×

රුධිරය පරිත්‍යාග කිරීමට එංගලන්තයේ පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින්ට පනවා තිබූ තහනම ඉවතට!

බ්‍රිතාන්‍යයේ එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් හි රුධිරය පරිත්‍යාග කිරීම සඳහා ලිංගික වශයෙන් සක්‍රිය පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් හෙවත් MSM (Men who have Sex with Men) ප්‍රජාවන් හට පනවා තිබූ තහනම අර්ධ වශයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වේ.


බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා (NHS) රුධිර පාරවිලයන සහ බද්ධ කිරීමේ අංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රුධිර පාරවිලයනය සඳහා පැමිණෙන පුද්ගලයින් පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් යැයි හඳුනා ගන්නේ නම් පාරවිලයනට පෙර සිදුකරන මූලික පරීක්ෂා වලදී ඔවුන් ඉවත් නොකරන ලෙසටයි.

ඒ අනුව, ඔවුන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් නොවී ලිංගික සක්‍රියතාව සහ මෑත කාලීනව පැවැත්වූ ලිංගික සබඳතා මත පදනම්ව පමණක් රුධිර පාරවිලයනයට සුදුසු ද නැත් ද යන්න පුරෝකථනය කරන ලෙසට NHS රුධිර පාරවිලයන සහ බද්ධ කිරීමේ අංශය සියළු සෞඛ්‍ය අංශ වලින් ඉල්ලා සිටී.

ඒ අනුව, සමරිසි සහ ද්වීරිසි අනන්‍යතාවයක් දරන පිරිමින්ට පාරවිලයනයට පෙර මාස තුනක ඉතිහාසය තුළ එක් ලිංගික සහකරුවකු පමණක් සිටියේ නම් පාරවිලයනයට සුදුසු බවට තීරණය කරනු ලබයි.

මීට ඉහත බ්‍රිතාන්‍යයේ ජාතික එච්අයිවී/ඒඩ්ස් වැඩසටහන තුළ රුධිරය පරිත්‍යාග කිරීම පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් හට සම්පූර්ණයෙන් තහනම් කොට තිබිණි. ඒ බ්‍රිතාන්‍යය තුළ පැවති ඒඩ්ස් වසංගත තත්ත්වය සමඟ බොහෝ අවස්ථාවන් හීදී එච්අයිවී ව්‍යාප්ත වීමේ රටාවන් MSM ප්‍රජාවන් අතර සුලභව දක්නට තිබූ පසුබිමක් තුළය.

මෙම තහනම 2011 වර්ෂයේදී යම් සංශෝධනයකට ලක්වූ අතර, එමඟින් සමරිසි සහ ද්වීරිසි පරිමින් හට ගතවූ මාස 12 තුළ කිසිදු ලිංගික සබඳතාවයක් පවත්වා නොමැති නම් පමණක් රුධිරය පරිත්‍යාග කිරීමට අවසර ලබා දී තිබිණි. එම ප්‍රතිපත්තිය 2017 වර්ෂයේදී නැවත වරක් සංශෝධනය වූ අතර, එමඟින් පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් ගතවූ මාස තුනක කාලය තුළ කිසිදු ලිංගික හැසිරීමක් දක්වා නොමැති නම් රුධිරය පරිත්‍යාග කිරීමට හැකි තත්ත්වය දක්වා ලිහිල් විය. එහෙත් මෙහිදී ද මුළු ජීවිත කාලය තුළම එක් සහකරුවකු සමඟ පමණක් ගත කළ (monogamous) ලිංගිකව සක්‍රිය MSM පිරිමින් හට ද රුධිරය පරිත්‍යාග කිරීමට තහංචි පැනවී තිබිණි.

ඒ අනුව විවිධත්වයට ගරු කරන තවත් එක් පියවරක් ඉදිරියට තබමින් ඊයේ (14) දින බ්‍රිතාන්‍යය විසින් ගනු ලැබූ මෙම තීන්දුව හරහා MSM ප්‍රජාවන්ට රුධිරය පරිත්‍යාග කිරීම සඳහා ඇති අයිතිය තවදුරටත් තහවුරු කරන ලදී.

MSM යනු බොහෝ රටවල ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහන් නිර්දේශපාලනික (depoliticisation) කිරීමේ අරමුණින් යුතුව භාවිතා කරනු ලබන වෛද්‍ය විද්‍යාත්මක පදයකි. මෙම කාණ්ඩය තුළින් පුරුෂ පාර්ශවය සමඟ ලිංගිකව හැසිරෙන ඕනෑම පුරුෂයකු සැලකිය හැකි අතර, එය සමරිසි හෝ ද්වීරිසි පිරිමින් හට සීමා නොවේ. මෙම කාණ්ඩයන් තුළ විෂමරිසි හෙවත් හෙටෙරොසෙක්ෂුවල් පිරිමින් පවා සිටිය හැකිය.

බොහෝ රට වල ජාතික ලිංගාශ්‍රිත රෝග නිවාරණ වැඩසටහන් තුළ MSM යනු එච්අයිවී වැනි ආසාදන සඳහා අධිඅවදානමක් සහිත ප්‍රජාවක් ලෙසට සලකනු ලබයි. මීට පදනම වී තිබෙන්නේ ඔවුන්ගේ ලිංගික සක්‍රියභාවය සහ ලිංගික චර්යාවන්ගේ ස්වභාවයන් ය. කෙසේවෙතත්, ලිංගික සක්‍රියභාවය සහ විවිධ ලිංගික චර්යාවන් ආකාර දැක්වීම මත පුරුෂයින් සමඟ ලිංගිකව හැසිරෙන පුරුෂයින් පමණක් මෙසේ කාණ්ඩ කළ හැකිද යන්න පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් පවතී.

MSM පුද්ගල කාණ්ඩ අතර සිදුවන අවදානම් සහගත ලිංගික ක්‍රියාවන් හේතුවෙන් එච්අයිවී ඇතුළු ලිංගිකව සම්ප්‍රේශණය වන ආසාදන ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇතිය යන පදනම මත සමරිසි ප්‍රජාව කෙරේ විශාල වශයෙන් වෙනස්කොට සැලකීම් සහ කොන්කොට සැලකීම් බොහෝ රටවල සිදුවේ. සමරිසි ප්‍රජාව, සහ පොදුවේ එල්ජීබීටී ප්‍රජාව ඉලක්ක කරගත් අපකිර්තිය ප්‍රවර්ධනය කිරීමෙහි ලා මෙම කරුණ යොදා ගැනීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බවටයි මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි