×

පාසල් ගුරුවරුන් හා පෙළපොත් ‘සංස්කෘතික යුද්ධ’ වල ඉලක්ක කරගන්න එපා, ඇමරිකානු ජනපති කියයි

සංස්කෘතික කරුණු යොදාගනිමින් පාසල් ගුරුවරුන් අසාධාරණ ලෙස ඉලක්ක කිරීම එක්සත් ජනපදය තුළ සිදුවන බවත්, මෙම කරුණ මත පාසල් පෙළපොත් තහනම් කිරීම පවා සිදුවන බවත් ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා පවසයි.


ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) දින ඇමරිකානු ධවල මන්දිරයේ පැවති වසරේ ජාතික සහ රාජ්‍ය ගුරු සම්මාන උළෙල (National and State Teachers of the Year award ceremony 2022) අමතමිනි.

දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පාසල් ගුරුවරුන් හා පෙළපොත් ‘සංස්කෘතික යුද්ධ’ වල ගොදුරු බවට පත් වන බවත් මෙය වහා නතර විය යුතු බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ටෙක්සාසයේ සිට ටෙනෙසි දක්වා වූ රිපබ්ලිකන් බලය හිමි ජනපද වල නීති සම්පාදකයන් විසින් අනුමත කරගන්නා නීති හරහා විවිධ පාසල් පෙළපොත් තහනම් කිරීමට කටයුතු කර ඇති බවත්, ඒ ඔස්සේ ඇතැම් සමාජ සංවාද පාසල් අධ්‍යාපනය තුළ ඉගැන්වීම නතර කර දැමීමට ඔවුන් කටයුතු කර ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ඇමරිකානු ගුරුවරු එරට දරුපරපුරට ඉගැන්වීමට හා ඔවුන් ඔසවා තැබීමට තම ජීවිතය කැප කර ඇති බවත්, ඔවුන් සංස්කෘතික යුද්ධ වල ඉලක්ක බවට පත්කිරීම නතර කළ යුතු බවත් බයිඩන් මහතා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම, වර්ගවාදය, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී (LGBTIQ) ප්‍රජාවට බලපාන ගැටළු ආදී කරුණු ඇතුළත් මාතෘකා දහසකට අධික ප්‍රමාණයක් ඇමරිකාව පුරා පාසල් පෙළපොත් හා පුස්තකාල වලින් මෙසේ ඉවත් කර තිබෙන බවට වාර්තා වෙයි.

ඒ අනුව යම් පාර්ශවයකගේ දේශපාලන න්‍යාය පත්‍රය හා නොගැළපීම මත අධ්‍යාපනය ලබා දෙන පෙළපොත් විනාශ කර දැමීම හෝ තහනම් කර දැමීම අනුමත කළ නොහැකි බවයි බයිඩන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි