×

මාධ්‍යවේදියකු අල්ලන්න ලිතුවේනියාවට පියාසර කළ ගුවන්යානයක් බෙලරුස් වෙත හරවලා – යානය හැරෙව්වේ බෝම්බයක් තිබිලා, බෙලරුස් රාජ්‍ය මාධ්‍ය කියයි

රයන්එයර් ගුවන් සමාගමට අයත් ග්‍රීසියේ සිට ලිතුවේනියාවට පියාසර කරමින් තිබූ ගුවන් යානයක් බෙලරූස් වෙත හරවා යැවීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.


මීට ආසන්නතම හේතුව ලෙස බෙලරුස් හි විපක්ෂය නියෝජනය කරන පාර්ශවයන් පෙන්වා දෙන්නේ එම ගුවන් යානයේ ගමන් කරමින් සිටි මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගැනීමටයි.

මෙසේ ලිතුවේනියාවට ගමන් කරමින් තිබූ ගුවන් යානය බෙලරුස් වෙත ගොඩබෑමට තීරණය කර තිබෙන්නේ එම යානයේ බෝම්බයක් තිබූ නිසා බවට බෙලරුස් රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත්, බීබීසී පුවත් සේවය පෙන්වා දෙන්නේ බෙලරුස් හි මින්ස්ක් අගනුවර වෙත ගොඩබෑ එම යානයේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබි බවයි.

මෙම මාධ්‍යවේදියා ද නෙක්ස්ට් මීඩියා නම් මාධ්‍ය ජාලයේ හිටපු සංස්කාරකවරයකු වන රෝමන් ප්‍රොටසෙවිච් බවට බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් යුරෝපීය රාජ්‍ය සිය දැඩි විරෝධය පළකර තිබේ. මෙය බෙලරුස් රාජ්‍යය විසින් ප්‍රදර්ශනය කරන ලද රාජ්‍ය ත්‍රස්තවාදයක මුහුණුවර ගන්නා බවයි යුරෝපය පවසන්නේ.

යුරෝපය පුරා විවිධ දේශපාලනික කණ්ඩායම් විසින් දැනටමත් යුරෝපා සංගමයට හා නේටෝ සංවිධානයට මෙම සිදුවීමට මැදිහත් වීමක් සිදුකරන ලෙසට ඉල්ලා තිබේ.

මෙය මාධ්‍ය නිදහසට මෙන්ම කලාපීය සබඳතා වලට රාජ්‍ය මට්ටමින් ම එල්ල කරන ලද මරු පහරක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම විකාරරූපී ක්‍රියාව තුළින් අනිසි ප්‍රතිවිපාක ඇතිවනු ඇති බවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් මහතා දැනටමත් අනතුරු අඟවා ඇති බවට ද සඳහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි