×

HIV සහ AIDS අතර වෙනස දන්නේ නැති එංගලන්තේ අගමැති.. අපි නම් එහෙම නෑ නේද යාලු!

බ්‍රිතාන්‍යය තුළ කොවිඩ් වසංගතයට එරෙහිව එන්නත්කරණය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සිදුකළ කතාවකදී එච්අයිවී ආසාදනය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරක් ගම්‍ය වෙන අන්දමේ ප්‍රකාශයක් සිදුකර තිබේ.


මෙම ප්‍රකාශයත් සමඟ බොහෝ එච්අයිවී ඇතුළු ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ විරෝධය පෑම ආරම්භ වී තිබේ.

ඉකුත් ඔක්තෝබර් 19 වන දින ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් 200 දෙනෙකු ගෙන් යුතු ග්ලෝබල් ඉන්වෙස්මන්ට් සමිට් නම් සමුළුවේදී බ්‍රිතාන්‍යය තුළ කොවිඩ් එන්නත්කරණය වැඩිදියුණු කිරීම පිළිබඳව අදහස් දැක්වූ බොරිස් ජොන්සන් මහතා තවමත් ලොව “ඒඩ්ස් සඳහා එන්නතක් සොයාගෙන නොමැති” බව ප්‍රකාශ කර තිබේ.

“ඒඩ්ස් සඳහා එන්නතක් තවමත් අප සතුව නැහැ, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාරයක් අප සතුව නැහැ. නමුත් වසරක කාලයක් තුළ, සම්ප්‍රේෂණය කිරීමේ අද්විතීය හැකියාවක් සහිත මෙම මාරාන්තික නව වෛරසය වූ COVID-19 ට එරෙහිව සන්නාහ කට්ටලයක් නිර්මාණය කිරීමට අපගේ විශේෂඥයන් සමත් වූවා. එය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතිනවා,” බොරිස් මහතා පැවසුවේ එවැන්නකි.

එච්අයිවී ආසාදනය සාවද්‍ය ලෙස අර්තනිරූපණය කිරීම බොරිස් ජොන්සන් මහතා චේතාන්විතව සිදුනොකරන්නට ඇත. එහෙත් මේ ඔහු එච්අයිවී සහ ඒඩ්ස් අතර පවතින වෙනස පටලවා අදහස් පලකළ පළමු අවස්ථාව ද නොවේ. ඉකුත් අප්‍රේල් මාසයේදී ද ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කොවිඩ් පිළිබඳ අදහස් දැක්වීමේදී කොවිඩ් සඳහා එන්නත් සොයාගැනීම ඉතා වේගවත් ව සිදුවූ බවත් “සාර්ස් හෝ ඒඩ්ස් හෝ මොනවා හෝ රෝග” සඳහා තවමත් එන්නත් නොමැති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ඇතැමුන් තර්ක කරන්නේ කොවිඩ් සඳහා එන්නත් සොයා ගැනීම ඉතා උසස් ක්‍රියාවක් බව පෙන්වා දෙන බොරිස් ජොන්සන් මහතා එච්අයිවී/ඒඩ්ස් “මොනවා හෝ රෝග” යැයි වර්ගීකරණය කිරීම තුළින් ම පෙන්වන්නේ එච්අයිවී ආශ්‍රිත සමාජ අපකීර්තීන් වල හරස්කඩක් බවයි.

එච්අයිවී යනු මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයි (human immunodeficiency virus) එය මිනිස් සිරුරට ඇතුළු වීම සමඟ සිරුරේ නිශ්චිත සුදුරුධිරාණු (CD4) සෛල වර්ගයකට පහර දීම සිදුවන අතර, එමඟින් දේහයේ ආගන්තුක ද්‍රව්‍ය සඳහා ගොඩනැඟෙන ප්‍රතිශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය අඩපණ කිරීම සිදුවේ. එච්අයිවී යනු රෝගී තත්ත්වයක් නොවන අතර හුදෙක්ම වෛරසයකි.

ඒඩ්ස් යනු නතුකරගත් මානව ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණයයි (acquired immune deficiency syndrome). ඒඩ්ස් යනු අර්තයන් ගණනාවක් දක්වා දිව යන වචනයක් වන අතර, මෙම වචනය යොදාගැනෙන්නේ පෙර කී වෛරසය සිරුරේ CD4 සෛල විනාශ කිරීම මත සැලකිය යුතු මට්ටමක යම් අනුපාතයක් දක්වා එම සෛල රුධිරයේ පහළ දැමූ විට (රුධිර ඝන මිලිමීටරයකට සෛල 200 ක ටත් වඩා අඩුවූ විට) හඳුන්වන තත්ත්වයයි. මෙහිදී ඒඩ්ස් තත්ත්වය මත ක්ෂය රෝගය, නිව්මෝනියාව, පිළිකා තත්ත්ව වගේ වෙනත් විවිධ රෝගී තත්ත්වයන් හට ගැනීමට වැඩි ඉඩකඩක් තිබෙන අතර, ඊට හේතුව වන්නේ එවන් රෝග වලට එරෙහිව සටන් කිරීමට සිරුරේ ප්‍රතිශක්තිය ප්‍රමාණවත් නොවීමයි.

එහෙත් 80 – 90 දශකයන් වල එච්අයිවී/ඒඩ්ස් වලට ලබා දී තිබූ නිර්වචන කිසිවක් වර්තමානය වන විට වලංගු නොවන්නේ එච්අයිවී ආසාදනය වූ කිසිදු පුද්ගලයකුට ඒඩ්ස් තත්ත්වය දක්වා උත්සන්න වීමට ශ්‍රී ලංකාව ඇතුළුව ලොව කිසිදු රටක සෞඛ්‍ය පද්ධතීන් ඉඩ නොතබන බැවිනි. වෛරස ආසාදනය වීම සමඟ එම වෛරසය පාලනය කිරීමට අතිසාර්ථක ඖෂධ (ART) මේ වන විටත් හඳුන්වා දී තිබෙන අතර, වෛරසය ආසාදනය වීමට පෙර හා පසු වශයෙන් වෛරසය සම්ප්‍රේශණය වීම වැළැක්වීම සඳහා අතිසාර්ථක ක්‍රියාවලියක් සිදුකරන ඖෂධ (PrEP / PEP) පවා මේ වන විට සොයා ගෙන තිබේ. එපමණක් නොව වෛරසය ආසාදනය වූ පුද්ගලයකු හට නිසි ART ප්‍රතිකාර මඟින් වෛරසය සිරුරේ හඳුනාගත නොහැකි මට්ටමකට පාලනය කළ හැකි අතර, එසේ වෛරසය හඳුනාගත නොහැකි මට්ටමක් දක්වා පාලනය වූ විට තවකෙකුට එය ලිංගිකව සම්ප්‍රේශණය කළ නොහැකි බව ද (undetectable = untransmittable) මේ වන විට සොයාගෙන තිබේ.

එවන් වාතාවරණයක් තුළ ඒඩ්ස් යනු සමාජයෙන් බැහැර කර දමන සංකල්පයක් තරමටම ලිංගික සෞඛ්‍යය සම්බන්ධ ගෝලීය සංවාදය දියුණු වී පවතී. ඇතැම් අවස්ථාවන් හීදී වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ඒඩ්ස් තත්ත්වය හඳුන්වන්නේ සංකීරණ එච්අයිවී යනුවෙනි. නමුත් රටක අග්‍රාමාත්‍යවරයකුම තවමත් ඒඩ්ස් සඳහා එන්නතක් නිපදවා නැතැයි පැවසීම හරහා ගම්‍ය වන්නේ එක්සත් රාජධානිය වැනි දියුණු රාජ්‍යයන් වල පවා තවමත් එච්අයිවී/ඒඩ්ස් සම්බන්ධ සමාජ අපකීර්තිය හා යල්පැන ගිය අදහස් සමාජානුයෝජනය වී ඇති බව නොවේද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි