×

දේශපාලන විකටයෙකුගේ සිට යකඩ කවටයෙකු දක්වා – බොරිස් ජොන්සන්

දේශපාලන විකටයෙකු ලෙස කලෙක හැඳින්වූ බොරිස් ජොන්සන්, ඊයේ දිනයේදී කන්සවේටිව් පක්ෂය ලද විශිෂ්ට ජයග්‍රහණය සමග එක්සත් රාජධානියේ බලවත්ම දේශපාලකයා බවට පත්ව සිටියි.


 අවසානයේ ඔහු ලැබුවේ 80 දශකයේදී මාග්‍රට් තැචර් ලද ජයග්‍රහණයට සමාන ජයකි.

Daily Mail

මාග්‍රට් තැචර් සමග

බ්‍රෙක්සිට් සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය දිනාගැනීමට සමත් වීමත් සමග බොරිස් ජොන්සන්ගේ සංක්‍රාන්තිය සම්පූර්ණ වේ. එම සංක්‍රාන්තිය විහිදෙන්නේ මතභේදාත්මක Euroskeptic මාධ්‍යෙවේදියාගේ භූමිකාවේ පටන් බරපතළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු දක්වා ය.

අතීතයේ ඔහු ටෙලිග්‍රාෆ් පුවත්පතේ බ්‍රසල්ස් වාර්තාකරු ව සිටියේය. එහිදී යුරෝපා සංගමයේ සුපිරි රාජ්‍යයක් ගැන ලියමින් සිටි බොරිස්, කෙසෙල් ගෙඩිවල හැඩය සහ කොන්ඩම්වල විශාලත්වය වෙනස් කළ යුතු බව ද එකල ලියා තිබේ!

කුමන හෝ හේතුවක් නිසා බොරිස් ජොන්සන් නම එක්සත් රාජධානියේ පතළ වන්නට පටන් ගත්තේය. එය ක්‍රමයෙන් හවුස්හෝල්ඩ් නමක් බවට පත්වන්නට විය.

මේ ජනප්‍රියත්වය නිසාම, ඔහු යම් දිනෙක ලන්ඩනයේ අංක 10, ඩව්නින් වීදියෙන් සිය ගමන පටන් ගනු ඇතැයි සිතූ අල්පයක් විය. මේ ලිපිනය, බ්‍රිතාන්‍යයේ අගමැති කාර්යාලයයි.

ස්පෙක්ටේටර් සඟරාවේ කර්තෘවරයා ව සිටියදී බොරිස් ජොන්සන් තීරු ලිපියක් ලියන්නට පටන් ගත්තේය. වරෙක එයට පාදක වී තිබුණේ චීන ගුවන් සේවිකාවකගේ ඉංග්‍රීසි උච්ඡාරණය උපහාසයට නැගීමයි. ‘වෙරි සොරි‘ යන්න වෙනුවට ඇය කීවේ “Velly solly”- ‘වෙලි සොලි‘ යන්න බව ඔහු එහි ලියා තිබේ.

මේ අතර ඔහු දිගින් දිගටම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය. එහිදී ද ඔහුගේ චරිතය වූයේ විගඩම්කාර බම්මන්නෙකි.

2017 වසරේදී කන්සවේටිව් පක්ෂය සමග පැවති කුඩා රැස්වීමකදී යුද්ධයෙන් නටඹුන් වූ ලිබියාව ‘මීළඟ ඩුබායි‘නගරය බවට පත්විය හැකි යැයි කීවේය. ඒ වන විට ඔහු කන්සවේටිව් පක්ෂයේ විදේශ ලේකම්වරයා විය.

මේ මත දැක්වීම් ඔහුගේ ජාතිවාදී සහ ආක්‍රමණශීලී, අන්‍යයන් හෙළා දකින සහ පහත් කරන චරිත ස්වභාවයට කදිම නිදසුන් සැපයීය. විචාරකයන් පැවසුවේ අනාගත අපේක්ෂාවන් කෙසේ වුවත් බොරිස් ජොන්සන් කිසිදිනෙක එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා වැනි බරපතළ තනතුරකට පත් නොවනු ඇති බවයි.

2016 වසර වන විට ඔහු කන්සවේටිව් පක්ෂයේ ප්‍රබලයෙකු බවට පත්ව සිටියේය. බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට වන දේශපාලන ව්‍යාපාරයේ ඔහු හඬ නගමින් සිටියේය. නමුත් ඒ වන විට බ්‍රෙක්සිට් යනු, කිසිවිටෙක සිදු නොවන හා සිදු නොවිය යුතු දෙයක් ලෙස බොහෝ අය දුටුවහ. ‘‘ඔහු ප්‍රබල කැම්පේන් කාරයෙක් බව දැන සිටියත් ඔහුගේ සාමාන්‍ය අසමත් කම විසින් වෝට් ලීව් කැම්පේන් එක අඩපණ වනු ඇතැයි අපි සිතුවා..‘‘ එසේ පවසන්නේ අගමැති කාර්යාලයේ සිටි ඩේවිඩ් කැමරන්ගේ කණ්ඩායමේ ප්‍රබලයෙකි.

නමුත් බොරිස් ජොන්සන් වටා ඔහුට සැබවින්ම හිතවත් සහ ඔහුව විශ්වාස කරන කණ්ඩායමක් රැස්ව සිටියහ. දැන් බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන ඩොමිනික් කමින්ස් (Dominic Cummings) Vote Leave ව්‍යාපාරය සාර්ථක ලෙස මෙහෙයවමින් බොරිස් ජොන්සන්ව ඔසවා තැබුවේය.

බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පරාජය වී කැමරන් අගමැති ධුරයෙන් ඉවත් වූ විට බොරිස් ජොන්සන් ඒ පදවියට පත් වනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් ඔහු 2016 බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පසු සැලකිය යුතු කාලයක් ජනතාවට පෙනෙන්නට ආවේ නැත.

අවසානයේ ඔහුගේ වෝට් ලීව් මිතුරු මයිකල් ගෝව් නායකත්ව සටන පටන් ගත්තේය. බොරිස් ජොන්සන්ට සහාය පළ කළ අය ගණනාවක් මයිකල් ගෝව්ගේ පැත්තතට පැන්නහ. බොරිස්ගේ ජනප්‍රියත්වය සෑහෙන පමණින් අඩු වී තෙරේසා මේ අග්‍රාමාත්‍යවරිය බවට පත්වූවාය.

ලන්ඩනයේ නගරාධිපති සහ සෙවණැලි කැබිනට් ඇමතිවරයෙකු ලෙස බොරිස් ජොන්සන් හට වසර 8 ක අත්දැකීම් තිබිණි. නමුත් එය සෑහේද?

ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ බොරිස් ජොන්සන් යටතේ වැඩ කළ සයිමන් හෙෆර් මෙසේ පවසයි. ‘‘ඔහු නගරාධිපතිවරයාව සිටියදී අපි දුටුවා ඔහුට නියෝජ්‍යයන් ගණනාවක් අවශ්‍ය වූ බව. එකක් ඔහුගේ කම්මැලි කම. අනෙක ඔහු එම ධුරයේ රාජකාරි ඉටුකිරීමට සමතෙක් නෙවෙයි..“

තෙරේසා මේ ලොකු වරදක් කළාය. බොරිස් ජොන්සන් ව විදේශ ලේකම් බවට පත් කළාය.

එවිට ඔහු රාජ්‍ය තාන්ත්‍රික වැරදි ගණනාවක් කළේය. ඉරානයේ බන්ධනාගාරයක රඳවා ගෙන සිටි බ්‍රිතාන්‍ය කාන්තාවකගේ සිර දඬුවම ඉහළ දැමුණේ බොරිස් ජොන්සන්ට පින් සිදු වන්නටය.

බ්‍රෙක්සිට් කැම්පේන් එක වෙනුවෙන් තෙරේසා මේ ගේ කැබිනට්ටුවෙන් ඉල්ලා අස් වූ විට තෙරේසා මේ හට ඇය කළ වරදේ තරම පෙනෙන්නට ඇත. ඔහු ඇගේ ප්‍රබලම ප්‍රතිවාදියෙකු බවට පත්විය. යන එන සියලු තැන ඇයව පතුරු ගසන්නට පටන් ගත්තේය. නමුත් එවිට පවා, ඔහු විශ්වාසනීය නායකත්ව ව්‍යාපාරයක් මෙහෙයවීමට සමත් වනු ඇතැයි තෙරේසා මේ ගේ කණ්ඩායම සිතුවේ නැත.

නමුත් 2019 වසරේදී බොරිස් ජොන්සන් ආපසු ආවේය. ඒ වන විට හැම දෙයක්ම වෙනස් වී තිබිණි. බොරිස් ජොන්සන්, තමන්ව විකටයෙකු ලෙස සලකා විහිළු කළ මිනිසුන් වෙත පවා ගොස් ඔවුන්ගේ විශ්වාසය ඉල්ලා සිටියේය. ඔවුන් බ්‍රෙක්සිට් ජනමත විචාරණය ජය ගන්නට විශාල මෙහෙයක් කළ අය බව ඔහු අමතක නොකළේය. ඒ කණ්ඩායම ශිෂ්ට සම්පන්න ලෙස එම ඉල්ලීම පිළිගත්තේය. ‘බ්‍රෙක්සිට් ගැළවුම්කාරයා‘ යන අන්වර්ථය ලැබෙන පරිදි ඔවුහු ඡන්ද ව්‍යාපාරය සංවිධානය කළහ. බොරිස් ජොන්සන්ගේ හැසිරීම් හැමවිටම පිටපතෙන් පිට නොයන්නට ඔවුහු වග බලා ගත්හ.

ඒ ඡන්ද ව්‍යාපාර කණ්ඩායම කළ එක් විශේෂ දෙයක් නම්, මාධ්‍යෙයන් බොරිස් ජොන්සන්ව හැකි තරම් සඟවා තබා ගැනීමයි. BBC පුවත් සේවයේ ඇන්ඩෘෘ නීල්ගේ දේශපාලන වැඩසටහනට කිසිදු ප්‍රබල දේශපාලකයෙකු පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ නැත. නමුත් බොරිස් ජොන්සන් ‘බැහැ‘ කීවේය. මැතිවරණයේ අවසන් දින කිහිපය තුළදී පියර්ස් මෝර්ගන් ව මගහරින්නට බොරිස් ජොන්සන් ශීතකරණයක් තුළ සැඟවී සිටින ආකාරය සහිත පහත ඡායාරූපය දැක ප්‍රියර්ස් මෝර්ගන් සජීවී වැඩසටහනකදී හිසේ අත ගසා ගත්තේය.

ඔහු සිය පක්ෂය දිනාගෙන සිටියේය. අභියෝගය වූයේ යුරෝපා සංගමයට කසයෙන් තළන්නට පුරුදු වී සිටි ඔහු යුරෝපය ජය ගන්නේ කෙසේද යන්නයි. නමුත් න්‍යායපත්‍රය අනුව වැඩ කළ ඔහු, එය ද ජයගත්තේය. සිය කතාවකදී ඔහු කීවේ තමන් යුරෝපයට ‘ප්‍රේම කළ බව‘ ( “loved” Europe) යි.

අවසානයේ පාර්ලිමේන්තුවෙන් 3 වතාවක් පැරදුණු බ්‍රෙක්සිට් යෝජනාව සම්බන්ධයෙන් වූ වෙනස්කම්වලට යුරෝපා සංගමය එකඟ කරවාගන්නට ද ඔහු සමත් වූයේය.

එක්සත් රාජධානිය අඩපණ කරන ගැටළුවලට දැන් පිළිතුරු ලැබෙනු ඇතැයි ඔහු පවසයි. මහ මැතිවරණ සමයේ ”Let’s Brexit done” යැයි කියමින් සිටි ඔහු, ඊයේ උදෑසන ජයග්‍රහණයෙන් පසුව ජනතාව ඉදිරියට පැමිණ මුලින් “Let’s breakfast done” යැයි කීවේය.

පැහැදිලි ය. දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ල හමුවේ ඔහු ජනතාවට කතා කරන්නට දැන සිටියි. ඔහු එම බාසාව දැන සිටියි. නමුත් සියල්ල පටන් ගන්නේ දැන් ය. ලබන මාසයේ බ්‍රෙක්සිට් සිදුවන බව දැන් නියතියකි. එයින් ගැළවීමක් නැත. සමහරවිට බ්‍රෙක්සිට් සිදුවීමෙන් පසුව එක්සත් රාජධානියක් ඉතිරි නොවනු ඇත. එසේ වී නම්, මේ බොරිස් ජොන්සන් විසින් ජයගත්තේ ‘එක්සත් රාජධානියේ‘ ‘අවසාන මහමැතිවරණය‘ වීමට ද ඉඩ තිබේ. ඒ සියල්ලටමත් වඩා, සීරුවෙන් සිටින්න. ඔහු වඩා සිටි කැම්පේන්කරුවන්ගේ ආනුභාවයෙන් කන්සවේටිව් පක්ෂය ‘සෝදාගෙන යන ජයක්‘ ලැබූ බව සැබෑවක් නමුත්, මේ සැබෑ ඔහු නොවේ!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි