේ ‘අපහාස’ කළ බව ‌චෝදනාවේ විය. ලංකාවට ද ඩිජිටල් ආරක්ෂණ නීතියක් ගෙන ඒමට සෑහෙන පිරිසක් වලි කන බැවින් මේ කතාව අපිත් කියවා ගැනීම යහපති.

රටපුරා බිල්බෝඩ් 1000 ක ට වඩා

දැන් පෙනෙන හැටියට බංග්ලාදේශයේ සදාකාලික ජනපතිනිය තමන් යැයි සිතාගෙන ෂේක් හසීනා හැසිරෙන්නීය. ඇය 2009 වසරේ පටන් අඛණ්ඩව බලයේ රැඳී සිටීමට සමත් ව සිටියි. ගතවූ වසර 12 තුළ ඇය සිය පියා සැමරීම සඳහා රට පුරා බිල්බෝඩ් සහ ප්‍රතිමා යනාදිය 1000කටත් වඩා ඉදි කර තිබේ. හසීනාගේ මෙම ක්‍රියාවට එළිපිට විරෝධය පාන්නට මේ දක්වා සමත් වූ අය විරල ය. එසේ විරෝධය පෑමට තරම් කොන්දක් තිබූ රාජ්ෂාෂි නුවර පුරපති අබ්බාස් අලි සිය හඬ පටයේදී මෙසේ කියා ඇත. ”මේක ෂරියා නීතියට අනුව වැරදියි..”

බංග්ලාදේශයේ ද බයියෝ සිටිති. පුරපතිවරයාගේ ප්‍රකාශයත් සමග පුරය ගිනි වැදුණේය. ඒ ගිනි වැදීම කොතරම් ද යත්, මුලින් හඬ පටය බොරුවක් බව කියා, පසුව ෆේස්බුක් හරහා එයට සමාව අයැද, ඉන්පසු පළා යාමට ඔහු ට සිදුවිය. අබ්බාස් අලි පුරපති එසේ පළා යන විට සිය විදේශ ගමන් බලපත්‍රය ද ඔහු සන්තකයේ තිබූ නිසා බලධාරීන් පසුව කිව්වේ, හෙණ ගහන අපරාධයකින් පසුව ඔහු විවිධ තැන්වල සැඟවී අනතුරුව රටෙන් පළා යාමට සැලසුම් කළ බවයි!

පසුගිය මාසයේ හසීනා මේ අන්දමින්ම වියරු වැටී හැසිරුණේය. කාර්මික ගාසිපූර් නගරයේ පුරපති සහගිර් අලාම්,  තමන්ගේ තාත්තාට අපහාස කළ බව කියා ඇය ඔහුව ධුරයෙන් පහ කර දැමුවාය. අලාම් සහ අලි යන මේ පුරපතිවරුන් දෙදෙනාම ෂේක් හසීනාගේ පක්ෂය වන පාලක අවාමි ලීගයේ සාමාජිකයන් ය.

රණවිරු දේශප්‍රේමය

ෂේක් හසීනා අතිශයින්ම රණවිරු දේශප්‍රේමයක් ප්‍රකට කරවන තැනැත්තියකි. 1971 වසරේ බංග්ලාදේශය පාකිස්ථානයෙන් නිදහස ලබාගත් අවසන් සටනේ ඇගේ පියා නියමුවෙකු විය. ඒ මාස 9 ක යුද්ධයේදී ලක්ෂ 30ක් මළ බව කියයි. කිසිවෙක් නියම සංඛ්‍යා ලේඛන නොදනිතත්, ෂේක් හසීනා මෙයට දින කිහිපයකට පෙර එළඹි ජාතික සංවත්සරයේදී ද ඒ ගැන ඉහළින් කතා කළාය. මේ යුද්ධයෙන් රට තුළ ලක්ෂ සංඛ්‍යාත දෙනා අවතැන් වූ අතර, ඔවුන්ගෙන් සමහරක් දෙනා අද ද අවතැන් වූවන් ය.

යුද්ධයෙන් පසුව බංග්ලාදේශයේ පළමු ජනපතිවරයා බවට පත් වූ ෂේක් මුජිබර් රහමන් එයින් වසර 4කට පසුව සිය පවුලේ බොහෝ දෙනෙකු ද සමග ඝාතනයට ලක්වන්නේ හමුදා කුමන්ත්‍රණයක් මගිනි. ෂේක් මුජිබර් රහ්මන්ගේ කාලයේ බංග්ලාදේශ් හමුදාව, එරට නිල හමුදාවට වඩා ‘පොලිටිකල් මිලීෂියාවක්’ විය. හමුදාවේම සිටි මුජිබර්ගේ දේශපාලනයට අකමැති වූ හමුදා කණ්ඩායම් විවිධ වධ බන්ධනවලට ලක් කෙරිණි. පාලන බලය ලබාගැනීමෙන් පසුව මුජිබර් රහ්මන්ගේ වැඩිම අවධානය යොමු වුණේ සිය පවුලේ ඥාතීන් වෙනුවෙන් පවතින ව්‍යාපාර රාජධානියක් බවට බංග්ලාදේශය පත් කරන්නට ය. අවසානයේ 1975 වසර වන විට බංග්ලාදේශයේ වාමාංශික ව්‍යාපාරය හිස ඔසවන අතර, ඔවුහු ආයුධ සන්නද්ධ වෙති. ෂේක් මුජිබර් රහ්මන්ගේ ඝාතනයට විශාල වශයෙන් දායක වූ බව කියන්නේ මෙම දේශපාලන වාතාවරණයයි.

එදා ෂේක් මුජිබර් රහ්මන් ඝාතනයට ලක් වූයේ 1975 වසරේදී ය. ලබන වසරේදී ෂේක් හසීනාට ද වයස 75 කි. නමුත් ඇගේ බල කාමය දිනෙන් දින තරුණ වන බව පෙනේ. හමුදාවට ආ වඩන ෂේක් හසීනාගේ පාලන සමය තුළ බංග්ලාදේශයේ මානව හිමිකම් බලු නගුටක් තරම් ලඝු වූ බව ගෝලීය මතයයි. හසීනාගේ දේශපාලනික වශයෙන් ප්‍රබලම විපක්ෂයේ නායිකාව වූ බෙගම් ඛලීඩා ෂියා ද දූෂණ චෝදනා ලබා සිටින්නේ සිරගතව ය. නමුත් ෂේක් හසීනාට ඒවා අදාළ නැත. ඇගේ රටේ ඇඟලුම් සේවිකාවන් ලෝක‌‌යේ අඩුම වේතන ලබමින් රට ආර්ථික වශයෙන් ගොඩ දමා තිබේ. ෂේක් හසීනලාට බලයේ සිටීමට සුළු කරුණක් වුවත් ඇමකි.

රටේ නීතියට ගරුකරමින් ෂේක් හසීනාගේ පියාගේ ප්‍රතිරූපය ප්‍රදර්ශනය කිරීම අත්හිටවූ, හිරේ ගිය නගරාධිපතිවරයා අපට කියන්නේ කුමක් විය හැකිද?

අවනීතිය රජ වූ රටවල රජ පවුල් දෙවියන් වහන්සේටත් උඩින් ය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි