×

ඔබාමා නත්තල් සීයා වෙයි

හිටපු ඇමරිකානු ජනපති බරාක් ඔබාමා, එදා මෙදාතුර බිහිවූ ඇමරිකානු ජනපතිවරුන් අතරින් වඩාත්ම ජනාකර්ෂණය දිනාගත් ජනකාන්තම නායකයා බවට කිසිම සැකයක් නැත.


ධවල මන්දිරයේ ජීවිතයට සමු දී වසර 3 ක් ගතවන්නට ආසන්න වුවත්, ඔහු තවමත් ජනතාව වඩාත්ම ආදරය කරන ‘එළියේ වීරයා‘ ය.

ඔහු, මේ නත්තල් සමයේ නත්තල් සීයාගේ ඇඳුම් කට්ටලයකින් සැරසී හාපුරා කියා ගියේ, වොෂින්ටන් ඩී.සී. හි ළමා ජාතික රෝහල වෙතට ය. ඔහු එහි එන බව කිසිවෙක් දැන සිටියේ නැත. එනිසා මෙය, සහමුලින්ම ‘සර්ප්‍රයිස් විසිට්‘ එකක් ම විය.

එහි ගිය ඔහු, දරුවන්ට තෑගි බෝග බෙදා දුන්නේය.

Getty Images

‘‘දුවලා දෙන්නෙකුගේ තාත්තා විදිහට මේ දරුවන්ගේ තත්වය මට දැනෙනවා‘‘ යැයි නත්තල් සීයාගේ ඇඳුමින් සැරසුණු හිටපු ජනාධිපතිවරයා පසුව කියා සිටියේය. නත්තල් සීයාගේ තෑගි බෑගය ඔහුගේ උරහිසින් එල්ලා වැටුණේය.

දරුවන් ආදරයෙන් රැක බලාගන්නා රෝහල් කාර්ය මණ්ඩලයට ස්තූති කරන්නටද ඔබාමා අමතක නොකළේය. ‘‘ඔවුන් වෙනුවෙන් එහි සිටීම සහ ඔවුන්ව දෝතින් දරාගෙන සිටීම ඉතාම වැදගත් දෙයයි..“ ඔබාමා පසුව කීවේය. නත්තලේ සැබෑ ප්‍රීතිය තිබෙන්නේ දිළිඳුන්, රෝගීන්, අසරණයන් හට පිහිට වීම තුළ බව ඔහු නැවත වරක් ලෝකයට සිහිපත් කර සිටියේය.

‘‘අවුරුදු ගණනක් යන තෙක් අපි මේ ගැන කතා කරාවි‘‘ යැයි බරාක් ඔබාමා නමැති පරිත්‍යාගශීලියාගේ හදිසි පැමිණීම ගැන කාර්ය මණ්ඩලය පසුව කීහ. ‘‘අවුරුද්දේ මේ කාලයට හැම කෙනෙක්ම තමන්ගේ සතුට හොයාගෙන කාර්ය බහුල වෙලා සිටිනවා. කිසිම කෙනෙකුට රෝහලක් මතක් වෙන්නේවත් නැහැ. නමුත් ඔබාමා දරුවන්ට, දරුවන්ගේ දෙමාපියන්ට වගේම රෝහල් කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුටමත් තෑගි අරන් ඇවිත්..‘‘


ඔබාමාගේ ට්විටර් සටහන

ට්විටර් සටහනක් ඔස්සේ මේ දරුවන්ට සුබ පතමින් ඔබාමා, මේ රෝහලේ සිටින දරුවන්ව අපූර්ව ආකාරයකින් හඳුන්වා දුන්නේය. ඒ, extraordinary kids හෙවත් ‘අසාමාන්‍ය දරුවන්‘ ලෙස ය. ඒ හැර ඔවුන් රෝගීන් හෝ අසරණයන් බව හැඟෙන්නට ඔබාමා කිසිවිටෙක ඉඩ තැබුවේ නැත. සැබෑ මනුෂ්‍යත්වය එයයි.

ඔබාමා වැනි ආදරණීය, සමතුලිත මිනිසෙකුට නිහතමානී විය හැකි ප්‍රමාණයේ සීමාවක් නැත.

ප්‍රධාන ඡායාරූපය – © Children’s National Medical Center/Instagram



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි