×

නිසල වන පෙතේ සිකාඩා සුසානය – BBC Planet Earth Series

දා හත් වසරක් මුළුල්ලේ කල් යල් බැලූ උන් නම්, රැහැයි කුලයට අයත් සිකාඩාවුන් ය. උහු සොම්බීවරු මෙන් පස මතුපිටට පැමිණෙති.


උතුරු අර්ධගෝලයට ජූනි මස උදාවන්නේ වර්ෂයේ දීර්ඝතම දිවා කාලයයි. එවිට පුළුල් පත්‍ර සහිත ශාක වෙහෙසකර බර වැඩ මුරවල යෙදීම ආරම්භ කරති. උතුරු ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරය ට මෙවිට අමුතුම ගිම්හානයක් උදා වී ඇත්තා සේ පෙනෙන්නට ගනියි. එයට හේතුව, හිරු බැස යාමත් සමග වනයට නිදිවර්ජිත රාත්‍රීන් උදා වීමයි. එවිට දාහත් වසරක් මුළුල්ලේ පොළොව යට සැඟවී සිටි ජීවයක් නළියන්නට පටන් ගනියි.

දා හත් වසරක් මුළුල්ලේ කල් යල් බැලූ උන් නම්, රැහැයි කුලයට අයත් සිකාඩාවුන් ය. උහු සොම්බීවරු මෙන් පස මතුපිටට පැමිණෙති. ළඟම ඇති ගස වෙත පියනගති. ඉන්පසු එකා මෙන් ගසට නැගීම අරඹති. මුලින් උන් පැමිණෙන්නේ දහස් ගණනිනි. නමුත් ඉක්මනින්ම, වනය පුරා ජීවත් වූ මිලියන ගණනක් වන සිකාඩාවෝ ද එයට එක්වෙති. මෙය, මිහිපිට වරකට දැකිය හැකි දැවැන්තම කෘමී නිර්ගමනයයි. හෙවත් කෘමීන්ගේ දැවැන්තම පහළ වීමයි.

BBC
BBC

උන් ලහි ලහියේ දිව යන්නේ උස් තුරු මුදුන්වල ඉහළ අතු වෙතට ය. ඝනකම් බාහිර සැකිල්ල හෙවත් බහිෂ්චර්මය උන්ගේ ආවේණික ලක්ෂණයකි. එයද තුරු මත අතුල්ලමින් උහු නොකඩවා බඩගාති. එවිට සිදුවන්නේ සොබාදහමේ අපූර්වතම සංසිද්ධියකි. උන්ගේ පිහාටු ක්‍රමයෙන් මතුවෙයි. මුලින් ඒවා මෘදු ය. සුදු පැහැති ය. නමුත් ශිෂුවන් සුහුඹුලන් බවට පත්වන මෙම පරිණාමනය සම්පූර්ණ වීම ට නම්, උන් පත්‍රවල යටි පැත්තේ එල්ලී පසුවදා අළුයම වන තෙක් ඒ ආකාරයෙන්ම පසු විය යුතු ය. පසුදිනට එළිය වැටුණු වි, උන්ගේ සංක්‍රාන්ති සමය ගෙවී ගොසිනි. දාහත් වසරක් මුළුල්ලේ නොතිබූ සිකාඩා හඬෙන් මුළු වන පෙතම ගිගුම් දෙන්නට පටන් ගනියි. උන්ගේ සුදු පැහැති මෘදු පිහාටු ක්‍රමයෙන් තද දුඹුරු පැහැයට හැරෙයි. දර රතු ඇස් පටල හා කළු පැහැ ශරීරය නිසා එම පැහැය වඩාත් ඉස්මතු වී පෙනේ. බැලූ බැලූ අත සිකාඩාවන් ය. සුහුඹුල් සිකාඩාවෝ දරුණු බඩගිනිකාරයෝ වෙති. උහු උමතුවෙන් මෙන් වග විභාගයක් නොමැතිව හසුවන සෑම දෙයක්ම කා දමති. මේ වග විභාගයක් නැතිකම නිසා උහු අනතුරුවලට ද අත වනති. එවිට වැරදීමකින් හෝ බිමට හෝ ජලයට වැටෙන සිකාඩාවෙක්, විලෝපිතයන්ට රස මසවුළකි. කැස්බෑවුන්, මැඩියන් මෙන්ම පක්ෂීන් හා ලේනුන් ද මේ විලෝපිකයන් අතර වෙයි. උන් ට මෙය විටෙක සිය ජීවිත කාලයට ම එක් වරක් පමණක් භුක්ති විඳින්නට ලැබෙනා මහා ආහාර උත්සවයකි.

ඒ අතින් සිකාඩාවුන් කාන්තාර පතංගයන් තරමටවත් වාසනාවන්ත නොවෙති. එනම්, කාන්තාර පතංගයන්ට මෙන් උන්ට පළා යා නොහැකිය. ආරක්ෂා වීම සඳහා කිසිදු ශිල්පයක් ද නොදනිති. අවසානයේ සියලු සිකාඩාවුන් විලෝපිකයන් විසින් ආහාරයට ගෙන අවසන් නොවීම පිණිස එකම හේතුව වන්නේ උන්, කෑමට ගෙන අවසන් කළ නොහැකි තරමට අධි ප්‍රමාණයකින් යුක්ත වීම නිසා ය. එවිට පක්ෂීහු තවත් කාගත නොහැකි තරමට කුස පුරවා ගනිති. කැස්බෑවුන් මුව විවර කළ නොහැකි තරමට ආහාරයෙන් සංතෘප්ත වී සිටිති. මේ අනුව සිය පරිණාමීය අරමුණ මුදුන්පමුණුවා ගැනීමට හැකිවන්නේ විලෝපිකයන්ගේ මුව තුළට නොගොස් දිවි බේරාගැනීමට සමත් වූ අල්පයක් වන සිකාඩාවුන්ට පමණකි.

සිකාඩා ජීවන චක්‍රයක මේ පරිණාමීය අරමුණ යනු අන් කිසිවක් නොව විරුද්ධ ලිංගිකයන් සමග එක්වීමයි. ඉක්බිති සුහුඹුල් සත්තු බිත්තර දමති. එවිට උන්ගේ රාජකාරිය අවසන් වූවා වේ.

ඉන්පසු දින කිහිපයක ඈවෑමෙන් සිදුවන්නේ ඇස් අදහාගත නොහැකි දෙයකි. ශාක පත්‍රවල යටි පැත්තේ සිකාඩා පිටසැකිළි හෙවත් බහිෂ්චර්ම පමණක් ඉතිරි වේ. මෙහෙවර නිමා කළ හෙයින් උන් මිය ගොසිනි. වන පෙත නැවතත් නිසල ය.

සිය මරණයෙන් මතුද සිකාඩාවෝ වන පෙත වෙනුවෙන් අවසන් යුතුකම ඉටු කර යති. උහු සිය බහිෂ් සැකිලි වන බිමට දන් දෙති. ඒවා පසට පොහොර වේ. මූලික වශයෙන්ම කයිටින් බහුඅවයවිකයෙන් සැදී ඇති හෙයින් විගස පසට ජීර්ණය නොවුණද එහි සාරය අතිමහත් ය. කාලය ගෙවී යත්ම සිකාඩාවුන්ගේ බහිෂ්චර්ම පත්‍රවලින් ගැළවී බිමට වැටෙයි. දැන්, වනපෙතේ පොළොව මත එකම සිකාඩා බහිෂ්චර්ම ගොඩකි. එහි ද පෝෂණය පසටම ය. එම අධිපෝෂණීය අතිරේකයෙන් වාසි ලබන්නේ ශාක විශේෂයි. ස්වභාවික ලෝකයේ දැකිය හැකි දැවැන්තරම ස්වභාවික පොහොර වඩිය මෙය විය යුතු ය.

තවත් දා හත් වසරක් ගත වන තෙක් මේ වන පෙතෙහි සිකාඩා හඬක්වත් ඇසෙන එකක් නැත. පස තුළ වූ බිත්තර තවත් දාහත් වසරක් යන තෙක් නිද්‍රාශීලී ව පවතිනු ඇත. ඉන්පසු ගිම්හානයේ එක් උණුසුම් රැයක ඒවා පිපිරී, ළපටි සිකාඩාවුන් තැනී, උන්ගෙන් බහුතරය විලෝපිකයන්ට ගොදුරු වී, ඉතිරි වූවන් ලිංගික ව එක්වී ළමා ළපටීන් තනා, බිජු දමා මේ ආකාරයට ම බහිෂ් සැකිලි පමණක් ඉතිරි කර සමුගෙන යනු ඇත. වන පෙත ඇති තෙක්ම මේ චක්‍රය නොමියේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි