×

ඇමරිකා සමුළුවෙන් කියුබාව, වෙනිසියුලාව, නිකරගුවාව හැලෙයි?

මෙවර ඇමරිකා සමුළුවෙන් (SOA) කියුබානු, වෙනිසියුලානු සහ නිකරගුවානු රජයන් ඉවත්කර දැමීමට ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා අවසන් තීරණයක් ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


මෙවර ඇමරිකා සමුළුව මෙහෙයවීමට නියමිතව තිබෙන්නේ එක්සත් ජනපදය විසින් වන අතර, එය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලොස් ඇන්ජලීස්හි දී ය. ජූනි 06 සිට ජූනි 10 දක්වා මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මීට පෙර මෙක්සිකානු රජය විසින් මෙම සමුළුව වර්ජනය කරන බවට නිවේදනය කර තිබුනේ, සාමාජිකත්වය ගන්නා බටහිර අර්ධගෝලයේ සියළු රාජ්‍ය වෙත ආරාධනා කළහොත් පමණක් තම රාජ්‍යය මීට සහභාගී වන බව පවසමිනි.

මෙවර ඇමරිකා සමුළුව එහි සාමාජික රාජ්‍ය විසින් වර්ජනය කිරීමේ අවදානමක් මතුව ඇත. මීට හේතුව වී තිබෙන්නේ මෙවර ඇමරිකා සමුළුව මෙහෙයවන එක්සත් ජනපදය විසින් තම රාජ්‍යය හා ශක්තිමත් සබඳතා පවත්වන රාජ්‍ය වෙත පමණක් එම සමුළුවට ආරාධනා කර තිබීමයි.

ඒ අනුව, බටහිර අර්ධගෝලයේ සියළු රාජ්‍ය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පෙරදැරිකොටගත් ඇමරිකා සමුළුවේ පරමාර්ථය සිඳී යාමේ අවදානමක් බිහිව ඇති අතර, මෙම පසුබිම මත විවිධ රාජ්‍ය මෙවර ඇමරිකා සමුළුව වර්ජනය කරන බවට ප්‍රකාශ කර ඇත.

ඇමරිකා සමුලුව (The Summit of the Americas: SOA) යනු ඇමරිකානු ජනපද සංවිධානයේ (Organization of American States: OAS) රටවල නායකයන් එක්රැස් වී පවත්වන ජාත්‍යන්තර සමුළුවකි. 1959 කියුබානු විප්ලවයෙන් පසු එක්සත් ජනපදයේ බලපෑම මත, ඇමරිකානු ජනපද සංවිධානයෙන් නෙරපා හරින ලද කියුබාව හැර අනෙකුත් සියලු සාමාජික රාජ්‍යයන් සෑම රැස්වීමකටම සහභාගී වී ඇත.

90 දශකයේ මුල් භාගයේදී, පේරු රාජ්‍යයේ දී, නිත්‍ය වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස් වෙළදාමේ මූලධර්ම මත පදනම්ව මෙය ඇමරිකා සමුළුව බවට ප්‍රතිස්ථාපනය විය. ඒ අනුව, කියුබාව 2015 පැනමාවේ පැවති ඇමරිකා සමුළුවට සහභාගී වූ අතර, පසුව 2018 දී පැවැත්වූ සමුළුවට සිය විදේශ ඇමති යවා ඇත. මෙම රැස්වීමේදී අදාළ රාජ්‍යයන් වලට බලපාන විවිධ ගැටළු රැසක් සාකච්ඡා කරනු ලබයි. අර්ධගෝල සහයෝගීතාව (hemispheric solidarity) ශක්තිමත් කිරීම ප්‍රධාන වශයෙන්ම මෙම සමුළුවේ අරමුණයි.

ඇන්ටිගුවා සහ බාබුඩා, ආර්ජන්ටිනාව, බහමාස්, බාබඩෝස්, බෙලිස්, බොලිවියාව, බ්‍රසීලය, කැනඩාව, චිලී, කොලොම්බියාව, කොස්ට රිකා, කියුබාව, ඩොමිනිකා, ඩොමිනිකානු ජනරජය, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්‍රෙනඩා, ග්වාතමාලාව, ගයනාව, හයිටි, හොන්ඩුරාස්, ජැමෙයිකාව, මෙක්සිකෝව, නිකරගුවාව, පැනමාව, පැරගුවේ, පේරු, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්, සුරිනාමය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, එක්සත් ජනපදය, උරුගුවේ සහ වෙනිසියුලාව මෙම සමුළුවේ සාමාජිකත්වය දරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි