×

බ්‍රසීලයේ ආදිවාසී ජනතාව කොවිඩ් වසංගතයෙන් අතුගෑවී යාවි!

කොවිඩ් නිසා මරණ වරෙන්තුව අතැතිව සිටින ඇමසන් ගෝත්‍රිකයෝ


ඇමසන් කලාපයේ වෙසෙන ආදිවාසීන් ඇතුළු බ්‍රසීලයේ ආදිවාසී ප්‍රජාවන්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අතුගෑවී යාමේ අවදානමක් පවතින බව බ්‍රසීල සෞඛ්‍ය බලධාරීහු හෙළිදරව් කරති.

මෙයට හේතුව වී තිබෙන්නේ, කොරෝනා වෛරසය විසින් කලාපය ආක්‍රමණය කිරීමටත් පෙර පටන්ම ආදිවාසී ප්‍රජාවන් අසාමාන්‍ය ලෙස ශ්වසන ආබාධවලට ගොදුරු වී සිටීමයි. ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැනි ශ්වසන ආබාධවලට ඔවුන් කලෙක පටන් නතුව සිටින අතර, බ්‍රසීල ආදිවාසීන්ගේ මරණවලට ප්‍රධාන හේතුව ලෙස පැවතියේ මෙම ශ්වසන ආබාධ යි.

අප්‍රේල් 5 වැනිදා වන විට බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන් 11,000 ක් වාර්තා වූ අතර, මරණ 486 ක් සටහන් විය.

මෙම ආසාදනයන්ගෙන් බහුතරය වාර්තා වන්නේ සාවෝ පෝලෝ ප්‍රාන්තයේ කාර්මීකරණය වූ ප්‍රදේශවලිනි.

නමුත් ඇමසන් ද්‍රෝණියේ තත්වය අතිශය ශෝකජනක ය. මෙම ඇමසන් ද්‍රෝණිය කොතරම් විශාලදැයි වටහාගැනීමට නම් ඔබ කළ යුත්තේ ස්පාඤ්ඤය සහ ප්‍රංශය එකතු කළ විට ලැබෙන බිම් කඩෙහි විශාලත්වය සිතින් මවා ගැනීමයි.

ආදිවාසී ප්‍රජාවන් අතරින් පළමු කොවිඩ් ආසාදනය වාර්තා වූයේ ඇමසන් ජනපදයෙනි.

ඇමසන් වැසි වනයේ සින්ගු ද්‍රෝණිය කලාපයේ වෙසෙන ආදිවාසී ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පර්යේෂණයක යෙදෙන සාවෝ පෝලෝ සරසවියේ පර්යේෂිකා ආචාර්ය සොෆියා මෙන්ඩාන්කා මෙසේ කියයි. ‘‘ස්වදේශික ප්‍රජාවන් අතර වෛරසය පැතිර යාමේ අති දැවැන්ත අවදානමක් තිබෙනවා. ඔවුන් මේ නිසා අතුගෑවී යන්නට පුළුවන්…‘‘

මෙයින් ඇතිවන වසංගත තත්වය, 1960 දශකයේදී වෙනිසියුලාව සමග දේශසීමාව තනන බ්‍රසීලයේ යැනොමාමි ප්‍රජාව මුහුණ පෑ ආකාරයේ දැවැන්ත ව්‍යසනයකට මං පාදනු ඇතැයි ද ඇය සැක පළ කරයි. මෙහිදී මෙම දේශසීමාව ආශ්‍රිතව දිවි ගෙවූ ආදිවාසීන්ගෙන් 9%ක් දෙනා මරණයට පත් කරන්නට සරම්ප වසංගතයක් සමත් විය.

සාමාන්‍ය සිවිල් ප්‍රජාවකට කොවිඩ් මරණ නිසා සිදුවන හානියට වඩා වැඩි හානියක් මනා ලෙස සංවිධානය වූ මෙම ආදිවාසී ප්‍රජාවන් අතර රෝගය පැතිර යාමෙන් සිදු වේ.

‘‘හැම කෙනෙක්ම සිටින්නේ අවදානමේ. වියපත් අය මේ ප්‍රජාවන්ට වේගයෙන් අහිමි වේවි. වියපත් අය යනු, ප්‍රඥාවේ සහ සමාජ සංවිධානවල සාරයයි..‘‘ යැයි ඇය පවසන්නේ එනිසා ය.

කොවිඩ්-19 වසංගතය පැතිර යාමත් සමග ඇතැම් ආදිවාසී ප්‍රජාවන් සිය ගම්මාන අතහැර කැලෑ වදින්නට පටන් ගෙන තිබේ. කුඩා කණ්ඩායම් ලෙස ඔවුන් රැහෙන් වෙන් වී යාමට තීරණය කරන්නේ අතීතයේ සිදුවූ පරිදි වසංගතවලින් සිය ප්‍රජාව අතුගෑවී යාම හැකිතාක් වළක්වා ගන්නට ය.

ජීවිතයේ පළමු වතාවට, නිතර නිතර අත්සෝදන ආදිවාසීන් මෙහිදී ඔබට දැකගත හැකි වනු ඇත.

ඒ බිය අතිශය සාධාරණ ය. බ්‍රසීලය තුළ සෞඛ්‍ය සේවාවන්ට අවම ප්‍රවේශය තිබෙනුයේ මෙම ආදිවාසී ජනයා හට ය.

බොල්සොනාරෝගේ ‘පුංචි හෙම්බිරිස්සාව‘

බ්‍රසීල ජනගහනයෙන් ආදිවාසී ප්‍රජාව 0.5%කි. රටකට එහි ආදිවාසීන් එහි සංස්කෘතියේ මිණි කැට විය යුතු නමුත්, බ්‍රසීලයේදී ද එය එසේ නොවේ. බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ බලයට පැමිණියේම, ඇමසන් වනය කපාදැමිය යුතු බව කියමිනි. අද වන විට බොල්සොනාරෝ පැහැදිලිවම ආදිවාසී ජනයාගේ සතුරෙකි. බ්‍රසීලයේ ආදිවාසී බිම් ‘ලොකු වැඩි‘ බවත්, ඔවුන් භුක්ති විඳින ස්වභාවික සම්පත් රටේ සෙසු ජනයා අතර බෙදා ගත යුතු බවත් බොල්සොනාරෝ කියා තිබේ!

ඒ මදිවාට බොහෝ පළාත් ආණ්ඩු සහ නගරාධිපතිවරුන් මෙම වසංගතය රට තුළ පැතිර යාම වැළැක්වීමට තමන්ට හැකි දේ කරමින් සිටියත්, බොල්සොනාරෝ මෙය හඳුන්වා දී තිබෙන්නේ ‘පුංචි හෙම්බිරිස්සාවක් (“a little flu”) ලෙස ය. පාසල් සහ කඩසාප්පු වසා දැමීම ගැනත් ඔහු පසුවන්නේ විස්සෝපයෙනි.

ලෝකයෙන් වසංවූ ඇමසන් ගෝත්‍රිකයන් පවා ආරක්ෂිත නැත.

ඇමසන් වනය ආශ්‍රිතව ‘ලෝකයෙන් වසං වූ‘ හෙවත් බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති සේ සලකන (no contact with the outside world) ඇමසන් ගෝත්‍ර ද කිහිපයක් තිබේ.

මාධ්‍ය මගින් ඒවා එසේ හැඳින්වුවත්, සත්‍ය කතාව වන්නේ නීතිවිරෝධී ගස් කපන්නන්, දඩයම්කරුවන් සහ ඉවැන්ජලික මිෂනාරිවරුන් මේ ප්‍රජාවන් දෙස ඇස ගසාගෙන ඔවුන් සමග නිරන්තර ගනුදෙනුවක යෙදීමට වෙහෙස ගන්නා බව ය. ෆුනායි පළාතේ මේ තත්වය බහුල ය. ඒ මදිවාට ෆුනායි පළාතේ ආදිවාසී ජනතාව රැක ගැනීම සඳහා වූ අයවැය, පළාත් ආණ්ඩු විසින් දිගින් දිගටම කප්පාදු කර ඇති තත්වයක් ද දැකගත හැකිය.

කන්ඩ නැතිනම් සාගින්නේ මැරෙව්!

මේ වසංගත සමයේදී නගරවලට හෝ පිටපළාත්වලට යාම් ඊම් සීමා කළ යුතු බව බොහෝ ස්වදේශික කණ්ඩායම් පිළිගනිති. ඔවන්ගේ නායකයන් ද කියා තිබෙන්නේ කඩපිල්වලට ප්‍රවේශය අහිමි නම් සාගින්නේ නමුත් නිවෙස්වලට වී සිටිය යුතු බව ය. නමුත් එය ප්‍රායෝගිකව පහසු නොවේ.

කොලොම්බියාව සහ වෙනිසියුලාව සමග දේශසීමාව තනන සාවෝ ගේබ්‍රියෙල් ඩා කොචායිරා හි තත්වය සලකා බලමු. මෙහි සිටින බහුතර ආදිවාසී ප්‍රජාව තවදුරටත් සම්ප්‍රදායික දඩයම්කරුවන් නොවේ. එහි ඇතැම්හු විශ්‍රාම වැටුප් ද ලබති. කණ්ඩායම් වශයෙන් ඔවුන් මාසිකව නගර වෙත යා යුතුව තිබෙන්නේ සිය විශ්‍රාම වැටුප් ලබාගැනීමට සහ රජයෙන් ලබාදෙන මුදල් වව්චර ලබාගැනීම සඳහා ය.

පවතින තත්වය හමුවේ ආදිවාසී ප්‍රජාවන් ‘පැනික්‘ හෙවත් සංත්‍රාසයකට ලක්ව සිටින බව පවසන්නේ ආදිවාසී සංවිධානවල නායකයෙකු වන මාරිවෙල්ටොන් බාරේ ය. ‘‘අපේ ගම්මානවලට ආහාර ද්‍රව්‍ය නැහැ.‘‘ යැයි ඔහු පවසයි. ඔවුන්ගේ ප්‍රාදේශීය රෝහල්වල ශ්වසන ආධාරක යන්ත්‍රයක් පවා නැත. ඒ අනුව යම් කිසි අයෙක් බරපතළ ලෙස කොවිඩ් හේතුවෙන් රෝගාතුර වුවහොත් ඇමසන් හි අගනුවර වන මානුවාස් දක්වා, කිලෝමීටර 1,000 ක දුරක් බෝට්ටුවකින් යා යුතුව තිබේ.

ආදිවාසී ප්‍රජාවන් අතර බෙදාදීමට නොව, තමන්ගේ කාර්ය මණ්ඩල සඳහාවත් ප්‍රමාණවත් පරිදි මුහුණු වැසුම් හෝ ටෙස්ට් කට්ටල නොමැති බව බීබීසී පුවත් සේවයට නම හෙළි නොකිරීමේ පදනම මත හෙළිදරව් කළේ ස්වදේශිකයන්ගේ සෞඛ්‍යය පිළිබඳ පිහිටුවා ඇති කාර්යාංශයේ සේවය කරන හෙදියකි.

ඉතින්, බ්‍රසීලයේ ආදිවාසී ප්‍රජාවන්ට දැන් ඉතින් පෙර කී පරිදි වනගත වී වන සරණ පැතීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නැති සෙයකි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි