×

සිත් සුව පතා බැට් එකට සමු දුන් වීදි මදාවියා නොහොත් ෆීනික්ස් පක්ෂියා – බෙන් ස්ටෝක්ස්

මෙයට තුන් වසරකට පෙර ඔහු, බ්‍රිතාන්‍ය මාධ්‍යවලට වෙරි මතින් වීදියේ රණ්ඩු කරමින් සිටි ‘මදාවියෙකු‘ විය.


ඉන්පසු මෙයට වසර දෙකකුත් මාස දෙකකට පෙර ඔහු ගැන ශීර්ෂපාඨ මැවුණේ ”From ashes to Ashes’ යනුවෙනි. අළු මතින් නැගිට ඔහු, අළු බඳුන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව දිදුලන- නොදැවුණු ලකුණු 135 ක් රැස්කර එදා මෙදාතුර ක්‍රිකට් ශ්‍රේෂ්ඨයෙකු බවට පත් විය

බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ ‘නූතන ඉයන් බොතම්‘ ලෙස ය.

නමුත් දැන්, බෙන් ස්ටෝක්ස් සමුගෙන ගොසිනි. ඔහු ආපසු එන දිනයක් නැත. ඔහු ගෙන තිබෙන්නේ ‘දින නියමයක් නැති‘ නිවාඩුවකි.

මේ තුන් ඉරියව් දක්ෂයා දින නියමයක් නැති නිවාඩුව සඳහා යන්නේ ඔහුගේ මානසික යහපැවැත්මට මුල් තැන දීම පිණිස ය. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ බව නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව බෙන් ස්ටෝක්ස් ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැකගත නොහැකි වනු ඇත. තිස් හැවිරිදි බෙන් ස්ටෝක්ස් මේ තීරණය ගන්නා විට වම් අතේ ඇඟිල්ලක තුවාළයකින් ද පීඩා විඳිමින් සිටියේය.

බෙන් ස්ටෝක්ස්, එංගලන්ත පිලේ සෙසු ක්‍රීඩකයන් මෙන්ම පසුගිය මාස 16 ක කාලයක් ගත කළේ ජෛව බුබුළ තුළ ය. එහිදී ලංකාවේ නමගිය දෙපළ මෙන් ඔහු ජෛව බුබුළ කඩාගෙන වීදි දිගේ දුවමින් දුම් බිව්වේ නැත. ඒ වෙනුවට ඔහු ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් තරගය ද තවත් ටෙස්ට් සහ සීමිත ඕවර තරග ද මැනවින් ක්‍රීඩා කළේය. ඩර්හැම් වලදී නොදන් සුපර්චාජර්ස් වෙනුවෙන් T20 Blast හි ද බ්ලාස්ටර් කෙනෙකු බවට පත් විය. විවේකය අවශ්‍ය වන්නේ එසේ මහන්සි වන අයට ය.

‘‘ඔහුට අවශ්‍ය තරම් දිගු නිවාඩුවක් ගන්න පුළුවන්..‘‘ යැයි එංගලන්ත ක්‍රිකට් පිලේ කළමනාකාර අධ්‍යක්ෂ ඈෂ්ලි ගිල්ස් කීවේය.

‘‘පවුලෙන් දුරස් වෙලා සැලකිය යුතු කාලයක් ගත කිරීම, අවම නිදහස වගේ කාරණා ක්‍රීඩකයෙකුට අතිශය අභියෝගාත්මකයි. මෙවැනි පරිසරයක සිටීම ඕනෑම කෙනෙකුට විශාල බලපෑමක් ඇති කරනවා. අනාගතයේදී බෙන් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්නට නැවත එන තෙක් අප බලා සිටිනවා. ඔහුට ඕනෑ තරම් කාලයක් නිවාඩු ගන්න පුළුවන්..‘‘ යැයි නිවේදනයක් නිකුත් කරමින් ඈෂ්ලි ගිල්ස් කියයි.

ඒ අනුව බෙන් ස්ටෝක්ස්, එංගලන්තය වැනි රටක උපන් නිසාම වාසනාවන්තයෙකි. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික සෞඛ්‍යය අන් සියල්ලටම වඩා වැදගත් යැයි සිතන ක්‍රිකට් මණ්ඩලයක් එරට තිබේ.

එංගලන්තයේ තවමත් ක්‍රිකට් යනු, මහත්වරුන්ගේ ක්‍රීඩාව ය. නිවාඩු ගිය පමණින් හෝ ලෙඩ වූ පමණින් ලංකාවේ මෙන් එහි රස්සා නැති නොවේ.

ලංකාවේ කුමාර් සංගක්කාර ද බෙන් ස්ටෝක්ස්ගේ මෙම තීරණයට සහාය දක්වා ඇති ක්‍රිකට් ප්‍රවීණයන් සහ හිතවතුන් අතර වේ. ‘‘එක දිගට වැඩ කළාම නිවාඩුවක් ඕනෙ වෙනවා. ඔහු වටා සිටින හොඳ මිනිසුන්ගේ සහයෝගය ඔහුට අවශ්‍යයි..‘‘

ඔලිම්පික් උළෙලේත් මානසික සෞඛ්‍යය මාතෘකාවක් වෙයි

බෙන් ස්ටෝක්ස් මානසික සුවය පතා මෙසේ නිවාඩු ගන්නේ ජපානයේ තෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ ප්‍රකට චරිත දෙකක් ද මානසික සෞඛ්‍යය වෙනුවෙන් තරග බිමෙන් ඉවත් වන සමයේදී ම ය. එයින් එක් අයෙක් වන්නේ ඇමරිකානු ජිම්නාස්ටික් ශූරී සීමොන් බිල්ස් ය. ඇය අඟහරුවාදා දිනයේ තරගාවලියෙන් ඉවත් වූවාය. ඔලිම්පික් ගිනි සිළුව දැන්වූ ජපන් ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා මෙයට මාසයකට පමණ පෙර, සිය මානසික සෞඛ්‍යය පිළිබඳ සැක සංකා මතු කරමින්, ඩොලර් 15,000 ක දඩයක් ද කමින් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වූවාය.

ඩිප්‍රෙෂන් හෙවත් මානසික අවපීඩනයෙන් පීඩා විඳින අය පවා ‘පිස්සන්‘ ලෙස දකින උමතු ලෝකයක, මානසික සුවය ‘ඇඟේ පතේ අමාරුවක්‘ තරම් සීරියස් නැතැයි සිතන ලෝකයක බෙන් ස්ටෝක්ස්ලා, නයෝමි ඔසාකාලා අපට වැදගත් පණිවුඩයක් ලබා දෙති. ඒ, අවසානයේදී අප කිසිවෙක් ‘දිනන්නට හෝ දුවන්නට තැනූ මැෂින්‘ නොව මිනිසුන් පමණක් බව ය.

previous article:

බෙන් ස්ටෝක්ස් – වීදි මදාවියෙකු ෆීනික්ස් පක්ෂියෙක් වූ හැටි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි