කම්කරු ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අතිශය වැදගත් සහ ඓතිහාසික නඩු තීන්දුවක් (landmark case) වන මෙහිදී හෙළි වූ වැදගත් කරුණු, හාම්පුතුන් විසින් එකම රාජකාරිය කරන කාන්තාවකට සහ පිරිමියෙකුට කොතරම් වෙනස් ලෙස සලකන්නේදැයි මනාව පිළිබිඹු කරයි.
මෙම නඩුව විභාගයට ගනු ලැබුවේ London Central Employment Tribunal හිදී ය. එහිදී ඇය කරුණු කියා පෑවේ සිය වෘත්තීය ජීවිතයේ සිදුවූ අසාධාරණය පිළිබඳව මිස අන් දෙයක් ගැන නොවේ.
සමීරා අහමද් BBC පුවත් සේවය වෙනුවෙන් ඉදිරිපත් කළේ Newswatch වැඩසටහනයි. එහිදී එක් එපිසෝඩයක් වෙනුවෙන් ඇයට ගෙවනු ලැබුවේ පවුම් 440 කි. මේ අතර, BBC පුවත් සේවයේම Points of View වැඩසටහන ඉදිරිපත්කළ ජෙරමි වයින් (Jeremy Vine) හට එක් එපිසෝඩයක් වෙනුවෙන් පවුම් 3,000 ක් ගෙවනු ලැබිණි. එයට හේතුව, ජෙරමි වයින් පිරිමියෙක් වීම සහ තමන් ගැහැණියක වීමද? සමීරා අහමද් අධිකරණයේදී ඇසූ ප්රශ්නය, කෙටියෙන් එයයි.
මේ වැඩසටහන් දෙකම එක හා සමාන ගුවන් කාලයකින් යුක්ත, එනම් විනාඩි 15 කින් යුක්ත කෙටි ටෙලිවිෂන් වැඩසටහන් ය. සමීරා කියා සිටියේ මේ වැටුප් වෙනස, ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත වෙනස්කොට සැලකීම්වලට ලක්කිරීම සම්බන්ධයෙන් උදාහරණයක් වන බවයි.
BBC පුවත් සේවය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. මේ ලෝ ප්‍රකට මාධ්‍ය ආයතනය කියා සිටියේ නිව්ස්වොච් වැඩසටහන සඳහා අඩු ප්‍රේක්ෂකාගාරයක් සිටින බවත්, පොයින්ට්ස් ඔෆ් වීව් වැඩසටහන සඳහා වෙනස් ආරක නිවේදකයෙකු අවශ්‍ය කරන බවත් ය. ඒ නිසා ජෙරමිට ඇයට ගෙවන ප්‍රමාණය මෙන් හය ගුණයකටත් වඩා ගෙවීම සාධාරණ බව ය!
පිටු 40කින් යුක්ත නඩු තීන්දුවෙන් අවසානයේ කියැවුණේ BBC ආයතනය මෙම වැඩසටහන් දෙක අතර වෙනස මගින් වැඩසටහන් ඉදිරිපත් කරන්නාට වඩා අඩුවෙන් වැඩසටහන් ඉදිරිපත් කරන්නියට වැටුප් ගෙවීම සාධාරණීකරණය කරන්නට අසමත් වීඇති බව ය.
පහත දැක්වෙන්නේ බීබීසී ආයතනයේ වැඩිම වැටුප් ලබන 10 දෙනා පිළිබඳ විස්තරයයි. ඔවුන් දස දෙනාම පුරුෂයන් ය.
Credit: Guardian
ජනමාධ්‍ය වෘත්තීය සමිතිවල ජයග්‍රහණයක්
සමීරා අහ්මද් මාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය (National Union of Journalists (NUJ)) හි සාමාජිකාවකි. ඇගේ ජයග්‍රහණය පසුපස සිටියේ ඔවුන් ය. ඇය ලබාගත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් මාධ්‍ය වේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන අන්තර්ජාතික මාධ්‍ය වේදීන්ගේ ෆෙඩරේෂනය (IFJ) වැනි අන්තර්ජාතික සංවිධාන ද ඇයට සුබ පතා තිබේ.
එංගලන්තය ලංකාව වගේ නොවේ!
නඩුවෙන් ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව සමීරා මෙසේ කියයි.
“No woman wants to have to take action against their own employer. I love working for the BBC. I’m glad it’s been resolved.
“I’d like to thank my union the NUJ, especially Michelle Stanistreet the general secretary, my legal team Caroline Underhill of Thompsons Solicitors and my barrister Claire Darwin and everyone – all the men and women who’ve supported me and the issue of equal pay. I’m now looking forward to continuing to do my job, to report on stories and not being one.”
‘‘කිසිම කාන්තාවක් තමන්ගේ හාම්පුතාට විරුද්ධව නඩු කියන්න කැමති නෑ. මම BBC සමග ඉතාම ආදරයෙන් වැඩ කළේ. මේ ප්රශ්නය විසඳීම ගැන සන්තෝසයි.‘‘
නිවැරදි වීමට කැමති BBC
ඇය අදහස් කරන්නේ තවදුරටත් BBC පුවත් සේවය සමගම රැකියාව කරන්නට ය. ඒ අතින් එංගලන්තය බොහෝ වෙනස් ය. ලංකාවේ නම් සාමාන්‍යයෙන් සේවකයෙකු තමන්ගේ හාම්පුතාට එරෙහිව නඩු මගට බසින්නේ නම්, ඊට පෙර රස්සාවෙන් දොට්ට දැමේ. නැතිනම් සේවකයාට රැකියාව ගැන තිබෙන ආසාව අත්හැර ගන්නට සිදු වේ. නමුත් BBC පුවත් සේවය ඇය ගැන අද පවසන්නේ මෙසේ ය. ‘‘සමීරා අති දක්ෂ මාධ්‍යවේදිනියක් (excellent journalist). මේ සිදුවීම අධිකරණයට යාම ගැන අපි පසුතැවිලි වෙනවා..‘‘ නැවතත්,… එංගලන්තය වෙනස් රටකි. ලංකාව වගේ නොවේ. BBC පුවත්සේවය දැන් ඇයට පවුම් ලක්ෂ 7ක් ගෙවීමට සතුටින් සූදානම් වන්නේ එනිසාය.
මෙම සිදුවීමේදී නිරීක්ෂණය කළ හැකි වූ වැදගත් ලක්ෂණයක් වූයේ සමීරා, තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා අධිකරණයට යන විට ඇයට අති මහත් මහජන සහායක් ලැබීමයි. ප්‍රකට පුද්ගලයෝ ද රැසක් ඇයට සහාය දීමට එක් වූහ. ඒ අතර ගාඩියන් පුවත්පතේ හිටපු කර්තෘ ඇලන් රස්බ්‍රිජර් ද වේ.
මෙම සිදුවීම සමාජ අපවාදයක් බවට පත්වීමෙන් අනතුරුව BBC පුවත් සේවය වැටුප් විෂමතා රැසක් සිය ආයතනය තුළ නිවැරදි කළේය. ‘‘අතීතයේ අපේ වැටුප් රාමුව විනිවිදභාවයෙන් යුක්ත නොවිණි. නමුත් අප විසින් මෑතකදී සුවිශේෂී අන්දමින් මේ ගැටළුව ආමන්ත්‍රණය කර ඇත. දැන්, සමීරාට වැඩි වැටුපක් ගෙවීමට තරම් සෑහෙන සාක්ෂි ලැබී තිබීම ගැන අපි සතුටට පත් වන්නෙමු..‘‘ යැයි ඔවුහු නිවේදනයක් නිකුත් කරමින් පවසති. ‘‘නඩුමගට යාම කිසිවෙකුට ප්‍රසන්න අත්දැකීමක් නොවන බව අපි දනිමු.. අපට සමීරා සමග එක්ව මෙය ධනාත්මක ආකාරයකට විසඳා ගැනීමට අවශ්‍ය ය.‘‘