×

වසර 200කට පසු බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේ විවාහයක්! බොරිස් ජොන්සන් තම පෙම්වතිය කැරී සිමන්ඩ්ස් සමඟ විවාහ ගිවිස ගනියි!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සිය පෙම්වතිය වූ කැරී සිමන්ඩ්ස් මෙනවිය හා විවාහ ගිවිස ගෙන තිබේ.


ඉකුත් සෙනසුරාදා (29) දින එම දෙපළගේ විවාහ උත්සවය ඉතා චාම් සහ නිහඬව වෙස්ට්මින්ස්ටර් හි දෙව්මැදුරේ පවත්වා ඇති බවට සඳහන්.

බ්‍රිතාන්‍යයේ මෙසේ අග්‍රාමාත්‍යවරයකු ධුරයේ සිටියදී විවාහ ගිවිස ගෙන තිබෙන්නේ වසර දෙසීයකට පමණ පසු බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

මීට ඉහත ධුරයේ නියුතු ව සිටියදී බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයකු විවාහ ගිවිසගෙන තිබෙන්නේ 1822 වර්ෂයේදී ය. ඒ රොබර්ට් බෑන්ක්ස් මහතා ය.

අලුත විවාහ වූ බොරිස් ජොන්සන් සහ කැරී සිමන්ඩ්ස් යුවල එළඹෙන වසන්තයේදී සිය පවුලේ සාමාජිකයන් සමඟ නැවත් උත්සවයක් ගැනීමට සූදානම් බවද සඳහන්.

මේ වන විට ලොව නන්දෙසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට සහ තම බිරිඳට සුභපැතුම් ගලා ඒම ආරම්භ වී තිබේ.

මීට ඉහත දී බොරිස් ජොන්සන් මහතා අවස්ථා දෙකක දී විවාහ දිවි කටු ගා තිබේ. එහෙත් රෝමානු කතෝලික පල්ලියෙන් එපිට එම විවාහයන් සිදුව තිබූ නිසා බොරිස් ජොන්සන් මහතා ට යළි විවාහ ගිවිස ගැනීමට රෝමානු කතෝලික පල්ලිය අවසර දී ඇත.

මේ වන විට බොරිස් ජොන්සන් මහතා 56 වෙනි වියේ පසුවෙයි. කැරී සිමන්ඩ්ස් මෙනවිය 33 වියේ පසුවෙයි.

කැරී සිමන්ඩ්ස් මෙනවිය සහ බොරිස් ජොන්සන් මහතා ගේ ප්‍රේම සබඳතාව පළමු වරට මාධ්‍යයට නිරාවරණය වූයේ ඉකුත් 2019 වර්ෂයේදී ය.

සිමන්ඩ්ස් මෙනවිය බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ මාධ්‍ය කාර්යාලයේ සේවයේ නියුතු වූ නිලධාරිනියකි. ඉන්පසු බොරිස් ජොන්සන් මහතා ගේ මැතිවරණ කටයුතු සඳහා සහභාගී වන්නේ ඉකුත් 2020 වර්ෂයේ ය.

බොරිස් ජොන්සන්ට දාව සිමන්ඩ්ස් මෙනවියට පුතකු ද ඉකුත් අ‍ප්‍රේල් මස උපත ලැබීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි