×

දේශගුණික අර්බුදය ට මුහුණ දීමට බයිඩන් මහත්තයා බරටම වැඩ

දේශගුණික අර්බුදය ආමන්ත්‍රණය කිරීම යනු රැකියා උත්පාදනයක් සිදුවීම හා සමපාත වන ක්‍රියාදාමයක් බවටයි බයිඩන් විශ්වාස කරන්නේ.


මීට ඉහත දී ඇමරිකාවේ නව ජනපති ජෝ බයිඩන් මහතා දේශගුණික අර්බුදය ඉලක්ක කර ගනිමින් වැඩපිළිවෙල රාශියක් දියත් කිරීමට සූදානම් වන අයුරු පහැදිලි කළා මතක ඇති.

හිටපු ජනපති ට්‍රම්ප් ට දේශගුණික අර්බුදය විහිළුවක් වුනත්, බයිඩන් නම් සෑහෙන්න බරපතල විදියට මේ ගැන හිතන්න පටන් අරන් වගේ.

බයිඩන් මහතා මේ වන විට ඇමරිකානු රජය සතු ඉඩම් වල තෙල් හා වායු කැණීම් සිදුකිරීම තහනම් කිරීමටත්, රජය සතු ගොඩබිම හා සාගර කලාපයන්ගෙන් තුනෙන් එකක් 2030 වන සංරක්ෂණය කිරීමටත් පියවර ගෙන අවසන්.

ඒ විතරක් නෙවෙයි, තැපැල් සේවාව, හමුදා සේවාව ඇතුළු රජය භාවිතා කරන ඉන්ධන දහනයෙන් ධාවනය වන එන්ජින් සහිත සියළු වාහන ඉවත් කිරීමටත්, ඒ වෙනුවට බැටරි බලයෙන් ධාවනය වන වාහන ලබා ගැනීමටත් ඔහු කටයුතු කර තිබෙනවා.

බයිඩන් මහතා දේශගුණික අර්බුදය සම්බන්ධයෙන් වෙනත්ම ප්‍රවේශයක් ගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා.

දේශගුණික අර්බුදය ප්‍රභල ලෙසම බලපාන ක්ෂේත්‍රයක් වන්නේ කෘෂිකර්මය. මේ ගැන මීට පෙරත් අපි කතා කළා ඔබට මතක ඇති. ජෝ බයිඩන් එක්සත් ජනපදයේ ගොවීන් සඳහා නව දේශගුණික හිතකාමී ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කොට තිබෙන බව වාර්තා වනවා.

කෘෂිකාර්මික ප්‍රජාව මෙන්ම කාර්මික කටයුතු  නිසා හටගන්නා පරිසර දූෂණ ක්‍රියාවලීන් ගෙන් පීඩා විඳින අඩු ආදායම්ලාභී හා ජන වාර්ගිකත්වය මත ආන්තිකරණයට ලක්වන පුද්ගලයින් හට සම්පත් වෙන් කිරීම ද ඔහු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ලන්ඩන් ගාඩියන් පුවත්පත සඳහන් කරන අන්දමට බයිඩන්ගේ ෆෙඩරල් ප්‍රතිපත්තියෙන් ආයතන 21 ක් ම වෙන්කර තිබෙන්නේ පරිසර සංරක්ෂණය වෙනුවෙන්.

දේශගුණික අර්බුදයට ප්‍රභල ලෙස ම හේතුවන මිනිස් ක්‍රියාකාරකම් මත හටගන්නා වායු විමෝචනය පසුගිය වසර තුළ ඇමරිකාවේ 10% කින් පමණ අඩුවූ බව වාර්තා වනවා. හැබැයි ඒ බයිඩන්ගේ පූර්වගාමියා වන ට්‍රම්ප් ගෙ කෙරුවාවක් නිසා නම් නෙවෙයි, කොවිඩ් වසංගතයත් සමඟ මිනිසුන් නිවසට කොටුවීම නිසා.

දේශගුණික අර්බුදය තුළ තිබෙන විද්‍යාව පිළිනොපැදීමට කටයුතු කළ නායකයෙක් ට්‍රම්ප්. ඔහු කර්මාන්ත ආශ්‍රිත ෆොසිල ඉන්ධන දහනයට බෙහෙවින් උර දුන්නා; පෙට්‍රෝලියම් අපනයනයේ ප්‍රධානියා වන්නට මහත් පරිශ්‍රමයක් දැරුවා.

Biden halted the Keystone XL oil pipeline project amid backlash | Photo: PBS

ආර්ථිකය හා පාරිසරික ගැටළුවට මැදිවූ බයිඩන්!

උග්‍ර පාරිසරක හානීන් සිදුවන විවිධ ව්‍යාපෘති වලට අත ගැසුවා. බයිඩන් ගේ පදවි ප්‍රාප්තියෙන් පසු මේ සියළු ව්‍යාපෘතීන් නතර කළා.

විශේෂයෙන්ම කීස්ටෝන් එක්ස්එල් තෙල් නල පද්ධතිය ඉදිකිරීම. කැනඩාවේ සිට ඇමරිකාව දක්වා තෙල් පරිවහනය කරන එම ව්‍යාපෘතිය බයිඩන් නතර කිරීමට කටයුතු කිරීම නිසා රිපබ්ලිකන්වරු මෙන්ම විවිධ වෘත්තීය සමිතින් ගෙන් ප්‍රභල විරෝධයක් එල්ල වූවා.

ඒ එම ව්‍යාපෘතීන් ආශ්‍රිතව සේවය කළ පුද්ගලයින් ට රැකියා අහිමිකළ බව චෝදනා කරමින්.

නමුත් බයිඩන්ගේ තර්කය වූයේ  තෙල් හා වායු පද්ධතීන් ඉදිකිරීම වෙනුවට ජල, මාර්ග හා බලශක්ති යටිතල පහසුකම් ආශ්‍රිත ව්‍යාපෘති දියත් කිරීම තුළින් මිලියන ගණනකට රැකියා උත්පාදනය කළ හැකි බවයි.

එය පාරිසරික හා රැකියා යන අර්බුද දෙකටම පිළියම් සෙවීමක් බවටයි බයිඩන් තර්ක කළේ.

ඒ අනුව දේශගුණික අර්බුදය ආමන්ත්‍රණය කිරීම යනු රැකියා උත්පාදනයක් සිදුවීම හා සමපාත වන ක්‍රියාදාමයක් බවටයි බයිඩන් විශ්වාස කරන්නේ.

කොවිඩ් වසංගතය නිසා ගෝලීය ආර්ථිකය කඩා වැටී තිබෙන මේ මොහෝතේ සංවර්ධනය ට ප්‍රමුඛතාව ලබා දීම වැදගත් බව මම පිළිගන්නවා.

නමුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත් කළ ද ඉන් සිදුවන්නේ පරිසරයට ප්‍රභල හානියක් නම්, හුස්ම ගන්නට වායුගෝලයක් වත් ඉතුරු නොවූ මහපොළවක කුමක් සංවර්ධනය කරන්න ද?

ට්‍රම්ප් අනුගමනය කළ පාරිසරික ප්‍රතිපත්තිය සමඟ ඔබට කෙසේවෙතත් මට බරපතල ගැටළුවක් මතුවන්නේ මෙන්න මෙතන දී.

ඉකුත් වසර දෙකක කාලය තුළ ඇමරිකාවේ හටගත් ලැව්ගිනි සහ සුළිකුණාටු නිසා සිදුවූ පරිසර විනාශයන්, අහිමි වූ ඩොලර් බිලියන ගණනක් වූ රාජ්‍ය අරමුදල් අරඹයා ජනතාව අවදි වූ බවක් දක්නට තිබෙනවා. දේශගුණික විපර්යාස ගැන විශාල කතිකාවක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා.

වඩාත් වැදගත් වන්නේ ආපදා කලමනාකරණය කිරීමද, අනාගත ආපදා වළක්වා ගැනීම ද?

ට්‍රම්ප් පරිපාලනය විසඳුම් සෙවීමට අසමත් වූ කරුණ මෙය බවයි මගේ අදහස.

බයිඩන් හඳුන්වා දෙන දේශගුණික ප්‍රතිපත්තිය සුවිශේෂී යැයි මා හඳුන්වන්නේ මෙම හේතුව නිසා. එය සෛද්ධාන්තිකව බැලුවොත් ආර්ථිකය මෙන්ම පරිසරය ද රැක ගැනීමට උර දෙනවා.

ඉතින් බයිඩන් ට එය ක්‍රියාවට නැංවීමට අවස්ථාව ලබා දිය යුතු බවයි මගේ හැඟීම.

බයිඩන් සඳහන් කරන්නේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2ක් පරිසර හිතකාමී බලශක්ති ව්‍යාපෘතීන් සඳහා වෙන්කළ යුතු බවත්, ඉන් මිලියන ගණනකට රැකියා උත්පාදනය වනු ඇති බවත්.

එළඹෙන වසර 15 ක කාලය ඉලක්ක කරගෙන කාබන් විමෝචනය 0% ට පහත දමා සූර්ය හා සුළං ජනිත ශක්තිය නිශ්පාදනය කිරීමට ප්‍රභවයන් වෙත යොමු විය යුතු බවට බයිඩන් මහතා යෝජනා කරනවා.

ඒ අනුව අනාගත පරම්පරාවන්ගේ ගෘහස්ත විදුලි පරිභෝජනය මුළුමනින්ම ස්වභාවික ශක්ති ප්‍රභවයන් හා බැඳි පරිසර දූෂණයෙන් තොර සංවර්ධනයකට යාමයි බයිඩන් ගේ සැලැස්ම.

Biden with John Kerry, his new Climate Envoy | Photo: GETTY

බයිඩන් ගේ සැලසුම් ගැන රාජ්‍ය තාන්ත්‍රිකයින් විශ්වාසයෙන්

මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන් ගේ පරිපාලනයේ පාරිසරික සංරක්ෂණ ඒජන්සියේ හිටපු නියාමකවරිය වූ කැරොල් බ්‍රව්නර් මෙසේ අදහස් දක්වා තිබෙනවා;

“මේ එළඹ තිබෙන්නේ දේශගුණික ක්‍රියාකාරකම් සඳහා වූ අලුත් ම යුගයක්. ජනපති ජෝ බයිඩන් පෙර නොවූ විරූ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් දේශගුණික අර්බුදය ආමන්ත්‍රණය කිරීම සඳහා එක්සත් ජනපදය මැදිහත් කරවීම ලෝකයට ම අමතක නොවන පණිවුඩයක් ලබා දේවි.”

වසර ගණනක් පුරා දේශගුණික අර්බුදය මඟ හැර යාමට එක්සත් ජනපදය කටයුතු කර තිබූ වාතාවරණයක් තුළ බයිඩන් පරිපාලනය යටතේ නැවත ඒ කෙරේ අවධානය යොමු කිරීම නිසා කොංග්‍රසය යළි අවදි වනු ඇති බවට පැරිස් දේශගුණික ගිවිසුමේ ප්‍රධාන එක්සත් ජනපද නියෝජිත වන ටොඩ් ස්ටර්න් මහතා පවසා තිබෙනවා.

“වසංගත තත්ත්වයකින් මිනිසුන් උවමානවටත් වඩා පීඩා වින්දා. ඔවුනට කැපකිරීම් සිදුකරන ලෙස අප ඉල්ලා සිටින්නේ නැහැ. මධ්‍ය ඇමරිකාවේ ජනහද දිනා ගැනීමට අප අසමත් වූවහොත්, අපට සියළු දෙය නැතිවී යාවි.”

එසේ පැවසුවේ බයිඩන් මහතා ගේ නව දේශීය දේශගුණ උපදේශිකා ජිනා මකාර්ති.

බයිඩන්ගේ දේශගුණික කටයුතු නියෝජිත ජෝන් කෙරී මෙසේ පවසනවා;

“මිතුරනි, අපි දැනටමත් මේ සඳහා මුදල් වියදම් කරමින් සිටිනවා. දේශගුණික අර්බුදයට මුහුණ දීම එය නොසලකා හැර යාමට වඩා ලාභදායී යි. මෙය ජීවිතයත් මරණයත් අතර පවතින්නක්; අපගේ සමාජයේ කොඳුනාරටියට බලපාන අභියෝගයක්. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තිබෙන අවදානමේ හිනිපෙත්තට අප ඇවිත් තිබෙනවා. මෙය අසමත් වීම කිසිසේත්ම විකල්පයක් වන්නේ නැහැ.”

අය වැය තුළ දේශගුණික ප්‍රතිචාරය සඳහා වෙන්කරන අරමුදල් ප්‍රමාණවත් වනු ඇති බවට ඩිමොක්‍රටික සෙනට් සභික චක් ෂුමර් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දේශගුණික අර්බුදය අරඹයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට බයිඩන් කටයුතු කරන්නේ නම් මෙම ගැටළුවට විසඳුම් සෙවීම තවත් කාර්යක්ෂම වනු ඇති බවයි.

“ට්‍රම්ප් මෙම හදිසි තත්ත්වය යොදාගත්තේ මෝඩ තාප්පයක් ඉදිකරන්න.. එය හදිසි තත්ත්වයක් නොවෙයි.. නමුත් දේශගුණික අර්බුදය පහැදිලිවම හදිසි තත්ත්වයක්..”

ෂුමර් වැඩිදුරටත් පැවසුවා.

Alexandria Ocasio-Cortez in Green New Deal Campaign: Photo: New York Times

ලේබල් ඉවත් කරන බයිඩන්!

නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කොර්ටෙස් සහ සෙනට් සභික එඩ් මාර්කි විසින් දේශගුණික අර්බුදය හා ආර්ථික අස්ථායීතාව ආමන්ත්‍රණය කළ ග්‍රීන් නිව් ඩීල් සංකල්පය බයිඩන් විසින් බැහැර කර තිබෙනවා.

ඒ ග්‍රීන් නිව් ඩීල් හි දෝශයක් නිසා නොවෙයි. ලේබල් වලට සීමා වීමට බයිඩන් දක්වන අකමැත්ත නිසා. ග්‍රීන් නිව් ඩීල් හි අර්තය වඩාත් පුළුල් වැඩපිළිවෙලක් වෙත් යොමු කිරීමයි බයිඩන් ගේ ඉලක්කය.

දේශගුණික අර්බුදය නිර්දේශපාලනීකරණය කිරීමේ අරමුණින් ලු බයිඩන් එසේ ක්‍රියා කර තිබෙන්නේ.

ග්‍රීන් නිව් ඩීල් වෙනුවට සිවිල් වාසී හා දේශගුණික හිතෛශී භූමි වෙන්කිරීම සහ ජලපද්ධතීන් නඟා සිටුවීම බයිඩන්ගේ සැලැස්මයි.

General Motors plan to manufacture 0% Carbon Emission cars in 2035 | Photo: The National

බයිඩන් ගේ සැලැස්ම ඉදිරියේ පාරිසරික සතුරන් ද දණින් වැටෙන ලකුණු

එක්සත් ජනපද කොංග්‍රසයේ රිපබ්ලිකන් පාර්ශවයෙන් ජෝ බයිඩන් මහතා ට දිගින් දිගටම විරෝධතා දියත් වේවි. නමුත්, දේශගුණික අර්බුදය ආමන්ත්‍රණය කිරීම අරඹයා එදිරිවාදිකම් කරන තවත් පාර්ශවයන් ඇමරිකාවේ සිටින බවයි වාර්තා වෙන්නේ.

මොවුන් බයිඩන් ගේ සැලැස්ම ඉදිරියේ සිය ප්‍රතිපත්තීන් වෙනස් කර ගැනීමට සූදානම් බවක් දක්නට ඇති බව ලන්ඩන් ගාඩියන් පුවත්පත සඳහන් කරනවා.

ලොව විශාලතම ආයෝජකයා යැයි සැලකෙන ආයතනය වන බ්ලැක්රොක් විසින් පරිසර දූෂක ආයතන සතු කොටස් විකුණා දැමීමට කටයුතු කරන බවට පවසා තිබෙනවා.

එක්සත් ජනපද වාණිජ මණ්ඩලය විසින් කාබන් සඳහා මිලක් නියම කිරීමට සහාය වන බව පවසා තිබෙනවා.

ජෙනෙරල් මෝටර්ස් සමාගම විසින් 2035 වර්ෂයෙන් ඔබ්බට කාබන් විමෝචනය ශුන්‍ය මෝටර් රථ පමණක් නිශ්පාදනය කරන බවට නිවේදනය කර තිබෙනවා.

මෙහෙම ලිපි ලියලා ඇමරිකාවේ ඩිමොක්‍රටික්වරුන් සුද්ධ කිරීමටත්, රිපබ්ලික්වරුන් පතුරු ඇරීමටත් මට තිබෙන රුදාව මොකද්ද කියලා ඔබ මගෙන් අහයි.

ගෝලීය අර්බුදයක් වන දේශගුණික අර්බුදය ගැන ලියන එක කාවවත් සුද්ධ කිරීමක් විදියට මම සලකන්නේ නැහැ. අපට තාම දේශගුණික අර්බුදයේ අන්තරායන් දැනෙන්නට පටන් අරන් නැහැ. ඒකයි එහෙම හිතෙනවා ඇත්තේ.

ලෝක බලවතුන් මෙම ගැටළුවට සංවේදී වන ආකාරය ඒ ඒ රටට පමණක් නොවෙයි, මුළුමහත් ලෝකයටම බලපාන බව කිව යුතුයි. මේ අර්බුදය ගැන ඇමරිකාවේ රිපබ්ලික්වරුන් මෑත ඉතිහාසය තුළ සිදුකළ කිසිවක් නැහැ; ඉතාම සැහැල්ලුවෙන් බැහැර කර දැමුවා.

මෙම ගෝලීය අර්බුදයට විසඳුම් සෙවීමට ඩිමොක්‍රටික්වරුන් විසින් අලුත් දෙයක් ආරම්භ කර තිබෙනවා.. එය අගය කළ යුතු වන්නේ නැත්ද?

ලංකාව වැනි පුංචි දිවයිනකටත් දේශගුණික අරගලය ළඟදීම දැනෙන්න පටන් ගනීවී. ඊට කලිං හිතන්නට යමක් ඉතිරි කර යාමයි මගේ අරමුණ..

ප්‍රමෝද් චින්තක පීරිස්

(තොරතුරු සොයා ගත්තේ ද ගාඩියන් පුවත්පතේ පළවූ Dizzying pace of Biden’s climate action sounds death knell for era of denialism නම් වාර්තාවෙන්)

පෙර ලිපි:

දේශගුණික අර්බුදය: ඇමරිකාවේ ඇස් දැන්වත් ඇරෙයි ද?

පෘථිවිය තවත් මහා වඳවීමේ සිදුවීමක අද්දර සිටින බව ඩේවිඩ් ඇටෙන්බරෝ අනතුරු අඟවයි

දියවන අයිස් තට්ටු ලෝකය ගිල ගනී ද?

බයිඩන් පැරිස් දේශගුණික සම්මුතිය සමඟ නැවත එක්වෙයි – තාප්පය නතර වෙයි – මුස්ලිම් තහනමත් ඉවතට!

උන්මත්තකයකු ට රටක් පාලනය කළ හැකි ද? පෝල් මකාර්ට්නිත් මා සමඟ එකඟයි!

ලෝකය බේරාගන්නට තව වසර 20යි! ඉලක්කය : හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කිරීම



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි