×

කොවිඩ් සහ එච්අයිවී ගැන බොරු කියූ බොල්සොනාරෝට වැඩ වරදී! සමාජ මාධ්‍ය තහනමක්!

ඉකුත් ඔක්තෝබර් 21 වන දින බ්‍රසීලයේ ජනපති ජෙයර් බොල්සොනාරෝ සම්බන්ධ වූ සජීවී වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කර දැමීමට ෆේස්බුක් (දැන් මෙටා) සහ යූටියුබ් සමාගම කටයුතු කර තිබේ.


මීට ප්‍රධාන හේතුව වන්නේ ඔහු එම වීඩියෝ පටය තුළ එච්අයිවී සහ කොවිඩ් සම්බන්ධ බරපතල අන්දමේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකිරීමයි.

මෙම වීඩියෝ පටය තුළ බොල්සොනාරෝ පවසන්නේ කොවිඩ් සඳහා ලබා දෙන එන්නත ගැනීම හරහා ‘ඒඩ්ස්’ වර්ධනය විය හැකි බවයි.

මෙම ප්‍රකාශයත් සමඟ අදාළ වීඩියෝ පටය තහනම් වූවාට අමතරව සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමේ වරදට බොල්සොනාරෝ ට දින හතක සමාජ මාධ්‍ය තහනමක් ද යූටියුබ් සමාගම විසින් පනවා තිබේ.

සෞඛ්‍ය අධිකාරිය විසින් අනුමත කරන ලද කොවිඩ් එන්නත් පුද්ගලයන්ට භාවිතයට සුදුසු බවත්, එච්අයිවී සමඟ ජීවත් වන ප්‍රජාවට පවා කොවිඩ් එන්නත ලබා ගැනීම ඉතා ආරක්ෂාකාරී බවත් එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC), එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය (Public Health England) හා ඒකාබද්ධ එක්සත් ජාතීන්ගේ එච්අයිවී හා ඒඩ්ස් වැඩසටහන (UNAIDS) විසින් ද තහවුරු කර තිබේ.

කොවිඩ් එන්නත ලබා ගැනීම ‘ඒඩ්ස්’ උඩුදිව යාමට හේතුවක් බව බොල්සොනොරෝ සජීවී වීඩියෝ පටයක පවසයි

බොල්සොනාරෝ නූතන වෛද්‍ය විද්‍යාවට අභියෝග කළ පළමු අවස්ථාව මෙය නොවේ. කොවිඩ් ආසාදනය යනු සරල සෙම්ප්‍රතිශ්‍යාවක් බවට වරක ඔහු ප්‍රකාශ කළේය. කොවිඩ් වසංගතය තුළ එන්නත් ලබා ගැනීම ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

එමෙන්ම කොවිඩ් වෛරසයට බිය නොවන ලෙසත්, කොවිඩ් යනු “සරල සෙම්ප්‍රතිශ්‍යා” තත්ත්වයක් බවත්, එය කොපමණ කුඩා ද කිවතොත් රටක සිටින “පොන්නයින් ගණන” (country of faggots) මෙන් බවත් බොල්සොනාරෝ වරක පැවසීය. තමාගේ “පිරිමිකම ඉහළ” බැවින් තමාට කොවිඩ් ආසාදනය නොවන බව ද ඔහු අභියෝග කළේය. කෙසේ වෙතත් බොල්සොනාරෝ ට කොවිඩ් ආසාදනය වීම සිදුවිය.

මීට අමතරව මුහුණු ආවරණ පැළඳීම ද ප්‍රතික්ෂේප කරන බ්‍රසීල ජනපති බොල්සොනාරෝ පවසන්නේ මුහුණු ආවරණ පැළඳීම සමලිංගික ලක්ෂණයක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි