×

සයුරු වන පෙතේ කෙල්ප් කැලයේ නාට්‍යමය භීෂණය – BBC Planet Earth by David Attenborough

සමශීතෝෂ්ණ සාගරය ගිම්හාන සමයේදී වුවත් ජීවයෙන් අනූන ය. සූර්යයා විසින් අතොරක් නැතිව අහස් කුස බබළවා දමමින් තිබියදී වුව ඒවායේ ජීවය තාපයෙන් පීඩා නොවිඳියි.


මේ අරුමය සිදුකරන්නේ කැලිෆෝනියානු වෙරළ ඔස්සේ ඇදී එන සමුදුරු දියවැල් විසිනි. ඒවා විසින් නිරන්තර පෝෂණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සමුදුරු පත්ලේ සිට සයුර මතුපිටට ගෙන එනු ලබයි. කැලැත්තී ඉහළ නගින එම පොහොර වලින් යෝධ කෙල්ප් කැලයන් වැවේ. කෙල්ප් යනු අතිශයින් සශ්‍රීක ලෙස වැවෙන මුහුදු පැළෑටි විමානයකි. මේ නිසා ගිම්හාන හිරු එළියේ පවා කෙල්ප් විමාන ජීවයෙන් බබළයි.

මේ සියල්ල අතර සරුවට වැවෙන යෝධ ඇල්ගී ශාක, කුලුනු වැනි ය. ඇතැම් ඒවා තට්ටු තුනක් උස ගොඩනැගිලි තරම් විසල් ය. වැසි වනාන්තරයක දැකිය හැකි රූස්ස ගස් තරම් මහතට වැඩුණු මහා වැල් ඒවා දකින විට සිහිවේ. ඒ මදිවාට දිනකට මීටර භාගය බැගින් ඒවා අසිරිමත් ලෙස වර්ධනය වේ. කෙල්ප් මුහුදු ශාක මත රැඳී ඇති ජීවය වෙනත් ඕනෑම වනාන්තරයක සේම මුළුමනින්ම නාට්‍යමය වේ.

නමුත් මෙහි නළු නිළි කැළ නම් තරමක් නුපුරුදු ය. දැකහුරු කමින් අඩු ය. කෙල්ප් ශාකයන් ආශ්‍රිතව සිටින මුහුදු ඉකිරි හමුදාවක් සටනට ලැහැස්ති වෙති. උන්ගේ බහුතරය දම්පාට ය. නිදිකුම්බා මල් මෙනි. නමුත් සමීප දසුනේදී උන් බියජනක ය. තර්ජනාත්මක ය. උල් මෙන් අඬු පඬු දිගුකරගෙන සිටිති.

මුහුදු ඉකිරි රෑන ඇලී සිටින්නේ කෙල්ප් ශාකයේ ‘හෝල්ඞ්පාස්ට්’ හෙවත් අවුල්පාසු වෙත ය. උන්ගේ ග්‍රහණය ඉතා දැඩි ය. මුහුදු පත්ල සමග උන්ගේ තිබෙන තීරණාත්මක සම්බන්ධතාවය වන්නේ ද කෙල්ප් ශාකයයි. කෙල්ප් අවුල්පාසු ඉතා සවිමත් නමුත් සෑම මුහුදු ඉකිරියෙකු හටම දත් පහ බැගින් තිබෙන බව දඅමතක නොකළ යුතුය. ඒ දත් ඉබේ මුවහත් වන ඒවා ය. එසේම සෑම මාස කිහිපයකටම වරක් ඒවා වැටී අලුතෙන් දත් මතුවීමද සිදුවෙයි.

මුහුදු ඉකිරියන්ගේ නිරන්තර සපාකෑම් නිසා කෙල්ප් කැලයේ ගස්, කඳ මැදින් දෙකට කැඩී යයි. එවිට මුහුදු පත්ලේ පැහැදිලි මිටියාවත් තැනේ. මෙබඳු ස්ථාන හැඳින්වෙන්නේ ‘අර්චින් බැරන්ස්’ හෙවත් මුහුදු ඉකිරි මුඩුබිම්’ යනුවෙනි. එවැනි ස්ථානවල මුහුදු ඉකිරියන්ගේ ගණාවාස හැර වෙනත් කිසිවක්ම දැක ගන්නට නොලැබේ. උහු පණුවන් සේ සාගර පත්ල මත දඟලමින් කල් ගෙවති. කෙසේ වෙතත් මෙවැනි තැනක් වෙත ළං වී බැලූ විට පෙනෙන්නේ ඒවා ඇත්තෙන්ම මුඩුබිම් නොවන බවයි. ඒ මුහුදු පත්ල එකම ජීවී විමානයකි. මිලියන ගණනක් වන අපෘෂ්ටවංශීන් විසින් එබිම ආක්‍රමණය කර තිබේ. එතැන මුහුදු පසැඟිල්ලන් ය. මුහුදු ඉකිරියන් ය. මුහුදු කැකිරියන් ය. තවත් නමක් නැති දශ ලක්ෂ සංඛ්‍යාත සමුදුරු ජීවීන් ද එහි වෙති. පසැඟිල්ලන් හෙවත් තාරුකා මත්ස්‍යයන් දීප්තිමත් තැඹිලි හා රතු ආදී වර්ණයන්ගෙන් යුක්ත වන නිසා උන්ගෙන් මුහුදු පත්ලට නොමද අලංකාරයක් ද එක් වේ.

කෙසේ නමුත් මේ සියලු දෙනා අතරින් වඩාත්ම බියජනක හා රුදුරුතම විලෝපිකයා වන්නේ යෝධයෙකි.

ඌ නම් සූරියකාන්ත පසැඟිල්ලා ය. උගේ සිරුරේ පළල මීටරයක් පමණ වේ. ඌ අතිශය කෑදරයෙකි. කැඩෙන සුලු බ්‍රිට්ල් ස්ටාස් හෙවත් භංගුර පසැඟිල්ලන්ව මහත් කෑදර කමින් යුතුව ගිල දැමීමේ සමතෙකි.

භංගුර පසැඟිල්ලන් සූරියකාන්ත පසැඟිල්ලාට සාපේක්ෂ ව අතිශයින් කුඩා ය. මාරක යෝධයා එනවිට උහු නොඉවසිල්ලෙන් දඟලති. පැනයාමට තැත් කරති. නමුත් සූරියකාන්ත පසැඟිල්ලාගේ අති සවිමත් ග්‍රාහිකාවලින් උන්ට ගැළවීමක් නම් නැත. සූරියකාන්ත පසැඟිල්ලා සිය ගාත්‍රා භාවිතා කරන්නේ භංගුරයන්ගේ රස බැලීම සඳහා ය. සිය දැවැන්ත බව නොතකා අතිශය කඩිසර ලෙස භංගුරයන් පසුපස හඹා යන වේගයෙන්ම ඌ කෙතරම් කුසගිනිකාරයෙක්දැයි පෙනේ. යෝධයාගෙන් බේරීමට තිබෙනා එකම ක්‍රමය වන්නේ හැකිතරම් උගේ මගින් ඈත්ව සිටීමයි.

නමුත් තවත් මුහුදු ඉකිරි වර්ගයක් වන සෑන්ඞ් ඩොලර්ස් හෙවත් වැලි ඩොලරයන් හට සූරියකාන්තයාට එරෙහිව ආරක්ෂක පවුරක් බැඳීමට පුළුවන. උන් හරියට පෙති මෙනි. “වැලි කාසි” යැයි ද කිව හැක. මුහුදු ඉකිරි පවුලේ ම පැතලි සගයන් වන උහු පොකුරු පිටින් පවුරු සාදති. කෙසේ නමුත් අති දැවැන්ත සූරියකාන්ත පසැඟිල්ලෙකුට එරෙහි වන්නට උන් සමත් වේ ද යන්න සැක සහිත ය.

සෑන්ඩ් ඩොලර්ස්

කුසගිනිකාර යෝධයා මෙවිට අපූරු දෙයක් කරයි. ඌ සිය උදරය තෙරපා එය පිටතට ගනියි. ඉන්පසුව සිය ගොදුර වටා එය ඔතයි. ඊළඟ පියවර අතිශයින්ම විනාශකාරී ය. එතරමටම නාට්‍යමය ය. ඌ ඊළඟ නිමේෂයේදී සිය ගාත්‍රාවල සම්පූර්ණ බලය වැලි කාසි මත තබා එය තෙරපයි. වැලි කාසි එවිට මුහුදු පත්ල මත යන්ත්‍රානුසාරයෙන් මෙන් ඇතිල්ලෙන්නට පටන් ගනියි. උන් වේදනාවෙන් නලියනවා විය යුතුය. වෙව්ළමින් තමන්ගේ බසින් මොරදෙනවා විය යුතුය.

නමුත් ලෝ දහම ප්‍රකාරව ප්‍රබලයාගෙන් දුබලයා වැනසී යන මේ සයුරු වනපෙතේ අවසානයේ සුදුපැහැති අන්තර්සැකිල්ල මිස වැලි කාසි මුහුදු ඉකිරියන් හට කිසිවක් ම ඉතිරි නොවේ.

– ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ විසින් ලියා ඉදිරිපත් කළ සුප්‍රකට BBC Planet Earth Series හි පිටපතක සිංහල පරිවර්තනයයි.

 English broadcaster and natural historian David Attenborough (Credit Image: © Matrix via ZUMA Press) (Newscom TagID: zumaamericastwentythree644370.jpg) [Photo via Newscom]

අවුට්බවුන්ඩ් ටුඩේ ඔබ වෙත ගෙන එන BBC Planet Earth කතා මාලාවේ පෙර පළ වූ සියලු කොටස් මෙතැනින් කියවන්න…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි