×

බොල්සොනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීලයේ කොන්ග්‍රසයට කඩාපනී

නව ජනාධිපතිවරයා මෙම ප්‍රචණ්ඩත්වය හඳුන්වා තිබුණේ විනාශකාරීන්ගේ සහ ෆැසිස්ට්වාදීන්ගේ කැරැල්ලක් බවයි.


පසුගිය ජනාධිපතිවරණයේ දී බලයෙන් පහකරන ලද අන්ත දක්ෂිණාංශික ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීලයේ කොන්ග්‍රසයට හෙවත් බ්‍රසීල රාජ්‍යයේ හදවතට කඩා වැදී ජනාධිපති මන්දිරය වට කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

නව ජනාධිපති වශයෙන් වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා අභිනවයෙන් බලයට පත්වී සතියක් ගෙවීමෙන් අනතුරුව මෙම සිදුවීම සිදුව ඇති අතර, කහ පැහැති බ්‍රසීල පාපන්දු කමිසවලින් සහ කොඩිවලින් සැරසී සිටි විරෝධතාකරුවන් දහස් ගණනක් මෙලෙස සිය විරෝධතා දක්වා තිබිණ.

තත්වය සමතයකට පත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා හදිසි බලතල ක්‍රියාත්මක කරමින්, රජයේ ගොඩනැගිලි ඇති ප්‍රධාන මාවත ඇතුළු අගනුවර කේන්ද්‍රය පැය 24ක් වසා දමනු ලැබීය. නව ජනාධිපතිවරයා මෙම ප්‍රචණ්ඩත්වය හඳුන්වා තිබුණේ විනාශකාරීන්ගේ සහ ෆැසිස්ට්වාදීන්ගේ කැරැල්ලක් බවත්, ප්‍රචණ්ඩලෙස හැසිරෙමින් රාජ්‍ය දේපළ විනාශකළ අය නීතියේ රැහැනට ගෙන එන බවත්ය.

ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර පැය ගණනක් පැවති ගැටුම්වලින් අනතුරුව බ්‍රසීලියා සිවිල් පොලීසිය විසින් 300ක් පමණ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෝලාහලය වැළැක්වීමට අපොහොසත් වූ බවට විනිසුරු ඇලෙක්සැන්ඩර් ද මොරායස් කරන ලද චෝදනා අනුව නගරයේ ආණ්ඩුකාර Ibaneis Rocha දින 90 කට ඔහුගේ තනතුරෙන් ඉවත් කර තිබේ.

බොහෝ විශ්ලේෂකයන් මෙම අවස්ථාව ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඇමරිකාවේ කැපිටල් හිල් වෙත කඩා වැදුන ජනවාර 6 ප්‍රහාරය හා සම කරමින් ඇති අතර, දකුණු අමෙරිකානු වාර්තාකාරිය වන කැටි වොට්සන් මේ පිළිබඳව වාර්තා කර තිබුණේ, සමහර විරෝධතාකරුවන් ජයිර් බොල්සොනාරෝ මැතිවරණයෙන් පරාජය වීම ගැන කෝපයට පත් නොවන බවත් ඔවුන්ට අවශ්‍ය වන්නේ ජනාධිපති ලූලා නැවත සිරගත කිරීමට බවත්ය. 2017 වසරේ ලූලා සූෂණ විරෝධී චෝදනාවන් මත මාස ​​18 ක් සිරගතව සිටි අතර පසුව ඔහුගේ වරද අවලංගු කරන ලදී, කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් ප්‍රකාශ කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මෙම බියගුලු සහ නීච ප්‍රහාරය හමුවේ බ්‍රසීලයට තම රටේ පූර්ණ සහාය හිමිවන බවයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් බ්‍රසීල ජනතාවගේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල කැමැත්තට ගරු කළ යුතු බව පැවසූ අතර, ලූළා වෙනුවෙන් ප්‍රංශයේ නොසැලෙන සහය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_

ඡායාරූප : අන්තර්ජාලයෙන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි