×

නව ලයන් කිංග් චිත්‍රපටයේ එල්ටන් ජෝන් ගීතය බියොන්සේ හා චයිල්ඩිෂ් ගැම්බිනෝ විසින්!

නව ලයන් කිංග් චිත්‍රපටයේ සම්භාවනීය එල්ටන් ජෝන් ගීතය බියොන්සේ හා චයිල්ඩිෂ් ගැම්බිනෝ විසින්!


සදාදරණීය ඩිස්නි සම්භාවනීය ළමා කතාන්දරය, “ද ලයන් කිංග්”, නව චිත්‍රපටයක් ලෙස එළඹෙන ජූලි මස 19 වන දින රිදී තිරයට පැමිණීමට නියමිතය. අප්‍රිකානු සවානා වනයේ ප්‍රයිඩ් පර්වතයේ සිංහ නඩයේ කිරුලට හිමිකම් කීමට බිහිවන සිම්බා නම් සිංහ පැටවා ගේ අනුවේදනීය ජීවිත කතාව දශක දෙකකට අධික කාලයක් පුරා බාල මහළු කාගේත් ප්‍රේක්ෂක හද දිනා ගත්තේ යුගයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ඩිස්නි කතාන්දරය ලෙස නම් කෙරිමිනි.

හොලිවුඩයේ මේ දින වල වැඩිපුරම කතා බහට ලක්වන්නේ නව ලයන් කිංග් චිත්‍රපටය පිළිබඳවය. බොහෝ චිත්‍රපට ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙන්වා දෙන අන්දමට, මෙම සම්භාවනීය ඩිස්නි ළමා කතාන්දරයේ යලි ආගමනය, ඩොලර් ට්‍රිලියනයක ආදායම් වාර්තාවක් තබනු ඇත.

නව ලයන් කිං චිත්‍රපටය මේ දින වල වැඩිපුරම කතා බහට ලක්වීමට තවත් හේතුවක් ඇත. ඒ, මෑතකදී ඩිස්නි සමාගම විසින් නිකුත් කළ වීඩියෝ ක්ලිපයක් නිසාවෙනි. මිනිත්තුවකට අඩු මෙම වීඩියෝ ක්ලිපයෙන් දිස්වන්නේ ද ලයන් කිංග් කතාන්දරයේ වැඩිහිටි නාලා ගේ චරිතයට හඬකවන සුපිරි ගායිකා බියොන්සේ හා වැඩිහිටි සිම්බා ගේ චරිතයට හඬකවන සුපිරි ගායක චයිල්ඩිෂ් බැම්බිනෝ (ඩොනල්ඩ් ග්ලවර්) මුල් චිත්‍රපටයේ එල්ටන් ජෝන් විසින් ගැයූ “Can You Feel the Love Tonight” ගීතයේ ඛණ්ඩයක් ගායනා කිරීමත්, මුල් චිත්‍රපටයේ මුෆාසා ගේ චරිතයට හඬකැවූ ජේම්ස් අර්ල් ජෝන්ස් නම් ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ හඬ පසුබිමින් ඇසීමත් ය.

 ඒ අනුව, මුල් චිත්‍රපටයේ මුෆාසා ගේ චරිතයට හඬ කැවූ ජේම්ස් අර්ල් ජෝන්ස් නව චිත්‍රපටයේ මුෆාසා ගේ චරිතයට ද හඬ කවනු ඇත!

එය ජේම්ස් අර්ල් ජෝන්ස් රසිකයන්ට නෙතට කඳුලක් එක් කළ පුවතකි. මන්ද, එම තත්ත්පර කිහිපයක් වූ වීඩියෝ ක්ලිපයේ මුල් චිත්‍රපටයේ මිය ගිය මුෆාසා ගේ සෙවණැල්ල සිම්බා අහසේ දකින ඓතිහාසික දසුන ප්‍රතිසංස්කරණය කළ දසුනක් ද ඇතුලත් වේ.

Can You Feel the Love Tonight ගීතය කිසිදා අමතක නොවන ප්‍රේම ගීතයකි. එම ගීතයේ සංගීතමය ශ්‍රේෂ්ඨත්වය පසෙක ලූ විට, ගීතයේ වදන් වලින් ගෙන හැර පාන අර්තයේ ඇති සංවේදීබව ආදරය කිරීමට ආදරය විඳීමට කැමති ඕනෑම කෙනෙකු ගේ හද ඩැහැගනු ලබයි.

එල්ටන් ජෝන් විසින් ගැයූ Can You Feel the Love Tonight ගීතය

මෙම තත්ත්පර කිහිපයක් වූ වීඩියෝ ක්ලිපයෙන් හැඟවෙන බොහෝ දේ තිබේ. එනම්, නව ලයන් කිංග් චිත්‍රපටය මුල් කෘතියට හානියක් නොවන අන්දමින්, එහෙත් වඩාත් හැඟීම්බර, සාර්ථක හා ශ්‍රේෂ්ඨ අන්දමින් තිරගත වීමට නියමිත බවත්, අප්‍රිකානු සංස්කෘතියේ අසිරිමත් බව සජීවී මුහුණුවරකින් යලි ආවර්ජනය කිරීමට නියමිත බවත් ය. 

නව ලයන් කිංග් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජොන් ෆේරියු විසින් වන අතර, පිටපත් රචනය ජෙෆ් නේතන්සන් විසිනි. බියොන්සේ, චයිල්ඩිෂ් ගැම්බිනෝ හා ජේම්ස් අර්ල් ජෝන්ස් ට අමතරව, චිවිටෙල් ඉජයොෆෝර්, සෙත් රෝගන්, බිලී එක්නර්, ඇල්ෆ්‍රෙ වුඩර්ඩ්, ජෝන් ඔලිවර් හා කීගන්-මයිකල් කී යන හඬකැවීම් ශිල්පීන් හඬකැවීමෙන් දායක වනු ඇත.

ප්‍රයිඩ් පර්වතයේ අභිමානය, සදා ප්‍රිය සාසු නම් උපදේශකගේ අවසානයක් නොමැති අවවාද, වයසින් මුහුකුරා ගිය රෆිකි ගේ පඬිවදන්, මුෆාසා ගේ ස්කාර් නම් නපුරු සොයුරා ගේ කුමන්ත්‍රණය, ස්කාර් ගේ ෂෙන්සි-බන්සායි-එඩ් නම් ඔලමොට්ටල මැර තුන්කට්ටුව, ලොවක් කඳුලෙන් හැඬවූ මුෆාසා ගේ අවසන් හුස්ම පොද, මරණයෙන් පලා යන සිම්බා පැටවා ගේ ආගමනය, ටිමෝන් සහ පුම්බා නම් හාස්‍යජනක මිතුරන් දෙපළ, සිම්බා-නාලා ප්‍රේම වෘතාන්තය, හා සැවානා වනයේ කිරුලට හිමිකම් කියන සිම්බා නම් රජ නැවත ප්‍රේක්ෂක හද ඉදිරියේ විවර වන්නේ ගත වන සෑම ස්පන්දනයක් ම ඩැහැ ගනිමින් බව නොඅනුමානය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි