එය වියළි කාලගුණය නාට්‍යමය වෙනසකට ලක්වීමකි. හිරු රැසින් දැවුණු සහ පිළිස්සුණු අප්‍රිකානු සැවානාවට රැඩිකල් වෙනසකි. මහද්වීපය පිසගෙන වැසි වසින්නට පටන් ගනියි. සැවානාවේ ශ්‍රේෂ්ඨ සුරැකෙන්නා වන්නේ තෘණ විශේෂයි. මෙතෙක් කල් දරුණු නියං සාය හමුවේ සිය විපුල රයිසෝමයන් පස තුළ සඟවා ගෙන සිටි ඒ තෘණ, කෙමෙන් දලු දමන්නට පටන් ගනියි. අප්‍රිකානු මහද්වීපය බලාසිටියදී කොල පැහැ වන්නට පටන් ගනියි. දුහුවිලි කුණාටු නැගුණු සහරාව පුරා විසල් දිය කඩිති මැවෙයි. නියඟය නිසා සැඟව සිටි වන සත්තු නොබියව සහ තුටින් යුතුව එළිමහන් තණ බිම වෙත ඇදී එන්නට පටන් ගනිති.
මේ කාලයේදී සමහර අප්‍රිකානු සැවනා බිමක් දැවැන්ත කුඹුරු තරම් විශාල ලෙස ජලයෙන් පිරී යයි. අති දැවැන්ත දිය පිරි පොකුණු හෝ නොගැඹුරු ජලාශ ද සැවනාව මැද නිර්මාණය වෙයි. මෙසේ වනුයේ, දස දෙසින් ගලා එන ජලය සැවනාව මැද එක්රැස් වන විට ය.
මෙවිට තෘණ වර්ගද ඒ ජලයේ ගිලෙයි. නමුත් එසේ ජලයේ නිමග්න වී තිබියදී ද තණපත් තවදුරටත් වැඩෙයි. සැතපුම් ගණන් දුරට එක ලෙස පෙනෙන මේ දසුන මනරම් ය. ඒ තරමටම චමත්කාරයෙන්ද අනූන ය.
දිය පිරුණු විට, තණබිම වෙනම ලෝකයකි. ඒ දියයට ලෝකය සුපැහැදිලි ය. සුපිරිසිදු ය. වියැළීමෙන්, පිළිස්සීමෙන් සහ තද ශීතලට ගල් ගැසීමෙන් යන සෑම ක්‍රමයකටම වධ වේදනා විඳ සිටින තෘණපත්වලට සිය ජීවිත කාලයේදී විඳිය හැකි උපරිම සැපය මෙයයි. සය මසක් තිස්සේ තණ බිම පුරා නැගුණු දුහුවිල්ලෙන් අංශුවක්වත් දැන් සොයාගැනීමට නැත. ඒ වෙනුවට ඒ දුහුවිල්ල රැඳී තිබූ සෑම ඉඳිකටු තුඩක් මතම තෘණවර්ග දලු දමයි.
දැන් මේ සැවානා ජලාශවලට බොහෝ දුර ඈත ගෙවමින් වන සත්තු ඇදී එති. මී හරකුන් එම ජල කඳ මැදින් නොහොත් අතීත තණබිම් මැදින් පියමං කරන විට උන්ගේ කඳ දක්වාම ජල මට්ටම නැගෙයි. ආශාවෙන් දිය බොන මුවන්, මේ ජලාශ දිගේ ඉදිරියට ඇදෙනුයේ තෘණශාඛ ද උලා කමිනි. අප්‍රිකානු අලි ඇතුන්ටද වසරේ හොඳම කාලය මෙයයි. සිංහයන්ට ගොදුරු වී හෝ සා පිපාසය සන්සිඳුවා ගැනීම සඳහා ග්‍රීස්ම කාලයේ අවදානම පිරි දියකඩිති සොයාගිය පරිද්දෙන්ම උහු දැන් පවුල් පිටින් සහ සිය ගණනින් දිය සොයා ඇදෙති. ඇත් පැටවුන් ට මෙය වනාහී විලක් මැදින් ඇවිදගෙන යාමේ ප්‍රථම අත්දැකීමයි. උහු එනිසා ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව කෑ මොරදෙති.
බැබුන්ලා මේ සියලු විපරිතයන් මැද එක ලෙස සාර්ථක වීමට දැන සිටිනවුන් ය. සිය තණබිම් තලාව ජලයෙන් පිරීගියවිට උන් ට සුපුරුදු දින චරියාව වෙනස්කිරීමට සිදුවෙයි. දැන් උන්ට පළවැල පමණක් නොව මේ ජලාශයන්හි පිපෙන මල් පවා නෙළාගෙන රිසි සේ කුස පුරවා ගැනීමට බාධාවක් නැත. කෑමට හැකි දේ බොහෝ ය. ජලාශයෙන් මතුපිටට නැගී තිබෙන සුදු පැහැ මල් ඉතා රසවත් ය. ඒවායේ දඬු ඊටත් වඩා රසවත් බව දැනගැනීමට මෙබඳු වැසි කාලයක්ම උවමනා වේ. ඉතින් උහු ජර බර ගාමින් ඒවායේ රස බලති.
කෙසේ නමුත් සුපුරුදු දෙණිය ගංවතුරෙන් පිරී යාම අලුත් බැබුන් පැටවුන්ට නම් අලුත් කරදරයකි. එහෙත් ත්‍රාසජනක ක්‍රියාවන්හි යෙදීම සඳහා උන් ට තිබෙන්නේ නොතිත් ආශාවකි. එනිසා කුඩා මිනිසුන් මෙන් දෑත් උඩු අතට විහිදා ගෙන උහු දිය තුළින් ඇවිද යති. උන් තබන තබන අඩියක් අඩියක් පාසා කෙඳිරිලි හඬක් ද නැගෙයි. හරියට කුඩා දරුවන්ගේ සේ ය. නමුතේ ජලය තුළින් මෙසේ ඇවිද යාමෙන් උන් ට පාඩුවක් සිදුනොවේ. ඒ වනගත ජලයාශය මැද මල් පිපී ඇති නිසා ය. තුන්පෙති මල්වල පෙති මෙන්ම දඬුද එකසේ රසවත් බව උන් ට කියාදුන්නේ සොබාදහමයි.h
බැබුන් ළමුන් පමණක් නොව බැබුන් අතදරුවන් බඩ බැඳගත් බැබුන් මව්වරුන් පවා මේ ආකාරයට නොසැළී දිය මැදින් ඇවිද යන ආකාරය දැකගත හැකිය. ඇතැම් විට බැබුන් දරුවාගේ සියොළඟම දියෙන් පෙඟී යයි. ‘චික් චික්’ යනුවෙන් එවිට මැසිවිලි හඬ නැගේ. නමුත් දරුවාගේ නාසය හෝ දෙකන් තුළට ජලය ඇතුලු නොවන සේ මේ වැඩය කරන්නට බැබුන් අම්මා හැම විටෙකම වගබලා ගනියි. එසේත් නැතිනම් බැබුන් දරුවා ද වඩාත් ආරක්ෂිත සහ වඩාත් වියළි සනීපදායක අසුනක් ඒ ආසන්නයෙන්ම සොයාගනියි. බොහෝ විට මෙහිදී කෙරෙන්නේ බැබුන් දරුවා බැබුන් අම්මාගේ පිට ට නැගීමයි.
යුෂ ගතිය සහිත ගොලුබෙල්ලන් බැබුන්ලාගේ ප්‍රියතම ආහාරයකි. නමුත් උන්ගේ තෙතබරිත අතැඟිලිවලට එය පහසු අහරක් නොවේ.
සැබවින්ම වියළි සහ මුඩු කාල පරිච්ඡේදයක් ගත කිරීමෙන් අනතුරුව තණ බිමට මේ උදා වී තිබෙන්නේ වසන්තයයි. මේ තාක් කල් නියඟයෙන් දුක් ගැහැට විඳි සතුන්ට අවසානයේ ඉසිඹුවක් ලැබේ. සියල්ලෝම නිදහසෙනි. සියල්ලෝම සතුටිනි.
සෘතු වෙනස්වීම් නියතියක් වන මේ පෘථිවිගෝලයේ මහා තැනිතලාවන් යනු කලෙකට මරණයේ මහා දෝංකාරයන් ය. තවත් කලෙකට ගොදුරු ගසා කන්නන්ගේ මහා භෝජන රාත්‍රීන් ය. තවත් කලෙකට මහා දුර්භික්ෂයකි. තණබිම් සහ තැනිතලාවල අසිරිමත් කතාන්දරය එයයි.
BBC Planet Earth කතා මාලාවේ පෙර ලිපි මෙතැනින් කියවන්න..