×

තිස්පන් ලක්ෂයක් දැනට අවතැන් : යනව කියලා කොහේ යන්නද..?

උගන්ඩාව තරමටවත් මෙවර යුරෝපා සංගමය ඔවුන් ට පිහිට වන්නේ නැත.


කාබුල් නුවර ඇද වැටීමට පෙර ද ඇෆ්ගනිස්ථානය තුළ ලක්ෂ 5.5 ක් දෙනා ට සිය නිවෙස්වලින් පළා යාමට බල කෙරී තිබිණි. එසේ පවසන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) යි. ඒ අනුව නවතම ඇස්තමේන්තු අනුව සිය රට තුළ අවතැන් වූ හෙවත් IDP බවට පත් වූ ඇෆගන් ජාතිකයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් මිලියන 3.5 හෙවත් ලක්ෂ 35 කි.

පහත දැක්වෙන්නේ 2018 සිට මේ දක්වා ඇෆ්ගන් දේශසීමා අතරතුරදී දේශපාලනික අස්ථාවරත්වය සහ ගැටුම් හේතුවෙන්  අවතැන් භාවයට පත් වූ ඇෆ්ගන් ජනතාවගේ වැඩිවීමයි.

ඇෆ්ගන් වැසියන් කී දෙනෙක් රට දමා යන්නේද?

මේ අවස්ථාව වන විට එම සංඛ්‍යාව අවිනිශ්චිත ය. තලෙයිබාන් සටන්කරුවන් පැහැදිලිවම කියා තිබෙන්නේ වැසියන් රට දමා නොයා යුතු බවයි. වාර්තාවලට අනුව වාණිජ කටයුතුවල නිරත වන්නන් සහ වලංගු ගමන් බලපත්‍ර ඇති අයට පමණක් රටෙන් පිටව යා හැකි බව තලෙයිබාන් සංවිධානය කියා තිබේ.

‘‘ඇෆ්ගනිස්ථානයෙන් අති බහුතරයකට සාමාන්‍ය ක්‍රම හරහා රටෙන් පිටව යාමට අවස්ථාවක් නැහැ..‘‘ එසේ පවසන්නේ UNHCR ප්‍රකාශකවරයෙකි. ඔවුන්ට රටෙන් පිටව යාමට විධිමත් ක්‍රම තිබෙන්නේ 2 ක් පමණි. එනම් දේශසීමා සහ ගුවන්තොටුපොළ හරහා ය. කාබුල් ගුවන්තොටුපොළ හැරුණු විට සෙසු සියලු දේශසීමා සහ ගුවන්තොටුපොළවල් මේ වන විට තිබෙන්නේ තලෙයිබාන් පාලනය යටතේ ය.

කෙසේ නමුත් ඇතැම් සරණාගතයෝ මේ වන විටත් රටෙන් පිටව යාමට කෙසේ හෝ මාර්ග සොයාගෙන සිටිති.

කාබුල් නුවර ඇද වැටුණු වහාම දහස් ගණන් පිරිසක් පාකිස්ථානයට පැමිණ තිබේ.

1500 ක පමණ පිරිසක් උස්බෙකිස්ථානය බලා ගොස් තිබේ. ඔවුන් මේ වන විට ජීවත් වන්නේ දේශසීමාවට යාබද කූඩාරම්වල ය.

සිකුරාදා දිනයේ නේටෝ සංවිධානය පැවසූ පරිදි 18,000 ක් දෙනා රටෙන් පිටතට ගෙන යාමට හැකි ව තිබේ. නමුත් එයින් කී දෙනෙක් ඇෆ්ගන් ජාතිකයන්දැයි පැහැදිලි නැත.

අසල්වැසි රටවල් අතරින් වැඩිම ඇෆ්ගන් සරණාගතයන් පිරිසක් දරා සිටින්නේ පාකිස්ථානය සහ ඉරානයයි. පසුගිය වසරේ තත්වය එයයි. ඒ අනුව 2020 වසරේදී ඇෆ්ගන් වැසියන් මිලියන 1.5 ක් පාකිස්ථානය බලා පළා ගොස් ඇති අතර, ඉරානයේ 780,000 ක් ඇෆ්ගන් ජාතිකයෝ සිටිති. (මූලාශ්‍රය – UNHCR)

පහත දැක්වෙන්නේ 2020 වසරේදී ඇෆ්ගන් සරණාගතයන් භාරගත් රටවල් සහ එම ප්‍රමාණයන් ය. එහි 3 වැනි තැන ජර්මනියටත්, 4 වැනි තැන තුර්කියටත් හිමි ව තිබේ.

මෙවර ඇෆ්ගන් සරණාගතයන්ට සෙවණ දෙන රටවල්

නමුත් මේ සියලු රටවල් ඇෆ්ගන් සරණාගතයන්ට ‘සුරැකි දෙව්ලොවක්‘ ලබාදෙන්නේ නැත. ඇතැම් රටවල් ලබාදෙන්නේ කූඩාරම් පමණි. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ සාරාංශයකි.

ඉරානය

ඉරානය, ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ තිබෙන පළාත් 3 ක ඇෆ්ගන් සරණාගයන් වෙනුවෙන් හදිසි කූඩාරම් දැනටමත් ඉදිකර තිබේ. නමුත් ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ‘‘තත්වය යහපත් වූ පසුව ඔවුන්ව ආපසු හරවා යවන බව‘ ය. ඉරානයේ දැනටමත් ඇෆ්ගන් ජාතිකයෝ මිලියන 3.5 ක් ජීවත් වෙති. (මූලාශය UN)

පාකිස්ථානය

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ජූනි මාසයේදී පැවසුවේ, තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගතහොත්, පාකිස්ථාන්-ඇෆ්ගනිස්ථාන් දේශසීමාව මුද්‍රා තබන බවකි. නමුත් වාර්තාවලට අනුව ඇෆ්ගන් වැසියන් දැනටමත් දෙතුන් දහසක් පාකිස්ථානය බලා පළා ගොස් තිබේ. අවම වශයෙන් එක් දේශසීමාවක් හෝ විවෘතව තබා ඇති බව ඒ අනුව පැහැදිලි ය.

ටජිකිස්ථානය

සොල්දාදුවන් සහ ඇෆ්ගන් ජාතික හමුදාවේ සාමාජිකයන් ඇතුළුව දහසකට අඩු පිරිසක් ටජිකිස්ථානය බලා දැනටමත් පළා ගොස් ඇත. ජූලි මාසයේදී ටජිකිස්ථානය පැවසුවේ, ඇෆ්ගන් සරණාගතයන් 100,000 ක් දක්වා භාරගැනීමට තමන් සූදානම් බවයි.

උස්බෙකිස්ථානය

ඇෆ්ගන්-උස්බෙකිස්ථාන් දේශසීමාව හරහා 1,500 දෙනෙක් පමණ උස්බෙකිස්ථානයට ඇතුල් වී සිටියි. ඔවුන් සඳහා කඳවුරක් ඉදි කර ඇත.

එක්සත් රාජධානිය

දිගු කාලීන පදනම යටතේ ඇෆ්ගන් සරණාගතයන් 20,000 ක් දෙනා භාරගැනීමට තමන් කැමති බව එක්සත් රාජධානිය කියා ඇත. පළමු වර්ෂයේ දී Afghan Citizens’ Resettlement Scheme යටතේ එක්සත් රාජධානියේ 5,000 ක් දෙනා පදිංචි කෙරෙනු ඇත. කාන්තාවන්, ළමුන් මෙන්ම ආගමික සහ සෙසු සුළුතරයන් මෙහිදී ඔවුන්ගේ විශේෂ අවධානයකට යොමු වෙයි.


ඇෆ්ගන් පවුල්, කාබුල් ගුවන්තොටුපොළෙන් යාමට නියමිත ඇමරිකානු හමුදා ගුවන් යානාවක් තුළ (GETTY IMAGES)

ඇමරිකාව

ජනපති ජෝ බයිඩන් විසින් ඇෆ්ගන් සරණාගතයන් සඳහා ඩොලර් මිලියන 500 ක් වෙන් කර තිබෙන්නේ ‘අනපේක්ෂිත හදිසි සරණාගතයන් සහ සංක්‍රමණිකයන්ගේ අවශ්‍යතා‘ සඳහා ය. නමුත් ඇෆ්ගන් වැසියන් කී දෙනෙකුට මෙම පහසුකම ලැබේදැයි නිශ්චිත නැත.

කැනඩාව

ඇෆ්ගන් සරණාගතයන් 20,000 කට සිය රටේ පදිංචිය ලබාදීමට කැනඩාව කැමැත්ත පළ කරයි. රජයේ සේවකයන් සහ කාන්තා නායිකාවන් මේ අතර වේ.

ඔස්ට්‍රේලියාව

මානුෂවාදී වීසා ක්‍රමය යටතේ 3,000 ක් දෙනා සිය රට තුළට ඇතුල් කර ගැනීමට ඔස්ට්‍රේලියාව කැමැත්ත පළ කළේය. නමුත් වීසා වැඩසටහන යටතේ ඉතිරිව තිබෙන අවස්ථාවන්ට පමණක් නව ඇෆ්ගන් සරණාගතයන් සලකා බැලෙනු ඇත.

යුරෝපා සංගමය

2015 වසරේ අත්දුටු සංක්‍රමණික අර්බුදය නැවත වරක් අත්දැකීමට තමන් සූදානම් නැති බව යුරෝපා සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙක් ප්‍රකාශ කර තිබේ.

ජර්මනිය

සරණාගතයන්ගෙන් ‘සමහර කෙනෙක්‘ සාදරයෙන් පිළිගැනීමට තමන් සූදානම් බව ජර්මනිය කියා තිබෙන්නේ නිශ්චිත වශයෙන් සංඛ්‍යාවක් සඳහන් නොකරමිනි. 2015 වසරේ සංක්‍රමණිකයන් ලක්ෂ ගණනකට සිය රටේ දොර විවෘතකර දීම නිසා චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත් විවේචනයන්ට ද හසුවූවාය. දැන් ඇය විශ්‍රාම ගැනීමට සූදානම් වන අතර, ඇය කියා තිබෙන්නේ ජර්මනිය වෙනුවට ‘ඇෆ්ගනිස්ථානයට අසල්වැසි ආරක්ෂිත රටවලට සරණාගතයන් යොමුවීම‘ වඩා යහපත් බවයි.

ප්‍රංශය

ඇෆ්ගනිස්ථානයෙන් පැමිණිය හැකි ‘නීති විරෝධී සංක්‍රමණිකයන් රැල්ලෙන්‘ යුරෝපය ආරක්ෂා විය යුතු බව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැහැදිලිවම කියා ඇත. ප්‍රංශය උනන්දු වන්නේ ‘වඩාත්ම අවදානම්කාරී තත්වයන් තුළ පසුවන ඇෆ්ගන් ජාතිකයන්‘ රැක ගැනීමට පමණි. ‘‘යුරෝපයට පමණක් මෙහි ප්‍රතිවිපාක භාරගැනීමට නොහැක‘‘ යනුවෙන් ද ඔහු කියා තිබේ.

ඔස්ට්‍රියාව

කිසිදු සරණාගතයෙක් භාර නොගන්නා බවට ඔස්ට්‍රියාව තීන්දු කර තිබේ. ඇෆග්නිස්ථානයේ සිට පැමිණ දේශපාලන රැකවරණය පැතූ අය රටෙන් පිටුවහල් කළ යුතු බව අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පවසයි. තවද ඇෆග්නිස්ථානයට යාබද රටවල ‘පිටුවහල් මධ්‍යස්ථාන‘ ඉදි කළ යුතු බව ද ඔහු කියා තිබේ. එයට හේතුව, ඇෆ්ගනිස්ථානයට සෘජු ලෙස පිටුවහල් කිරීම, කළ නොහැකි දෙයක් වන නිසා ය.

ස්විට්සර්ලන්තය

ඇෆ්ගනිස්ථානයේ සිට සෘජුව පැමිණෙන විශාල සරණාගත කණ්ඩායම් භාර නොගන්නා බව ස්විට්සර්ලන්තය කියා තිබේ.


තුර්කි දේශසීමාවේ රැඳී සිටින ඇෆ්ගන් පවුලක් (GETTY IMAGES)

තුර්කිය

ඇෆ්ගනිස්ථානය දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීමට තමන් පාකිස්ථානය සමග එක්ව ක්‍රියාකරන බව තුර්කිය පවසයි. ඒ, තුර්කියට අලුත් සරණාගත රැල්ලක් පැමිණීම වළක්වාගන්නට ය. සංක්‍රමණිකයන් පිටතින් තැබීම සඳහා තායිප් එර්දොගාන් රජය මේ වන විට ඉරාන දේශසීමාවේ ඉදිකරමින් තිබූ දේශසීමා තාප්පයේ කටයුතු ද නතර කර තිබේ.

උතුරු මැසිඩෝනියාව, ඇල්බේනියාව සහ කොසෝවෝ

ඇමරිකාවේ ඉල්ලීම මත තමන් පිළිවෙළින්, සරණාගයන් 450 ක් සහ 300 ක් දෙනා පිළිගැනීමට සූදානම් බව උතුරු මැසිඩෝනියාව සහ ඇල්බේනියාව කියා තිබේ. ඔවුන්ට ඇමරිකානු සංක්‍රමණික වීසා ලබාගන්නා තෙක් එහි රැඳී සිටිය හැකිය.

මේ අතර කොසෝවෝ රාජ්‍යය, ඇමරිකාව බලා යන තෙක් සරණාගතයන්ට තාවකාලික නිවස්න ලබාදීමට සැරසෙයි.

උගන්ඩාව

ඇෆ්ගන් සරණාගයන් 2,000 ක්දෙනා ලබාගැනීමට උගන්ඩාව කැමැත්ත පළ කර තිබේ. අප්‍රිකානු රටක සිටින වැඩිම සරණාගත ජනගහනය දැනටමත් සිටින්නේ මෙම නැගෙනහිර අප්‍රිකානු දේශයේ ය. තවද ලෝකයේ සරණාගත ජනගහනයෙන් 1/3 ක් ජීවත් වන්නේ ද උගන්ඩාවේ ය.

මුල් ලිපිය – BBC : Afghanistan: Where will refugees go after Taliban takeover?

ප්‍රධාන ඡායාරූපය – GETTY IMAGES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි