×

කටේ කිරි සුවඳ යන්නටත් පෙර ජීවිතයට සමු දුන් පුංචි ඇන්ටන්!

තම දෙමාපියන්ගේ වධහිංසා දරාගත නොහැකි වූ අට හැවිරිදි පුංචි ඇන්ටන් තමා ජීවත් වූ මහල් නිවාසයේ නවවන මහලෙන් පැන තිබේ.


මේ ඛේදජනක පුවත වාර්තා වන්නේ යුක්‍රේනයෙනි.

යුක්‍රේන විදෙස් මාධ්‍ය වාර්තා අනුව දකුණුදිග යුක්‍රේනයේ එනෙහෝදර් ප්‍රදේශයේ විසූ අවුුරුදු 8ක් වයසැති පුංචි ඇන්ටන් පසුගිය අගෝස්තු 23 වන දින තම දෙමාපියන් සමඟ ජීවත් වූ මහල් නිවාසයේ නව වන තට්ටුවෙන් පැන සියදිවි නසාගෙන ඇති බවට පැවසේ.

ඉතා කුඩා අවධියේ පටන් ඇන්ටන් දරුවා විවිධ අපයෝජනයන් වලට ලක්වූයේ යැයි ඔහුගේ දෙමාපියන් ට එරෙහි ව චෝදනා ගොනුවී පවතී.

ඇන්ටන් ජීවත් වූ මහල් නිවාසය හා ඔහු ඇද වැටුණු ජනේලය

ඇන්ටන් විසූ මහල් නිවාසයේ පදිංචි අසල්වාසීන් පොලිසියට ප්‍රකාශ කර තිබු‍ෙණ් මෙම දරුවා තම දෙමාපියන් අතින් කෘෘර අන්දමින් වධහිංසනයට ලක්ව තිබූ බවයි. අනතුර සිදුවූ දින පාසල් ඇරී නිවෙස් කරා පැමිණි පුංචි ඇන්ටන් ගේ ඇඳුම් ඉරා දමා පහර පිට පහර එල්ල කරන අයුරු ඇසුණු බවට අසල්වාසීහු ප්‍රකාශ කර සිටියහ.

ඉන් මොහොතකට පසු නිහැඬියාවක් පැවති ඇති අතර, එම මොහොතේ මෙම දරුවා මහල් නිවාසයේ නවවන තට්ටුවේ ජනේලයකින් පහළට වැටී ඇත.

ඇන්ටන් මහල් නිවාසයෙන් පොළවට පතිත වූ ස්ථානය

මහල් නිවාසයේ ඇන්ටන් ජීවත් වූ තට්ටුවට පහළ තට්ටුවේ ජීවත් වූ සනා පවසා සිටියේ මෙම දරුවා හට පහර එල්ල කරන අයුරුත්, ඉන් අනතුරුව ඇතිවූ නිහැඬියාව තුළ කුඩා දරුවකු වේගයෙන් පය බිම ගසන අයුරුත් ඈට ඇසුණු බවයි. 

“ඒ නිහැඬියාවෙන් පසුව යමක් ශබ්දයෙන් පොළවේ වැදෙන අයුරු මට ඇසුණා. බලන විට ඔහු පොළවේ නිසොල්මන්ව වැතිර සිටියා, මා හැකි ඉක්මනින් පොලිසියටත් ගිලන්රථයකටත් ඇමතුම් කළා,” සනා පවසා සිටියාය.

සිදුවීම පිළිබඳ පොලිසිය හා ගිලන්රථ දැනුවත් කළ අසල්වැසි සනා

ඇන්ටන් ගේ පවුලේ තවත් අසල්වැසියකු වූ ඇන්ඩ්‍රි පවසා සිටියේ ඇන්ටන්ගේ දෙමාපියන් මහල් නිවාසයේ තම තට්ටුව වෙත යන අයුරුත්, මිනිත්තු 10 කට පමණ පසු දරුවා පොළවේ වැතිරී සිටිනු දැක ඔවුන් පහළට දිව ආ අයුරුත් තමා දුටු බවයි. 

අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පරිපූරක වෛද්‍යවරුන් ඇන්ටන් මියගොස් ඇතිබවට විනිශ්චය කරන ලදී. අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වලින් හෙලිවූයේ පොළවට පතිත වීමත් සමඟ හිස පොළවේ ගැටීම නිසා ඇතිවූ බලපෑමෙන් ඔහු මරණයට පත් වූ බවයි. 

පුංචි ඇන්ටන් ඇත්තටම සියදිවි නසා ගත්තා ද?
දෙමව්පිය රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට ඇන්ටන්ගේ දෙමාපියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සැකකාර යුවල ඇන්ටන් දරුවා මිය ගිය දිනයේ තම දරුවා හට පහර දුන් බවට පාපොච්ඡාරණය කර ඇත. එමෙන්ම සිදුවීම ඇසින් දුටු එකම පුද්ගලයින් වශයෙන් එම දෙපළ පවසා ඇත්තේ පහර දීමෙන් අනතුරුව කුඩා ඇන්ටන් ජනේලයෙන් පැන ඇති බවයි. 

සියදිවි නසා ගැනීම යන වදනෙහි තේරුම පවා නොදන්නා වයසක පසුවූ මෙම කුඩා දරුවා සැබවින්ම ජනේලයෙන් පැන ඇත්තේ නම් එය සිදුවන්නට ඇත්තේ දෙමාපියන්ගේ හිංසනය දරාගත නොහැකි තැනම විය හැකිය. එය සියදිවි හානිකර ගැනීමකට ලඝුකිරීම කෙතරම් යුක්ති සහගත ද යන්න ප්‍රශ්ණ කළ යුතුව ඇත. අනෙක් අතට, සිදුවීම ඇසින් දැක ඇත්තේ ඇන්ටන් ගේ දෙමාපියන් පමණි. ඔවුනට අනුව පුංචි ඇන්ටන් පහර දීමෙන් පසුව ජනේලයෙන් පැන ඇත.

එමෙන්ම මෙම දෙපළ තම දරුවා ගේ අකීකරු හැසිරීම මත නිතිපතා පහර දුන් බවට පිළිගෙන ඇත.

පුංචි ඇන්ටන් මිහිදන් කළ ස්ථානය

කෙසේවෙතත්, ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව නිවෙස් කරා පැමිණි මෙම දෙපළ පසුව පළාගොස් ඇති අතර, මේ වන විට මෙම දෙපළ තම දරුවා අපයෝජනයට ලක්කර ඇති මැයෙන් චෝදනා ගොනුකොට විමර්ශන කටයුතු සිදුවේ. පොලිසිය ඔවුන් සෙවීමේ කටයුතු දියත් කොට ඇත. සැකකරුවන් වරදකරුවන් යැයි අධිකරණය ඉදිරියේ තහවුරු වුවහොත් වසර පහක සිරදඬුවමකට ලක්වීමට නියමිතය.

ඇන්ටන්ගේ පාසලේ විදුහල්පති ඔක්සානා සෙලෙන්ස්කා පවසා සිටියේ පාසලේ පළමු ශ්‍රේණියේ පටන් ඇන්ටන් වෙත විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවූ බවත් එයට හේතුව වූයේ දෙමාපියන් ඔහු කෙරේ කිසිදු උනන්දුවක් නොදැක්වීමත්, පාසලෙන් කොන්වී සිටීමත් බවය. 

පුංචි ඇන්ටන් විවිධ අවස්ථා වල පාසලෙන් මනෝඋපදේශන සේවාවන් වෙත යොමු කර ඇති බව හෙලිවූ අතර, ඔහුට උපදේශන ලබාදුන් මනෝඋපදේශක සෝයා පර්ශ්‍යානා පවසා සිටියේ මෙවන් තත්ත්වයක් උද්ගත වනු ඇති බවට තමා කිසිසේත් නොසිතූ බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි