×

2023 දී ඇමරිකාවට සරණාගතයන් 125,000 ක්!

2023 මූල්‍ය වර්ෂය සඳහා මානුෂීය මෙහෙයුම් ඉහළ නැංවීමට බයිඩන් ජනපතිවරයාගෙන් යෝජනා..


2023 මූල්‍ය වර්ෂය සඳහා එක්සත් ජනපදයට සරණාගත පුද්ගලයන් 125,000 ඇතුළු කර ගැනීමට එරට ජනපති ජෝ බයිඩන් මහතා නිර්දේශ කර තිබේ.

බයිඩන් ජනාධිපතිවරයාගේ නිර්දේශ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් මහතා ඊයේ (09) දින ප්‍රකාශයට පත්කරන ලදී.

යෝජිත සරණාගත පුද්ගලයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තුළ, 2022 මූල්‍ය වර්ෂය මෙන්ම, 2023 මූල්‍ය වර්ෂය සඳහා ද ගෝලීය මානුෂීය අර්බුදයට විසඳුමක් ලෙස මෙම නිර්දේශ ඇමරිකානු ජනපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත.

ගෝලීය මානුෂීය අර්බුදය මත ලොව වටා අවතැන්ව සිටින ජනතාව මිලියන සියයකට අධික බව ප්‍රයිස් මහතා සිය නිවේදනයේ සඳහන් කළේය.

එමෙන්ම මෙම ගෝලීය මානුෂීය අර්බුදය ආමන්ත්‍රණය කිරීමෙහි ලා එක්සත් ජනපදය උපරිමයෙන් කැපවී වැඩකරන බව ද හෙතෙම අවධාරණය කළේය.

බයිඩන් ජනාධිපති වීමට ප්‍රථම එක්සත් ජනපද ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එක් මූල්‍ය වර්ෂයකට එක්සත් ජනපදයට ගෙන්වා ගන්නා සරණාගත පුද්ගලයන් සංඛ්‍යාව පහලොස්දහස දක්වා කපා හැරියේය. එය ජාත්‍යන්තර සරණාගත වැඩපිළිවෙල තුළ රටට ඇතුළු කරගත් ඉතිහාසයේ අවම පුද්ගලයන් සංඛ්‍යාවයි.

බයිඩන් ජනාධිපති වීමෙන් අනතුරුව ට්‍රම්ප් ගේ නියෝගය අහෝසි කළ අතර, මානුෂීය මෙහෙයුම් සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමට එක්සත් ජනපදය කටයුතු කරන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන 2022 මූල්‍ය වර්ෂය තුළ එක්සත් ජනපදයට ගෙන්වා ගත් සරණාගත පුද්ගලයන් සංඛ්‍යාව 125,000 ට වඩා බෙහෙවින් අඩු අතර, අගෝස්තු 31 වන විට එක්සත් ජනපදයට ගෙන්වා ගත් සරණාගත පුද්ගලයන් සංඛ්‍යාව 19,919ක් බව රජයේ වාර්තා පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි