×

බෙන් ස්ටෝක්ස් – වීදි මදාවියෙකු ෆීනික්ස් පක්ෂියෙක් වූ හැටි

අළු මතින් නැගිට ගත් බෙන් ස්ටෝක්ස් අළු බඳුනේ වීරයා බවට පත්වීම පසුපස තිබෙන්නේ ඔහුගේ ප්‍රියාදරියගේ ආදරයයි.


පසුගිය සතියේ විජයග්‍රාහී ලෙස අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ක්‍රිකට් ඉතිහාසයට එකතු වන්නේ ලෝක ක්‍රිකට් වංශකතාවේ එදා මෙදාතුර බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස ය. ඇතැමුන්ට අනුව නූතන ඉයන් බොතම් ඔහු ය.

28 හැවිරිදි බෙන් ස්ටෝක්ස්, එංගලන්තයේ පැවති ඈෂස් ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව දිදුලන-නොදැවුණු ලකුණු 135 ක් රැස් කළේය.

‘වීදි මදාවියා‘

නමුත් මෙයට දෙවසරකට අඩු කාලයකදී බෙන් ස්ටෝක්ස් යනු, වෙරි මතින් වීදියේ රණ්ඩු කරමින් සිටි මදාවියෙකි. ඔහු ගැන ඒ කාලයේ ලබාදිය හැකිව තිබූ සරලම හැඳින්වීම එයයි. ඉතින්, වසර 2 ක් ඇතුළත මේ ‘වීදි මදාවියා‘, ලෝකයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු බවට පත්වුණේ කෙසේද? මේ ඒ කතාවයි.

එහි රහස ‘ඇය‘ විය.

බෙන් ස්ටෝක්ස් ‘ඇය‘ සමග

තරගාවලියෙන් පසු ඔහු මෙසේ කීවේය. ‘‘ක්ලෙයා තමයි මේ හැමදේකදිම මාත් එක්ක හිටියෙ!“

ඔහු සිය ජීවිතයේදී වැඩිපුරම කඩා වැටුණු නිමේෂයේදී ද ඇය ඔහු අසල සිටියේය. ඔහු කලක් අධිකරණයේ කලහකර ගැනීම සම්බන්ධයෙන් චූදිතයෙකුව ද සිටියේය. ඒ 2017 වසරේදී හරියටම සැප්තැම්බර් මාසයේ දිනයක, එනම් මෙයට හරියටම වසර 2 කට පෙර ඔහු බ්‍රිස්ටල් හි සමාජ ශාලාවකදී දෙදෙනෙකු සමග වාදයක පැටළුණේය. ඒ වාදය අවසන් වූයේ අඩි 6 ක් උස තුන් ඉරියව් බෙන් ස්ටෝකර් ඒ දෙදෙනාටම කැරකී වැටෙන්නට පහර එල්ල කිරීම මගිනි. එක් අයෙකුගේ ඇස් කෙවෙනිය පිටතට පැන තිබූ ඒ මුෂ්ටි පහරවල් CCTV දර්ශනවල ද මැනවින් සටහන් ව තිබිණි.

එය බෙන් ස්ටෝක්ස් ගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය වන්නට බොහෝ සෙයින් ඉඩ කඩ තිබුණේය. මන්ද යත් මේ සිදුවීම වන විට බෙන් ස්ටෝක්ස්, එංගලන්ත ක්‍රිකට් පිලට ‘නැතිවම බැරි‘ මට්ටමට පැමිණ සිටියේ නැත. නමුත් අවසානයේ මේ සිදුවීම තුළ බෙන් ස්ටෝක්ස් වෑයම් කළේ සමරිසි තරුණයන් දෙදෙනෙකුට හිංසනයෙන් බේරීමට උපකාර කිරීම බව හෙළිවිය. 2018 අගෝස්තුවේ ඔහු සිය චෝදනාවලින් නිදහස් විය.

නමුත් මේ චෝදනාව නිසා බෙන් හට අළු බඳුන තරගාවලියක් අත්හැර දමන්නට සිදුවිය. වැදගත් එක්දින ජාත්‍යන්තර තරග ගණනාවක් ද ඔහුට අහිමි විය.

නමුත් ඔහුට කිසි විටෙක ඇයව අහිමි වූයේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාවට අවනම්බු කළැයි පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහුට තරග 06 ක් තහනම් කිරීමට ක්‍රීඩා බලධාරීහු ක්‍රියා කළහ. ඉන්පසු කේටි ප්‍රයිස්ගේ ආබාධිත පුතු ව හාස්‍යානුකරණයට ලක්කිරීම නිසා ඔහුට තවත් තරග 2 ක් තහනම් විය. අවසානයේ තහනම් වූ තරගවලින් ඔහු සෑහෙන වන්දියක් ගෙවා ඇති බව පිළිගත් ක්‍රිකට් බලධාරීහු, තවත් පවුම් 30,000 ක වන්දියක් ගෙවා ඔහුට දිගටම ක්‍රිකට් සෙල්ලම් කිරීමට අවසර ලබා දුන්හ.

View this post on Instagram

Haweyyy the lads👍👍 2-0

A post shared by Ben Stokes (@stokesy) on

බෙන් ස්ටෝක්ස් එයින් පාඩමක් ඉගෙන ගත්තේය. අවසානයේ එංගලන්තයේ පීඩනයක් යටතේ ක්‍රීඩාකරන හොඳම ක්‍රීඩකයා බවට පත්විය.

මේ සියල්ලම පසුපස සිටියේ ඇය ය. ක්ලෙයා ය. ඇය වරක් තමන්ව ‘ක්‍රිකට් වැන්දඹුවක්‘ ලෙස හඳුන්වා ගත්තීය. බෙන් වෙනුවෙන් පුදුමාකාර ඉවසීමකින් ජීවත් වූවාය.

එය රැයකට කොතරම් බීමත් විය හැකිදැයි වරක් බෙන් ස්ටෝක්ස්ගෙන් අසනු ලැබිණි. එවිට ඔහු මෙසේ කීවේය. ‘‘මම අවුරුදු 20 ඉඳන් ඒක ගණන් කරන එක නැවැත්තුවා‘‘!

තමන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර මෙන්ම ඒ අතරතුරදී ද බීමත් වන බව බෙන් ස්ටෝක්ස් වරක් පිළිගත්තේය.

බෙන් ස්ටෝක්ස්ගේ ඉතිහාසය ද මෙවැනි සිදුවීම්වලින් පිරී පවතියි. වරක් 2011 වසරේ දෙසැම්බරයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ මිතුරෙකු සමග රාත්‍රිෙය් ඇවිදිමින් සිටියදී පොලිස් රාජකාරිවලට බාධා කිරීම මත ය. එදින රාත්‍රිය පොලිස් කූඩුවේ ගත කළ බෙන්, එය තමන්ගේ ජීවිතයේ නරකම රැය යැයි පසුව කීවේය.

2013 පෙබරවාරි මාසයේ බෙන් ව ඔස්ට්‍රේලියාවෙන් පටවා මව්රට බලා එව්වේ, අළුයම් කාලයේදී පියවි සිහිය නැති වන තෙක් මත්පැන් පානය කර හසුවීම නිසා ය. 2015 ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවේ ලයන්ස් ක්‍රිකට් සංචාරයේදී කණ්ඩායම් නීති රීති කඩ කිරීම නිසා වාචික අනතුරු ඇඟවීමකට ලක් වීමට සිදුවිය. ඉන්පසු 2017 අගෝස්තුවේදී මැන්චෙස්ටර් හි අළුයම 3 ට ඔහු බීමතින් සිටිනු දක්නට ලැබුණේය. එය, දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ රාත්‍රියයි. පෙනෙන්නට තිබුණේ බෙන් ස්ටෝක්ස් යනු, දක්ෂතා රාශියක් සහිත, එහෙත් දියුණුවේ හිණිපෙත්තට යාමට තරම් වාසනාවක් නැති දඩබ්බරයෙක් ලෙස ය.

ක්ලෙයා සමග ඔහු

අවසානයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නොදැවුණු ලකුණු 84 ක් නවසීලන්තයට එරෙහිව රැස් කළ ඔහු, ක්ලෙයා වෙත හැරී සැලියුට් එකක් ගැසුවේය. ලෙයිටන් සහ ලිබී යන ඔහුගේ දරු දෙදෙනාගේ මව වීමට අමතරව මේ ගැහැණිය ඔහුගේ ජීවිතයේ සුවිශේෂී කොටසක් බව බොහෝ දෙනාට ක්‍රමයෙන් තේරුම් යමින් තිබිණි. පසුව රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වෙමින් බෙන් ස්ටෝක්ස් පැවසුවේ ඇය තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කිරීමට සමත් වූ බවයි.

‘‘ක්ලෙයා හරියට මගෙ හොඳම යාළුව වගේ. ඇයයි මගෙ පවුලයි මට ජීවිතේ ඉහළ පහළ යාම්වලදී උදව් කළා. ඔවුන් ඉන්නකල් මට කිසි දෙයක් ප්‍රශ්නයක් නෙවෙයි.‘‘

‘‘මම තරග සඳහා සංචාරය කරද්දී මට ක්ලෙයා සහ දරුවන් ව හරියට මතක් වෙනවා. මගෙ ජීවිතය කියන්නේ ක්‍රිකට් සහ මගෙ පවුලයි.“

බෙන් – ක්ලෙයා ආදර කතාව

බෙන් ස්ටෝක්ස් – ක්ලෙයා ආදර කතාව පටන් ගැනුනේ 2010 වසරේදී ය. ප්‍රාථමික පාසල් ගුරුවරියක වූ සුන්දර යුවතියව ක්ලෙයා ට හමු ව තිබුණේ පවුලේ විනෝද චාරිකාවකදී ය. ඒ වන විට බෙන් යනු කිසිවක් තිබූ අයෙක් නොවේ.

View this post on Instagram

Jes we love it

A post shared by Ben Stokes (@stokesy) on

සිය මතකයන් ඇතුළත් Firestarter හිදී බෙන් මෙසේ පවසයි. ‘‘මම ඇයව දැක්කා. ඇය මාව හදුනගත්තෙ මගෙ ටී ෂර්ට් එකේ පිටිපස්සෙ ගහල තියෙන නමින්. එදා දවස ඉවර වෙන්න කලින් ඇය මට ෆේස්බුක් එකෙන් මිතුරු ඉල්ලීමක් එවා තිබුණා.“

ටැටූ ලෝලියා

බෙන් ස්ටෝක්ස් සිය දකුණු අතේ උඩ බාහුවේ අළු මතින් නැගිටින ෆීනික්ස් පක්ෂියෙකුගේ ටැටූ එකක් සිත්තම් කරගෙන සිටියි. ‘‘ෆීනික්ස් පක්ෂියා වැටුණාම නැගිටලා හිටියත් වඩා ශක්තිමත් විදිහට ඉහළට යනවා“ යැයි එයට හේතු පැහැදිලි කරමින් ඔහු කීවේය.

ඔහුගේ වම් අත පිරී තිබෙන්නේ යම්කිසි පාඨයකිනි. එහි මෙසේ සඳහන් වේ. “Being the best you can be is only possible if you desire to be a champion and your fear of failure is non-existent.”

එංගලන්තයේ තරුව බවට පත්ව සිටියත් බෙන් ස්ටෝක්ස් උපන්නේ නවසීලන්තයේ ය. සිය උරුමය හඟවමින් ඔහු රිදී මීවන අත්තක ටැටූවක් සිය වම් බාහුවේ සිත්තම් කරගෙන සිටියි. ඔහුගේ පිට වැසී තිබෙන්නේ සිංහ රංචුවකගේ ටැටූවකිනි.

වීරයෙක් වීම‍

ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී අති මහත් දස්කම් පෙන්වා මාසයකටත් අඩු කාලයකදී බෙන් ස්ටෝක්ස් අළු බඳුන තරගාවලියේදී ද එංගලන්තය ඉහළටම ඔසවා තබන්නට සමත් විය. පළමු ඉණිමේදීම පරාජය බාරගත් බව පෙනෙන්ට තිබියදී ද බෙන් ස්ටෝක්ස් පසුබට නොවූ බවක් පෙනෙන්නට තිබිණි. ඔහු ඕවර 15 ක් එකදිගට පන්දු යැව්වේය. එහි පළමු පන්දුව තරමටම අවසන් පන්දුව ද ඉලක්කගත වේගයකින් යුතු විය. දෙවැනි ඉණිමේදී ඔසී ක්‍රීඩකයන් නිරුත්තර කරමින් ඕවර 24.2 කදී කඩුළු 3 ක් දවාගත්තේ ලකුණු 56 ක් පමණක් ලබා දෙමිනි.

සිය විකට්ටුව කැන්ගරුවන්ට කොතරම් වැදගත් දැයි වටහාගත් බෙන් ස්ටෝක්ස් ප්‍ර වේශමෙන් නමුත් කලහකාරී ලෙස පන්දුවට පහර දීම ආරම්භ කළේය. අනාරක්ෂිත පන්දු ඔහු නොපැකිළව නිදැල්ලේ යැව්වේය. අවසානයේදී පන්දු 219කට ලකුණු 135 ක් නොදැවී ලබාගන්නා විට එයට හයේ පහර 8 ක් ඇතුළත්ව තිබුණේය. ඒ අතරින් ජයග්‍රහණය සනිටුහන් කළ අවසන් ලකුණු 74 ඔහු ලබාගෙන තිබුණේ පන්දු 42 කිනි.

අති දැවැන්ත පීඩනයක් මැද එංගලන්තය අළු බඳුන කුසලානය වෙත රැගෙන ගිය බෙන් ස්ටෝක්ස් සිය බිරිඳට සිපාචාර පවත්වන ආකාරය අවසානයේ මෙසේ දැකගන්නට ලැබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි