×

‘‘අපට නිදහස ලබාදීමට සාහිත්‍යයට සහ වචනවලට ලොකු බලයක් තිබෙනවා“ – ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පැමිණ රටේ ලොකුම සාහිත්‍ය ත්‍යාගය දිනූ සරණාගතයා කතා කරයි.

බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාව බලා ආ බෙහ්රූස් බූකානි තවදුරටත් මානුස් දූපතේ සිරකරුවෙකු වන හෙයින්, ටෙක්ස්ට් මැසේජවලින් ඔහු ලියූ පොත සඳහා පිරිනැමුණු රටේ ලොකුම සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මානය ද්විත්වය පිළිගැනීමට නොහැකි විය. අවම වශයෙන් එම පිරිනැමීම සඳහාවත් ඔහුට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට බලධාරීන් ඉඩ දුන්නේ නැත.


මානුස් දූපතේම සිටියදී ඔහු, ඇමරිකානු ඩොලර් 125,000 ක් සසමග වික්ටෝරියානු ප්‍රිමියර් සාහිත්‍ය ත්‍යාගය සඳහා සිය පිළිගැනීමේ කතාව වීඩියෝ පණිවුඩයක් මගින් එවා තිබුණේ මෙසේ ය.

මේ, 2019 ජනවාරි 31වැනිදා ත්‍යාග ප්‍රදානෝත්සවය වෙනුවෙන් යවා තිබූ එම කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි.

‘‘වසර 6කට පෙර මා ක්‍රිස්මස් දූපතට පැමිණෙන විට ආගමන නිලධාරියෙක් මට කාර්යාලයට කතා කර ඔවුන් මාව මානුස් දූපතට පිටුවහල් කරන බව කිව්වා. එය, පැසිෆික් සාගරයේ මැද පිහිටා තිබෙන ස්ථානයක්. එවිට මා ලේඛකයෙක් බව මම ඔවුන්ට කිව්වා. එවිට ඒ පුද්ගලයා මහ හඬින් සිනාසී, මාව මානුස් දූපතට පිටුවහල් කරන්නට ආරක්ෂක භටයන්ට විධාන කළා.

මගේ නවකතාව ලියන විටත්, පිළිගැනීමේ කතාව ලියමින් සිටින මේ දැන් පවා මේ සිදුවීම මගේ සිතේ චිත්‍රයක් මෙන් තබාගත්තා. ඔහු කළ දෙය නින්දාසහගත ක්‍රියාවක්.

මානුස් දූපතට පැමිණි විට මම මා ගැන වෙනත් ප්‍රතිරූපයක් නිර්මාණය කළා. දුරස්ථ බන්ධනාගාරයක් තුළ ජීවත් වන නවකතාකරුවෙකුව මා සිතින් මවා ගත්තා. සමහරවිට මා බන්ධනාගාරයේ වැට අද්දරට වී අඩනිරුවතින් වැඩකරමින් මෙහි සිරගත කර සිටින නවකතාකරුවෙකුව සිතින් මවා ගත්තා. මේ චිත්‍රය මාව අවදියෙන් තැබුවා. වසර ගණනාවක් මුළුල්ලේ මා මේ ප්‍රතිරූපය මනසෙන් නඩත්තු කළා. කෑම ලබාගැනීමට දිගු පෝලිම්වල පැය ගණන් සිටීමට බල කරන විට පවා, එසේත් නැතිනම් වෙනත් නින්දා සහගත අත්දැකීම් විඳින විටදී පවා මා මේ ප්‍රතිරූපය මා වෙතම තබාගත්තා.

මගේ අභිමානය පවත්වා ගැනීමටත්, මනුෂ්‍යෙයකු වශයෙන් මගේ අනන්‍යතාවය තබාගැනීමටත් මේ ප්‍රතිරූපය ඉවහල් වුණා. නියත වශයෙන්ම මා තනාගත් මේ ප්‍රතිරූපය, මේ ක්‍රමය විසින් නිර්මාණය කළ චිත්‍රයේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයයි. අපගේ තනි පුද්ගල අනන්‍යතාවයන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරි මේ ක්‍රමය සමග වසර ගණනක් අරගල කිරීමෙන් පසුව මේ මොහොත කරා ළඟා වීමට හැකි වීම ගැන මා සතුටු වනවා.

අමානුෂික පද්ධතීන් සහ ව්‍යූහයන්ට අභියෝග කිරීමට වචනවලට බලයක් තිබෙන බව මෙයින් ඔප්පු කරනවා. මා වචන හා සාහිත්‍යය විශ්වාස කරන බව මා හැමවිටම කියා තිබෙනවා. බල ව්‍යූහයන් වෙනස් කිරීමටත් ඒවා අභියෝගයට ලක් කිරීමටත් සාහිත්‍යයට හැකි බව මා විශ්වාස කරනවා. සාහිත්‍යයට අපට නිදහස ලබාදීමට බලය තිබනෙවා. ඔව්, ඒක ඇත්ත.

වසර ගණනක් තිස්සේ මා කූඩුවක සිටියත් මේ මුළු කාලය පුරාම මගේ මනස විසින් නිරන්තරව වචන නිෂ්පාදනය කරමින් සිටියා. එසේම ඒ වචන මා දේශසීමාවලින් ඔබ්බට ගෙන ගියා. මාව එතෙරට සහ නොදන්නා ස්ථාන කරා රැගෙන ගියා. මේ ස්ථානයේ, මේ බන්ධානගාරයේ තිබෙන ආරක්ෂක වැටවලට වඩා වදන් බලවත් බව මා සත්‍ය වශයෙන්ම විශ්වාස කරනවා.

එය මූලික සටන්පාඨයක් පමණක් නොවෙයි. මම පරමාදර්ශියෙක් නොවෙයි. මම පරමාදර්ශියෙකු වශයෙන් මෙහිදී මගේ අදහස් පළකරනවා නොවෙයි. මේ වචන පැමිණෙන්නේ මේ දූපතේ අවුරුදු හයකට ආසන්න කාලයක් සිරගත කර සිටින තැනැත්තෙකුගෙන්. මේ ස්ථානයේ සිදුවන අසාමාන්‍ය ඛේදවාචකය ඇසින් දුටු තැනැත්තෙකුගෙන්. මේ වචන අද රාත්‍රියේ ඔබ සමග පෙනී සිටින්නට මට අවස්ථාව ලබා දෙනවා.

මේ ත්‍යාගය ජයග්‍රහණයක් බව මා නිහතමානී ලෙස කියන්නට කැමතියි. මෙය අප වෙනුවෙන් පමණක් නොවෙයි, සාහිත්‍යය, කලාව සහ, ඒ සියල්ලටමත් වඩා මනුෂ්‍යත්වය ලද ජයග්‍රහණයක්. මනුෂ්‍යයන් වෙනුවෙන්, මනුෂ්‍ය අභිමානය වෙනුවෙන් ලද ජයග්‍රහණයක්. අපව මනුෂ්‍යයන් ලෙස කිසිදා පිළිනොගන්නා ක්‍රමයකට එරෙහිව ලද ජයග්‍රහණයක්. එය, අපව සංඛ්‍යාවක් බවට ඌනනය කළ ක්‍රමයකට එරෙහිව ලද ජයග්‍රහණයක්.

මෙය සුන්දර මොහොතක්. සාහිත්‍යයේ බලය තුළ අපි හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් සතුටු වෙමු.

• දැන් වසර 6 ක් මුළුල්ලේ මානුස් දූපතේ සිරකරුවෙකු බවට පත්වන සිටින බෙහ්රූස් බූකානි, ‘මිතුරන් නැත – කඳු පමණයි,‘‘ (No Friends But the Mountains) කෘතිය සඳහා මෙම සම්මාන උළෙලේ ප්‍රධාන සම්මානය සහ ප්‍රබන්ධමය නොවන සම්මානය යන සම්මාන දෙකක්ම දිනාගත්තේය. මෙම කෘතිය Picador Australia ප්‍රකාශකයන් විසින් පළ කර තිබේ.

ඔහු ගැන ලියැවුණු පෙර ලිපිය සබැඳියෙන් ලබාගන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි