×

රක්ත වර්ණ පීත්තපටි දඩබිම – BBC Planet Earth Series

මේ හා සමානවම මේ දැඩි උනුසුම වනවාසී සත්වයන්ට ද දරාගත නොහැකි වෙයි



අඳුරු දිගු ශීත සමය එළඹෙත්ම උතුරු ඇමරිකානු මහාද්වීපය පුරා රක්තවර්ණ මහා පීත්තපටි ජනනය වන්නට පටන් ගනියි. එහි බලපෑම අති මනරම් ය. සුන්දර ය. ඈත අහසට පවා ඒවා සුපැහැදිලි ව දිස්වෙයි. එවිට මේ මහාද්වීපය බලා සිටියදී රත් තැඹිලි පැහැ වන්නා සේ පෙනේ. කෙසේ නමුත් මහා තුරු විසින් මෙසේ හරිතපත් හළා දමන්නේ ශීත සෘතුව උදෙසා පමණක් නොවේ.


මෙකී වනාන්තර පෘථිවියේ නිවර්තන රේඛාවන් ඔස්සේ පිහිටා තිබෙන ඒවා ය. එනිසා එහි දිවාකාලය නොවෙනස් වෙයි. නමුත් මෙහි වියළි කාලගුණය අතිශයින්ම කටුක ය. උහුළාගත නොහැකි තරම් වන උග්‍ර ජල පරිමාවක් මෙහිදී ශාකවලින් බැහැර වෙයි. පුළුල් පත්‍ර ශාක තිබීම එවිට අවාසියක් බවට පත්වෙයි. එනිසා ම ඒ පුළුල් පත්‍ර වහාම හළාදැමීමේ අවශ්‍යතාවයක් ද මතුවෙයි. තැඹිලි, රන් පැහැ පුළුල් පත්‍ර හැල්මේ පාවී ගොස් බිම පතිත වන්නේ මෙවිට ය. මෙවිට වනාන්තරය, මධ්‍ය ශීත සෘතුව ගත කරන යුරෝපියානු වනාන්තරයක සිරිය ගනියි.


මේ හා සමානවම මේ දැඩි උනුසුම වනවාසී සත්වයන්ට ද දරාගත නොහැකි වෙයි. ඉන්දියාවේ තේක්ක කැලයන් හි වෙසෙන කුළු මීමුන්ට පවා මේ තත්වය පොදු ය. උහු තවමත් කඳ නොවියළී ඉතිරි ව පැවති විසල් රුක්වල පොතු උළා කමින් කුසගින් හෝ පිපාසය සන්සිඳුවාගැනීමට තැත් කරති. නමුත් යම්කිසි ගැළවුම්කාරයෙකු කොතැනකත් හිඳියි. Mahua ගස්වල මල් පිපෙන්නට පටන් ගන්නේ මෙවිට ය. දියරමය ගතියෙන් පිරිපුන් ඒ මල්, වනවාසීන් ට මහා සැනසිල්ලකි. විශේෂයෙන්ම කළු මුහණැති – සුදු ලොම් බහුල වඳුරු රෑන්වලට මහුවා රුකක් යනු, උණුසුම් වියළි කතරක් මැද පිහිටන කෙම් බිමකි. සුන්දර පළා  ගිරවුන්ද පැණි කුරුල්ලන්ද දිවිරැකගන්නේ එයිනි. නමුත් මේ කෙම්බිමේ පලදාවෙන් කොටසක් ලබන්නේ පියෑඹීමේ හෝ ගස් නැගීමේ ශාස්ත්‍රය දත් අය පමණක් නොවේ. උන් අතින් බිම පතිත වන මල් හා කැකුළුවලින් චිටාල් මුවන්ගේ සිට ලැන්ගර් වඳුරන් Langur Monkies දක්වා වන ලොකු කුඩා හැම සත්වයෙකු ම මේ මල් මත යැපෙති. උහු ගස් යටට පැමිණ උඩ බලති. ඒ, ගස් මත ලැග සිටින වඳුරන්ට ඒ මල් කඩා වැඩි වැඩියෙන් බිම දමන්නැයි ආයාචනය කරන්නාක් මෙනි.


මුවන් කෙම්බිමට පැමිණෙනවා දකින්නට කළු මුහණැති වඳුරන් ඉතා කැමති ය. එයට හේතුව, උන් තමාට වඩා හොඳ විමසිලිවන්තයන් බව වඳුරන් ඉවෙන් මෙන් දන්නා නිසා ය. මුවන් නිවාඩු පාඩුවේ නිවී සැනසිල්ලේ පසුවෙයි නම්, එහි අදහස උන්ට ද බිය සැක රහිතව පොළොවට බැසීමට හැකි බව ය.


වඳුරන් බිම යන්නේ කලාතුරකිනි. නමුත් කලාතුරකින් පවා මේ ආකාරයට මුවන්ගේ මුරපොළෙන් බොහෝ දුරට ගමන්කිරීම නම් ප්‍රඥගෝචර නොවේ. නිදහසේ ගල් තලාව මතින් දිව යන ලැන්ගර් වඳුරා, නිස්කලංක තැනකට වී හොඳින් වටපිට බලන්නට පටන් ගනියි. නමුත් පිටුපස ඇති අනතුර ඌ ත්‍නාදකියි. වයිරම් වැටුණු වලිගයක්, කුරුමාණම් ඇල්ලීමේ සතුටින් යුතුව ලෙළදෙනු පෙනේ. නමුත් එය පෙනෙනුයේ මුවන්ට මිස වඳුරාට නොවේ. ඒ වයිරම් වලිගයේ හිමිකරු දැවැන්ත දිවියෙකි.


මුවන් වික්ෂිප්තව, කරකියාගතහැකි දෙයක් නොමැතිව බලා සිටියදී, දිවියා මුලින් සෙමෙන් ඉදිරියට ඇදෙයි. ඉක්බිති හිටිවනම ගොදුර වෙත කඩාපනියි. ඊළඟ නිමේෂයේ, කැලෑ මලට ලොබ බැඳි වඳුරාගේ ගෙළ, දිවියාගේ දත් අතර සිර වේ. ඉඩ ලැබෙනුයේ යන්තම් කෙඳිරි ගෑමට පමණි. මුරපොළින් ඈතට ඇදුණු වඳුරාගේ ජීවිත ගමන එතැනින් නිමි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි