×

ලෝකයේ පෙණහැල්ල වේගයෙන් කපා දමන බ්‍රසීලයට දරුණු ඔක්සිජන් හිඟයක්

දැඩි සත්කාර ඒකකයේ පසුවන රෝගීන්ට හුස්ම ගැනීමට ඔක්සිජන් නැති අවාසනාවන්තම රට බවට මේ වන විට බ්‍රසීලය පත්ව තිබෙන්නේ අහම්බයකින් නෙවේ.


ලෝකයේ පෙණහැල්ල යනු, ඇමසන් වනයයි.

2008 වසරේ පටන් බ්‍රසීලය, ඇමසන් වනය අති මහත් වේගයෙන් කපා දමමින් සිටියි. 2019 අගෝස්තු සිට 2020 ජූලි මස දක්වා වර්ග කිලෝමීටර 11,088 ක් කපා දැමීමට බ්‍රසීලය කටයුතු කළේය. අතීතයේ එහි සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 2.2 ක් වූ අතර, එංගලන්තය සහ අයර්ලන්තය එකතු කළ විට ලැබෙන බිම් කඩ මෙන් 17 වතාවක් එය විශාල ව පැවතියේය.

මේ අනුව, 2008 වසරේදී වාර්තාගත වූ වේගයට ද වඩා වැඩි වේගයකින් ඇමසන් වනය 2020 වසර වන විට සමුගනිමින් සිටියි. වසරකට ඇමසන් වනයේ කැලෑ කැපීම එනම් වන හරණය, 10% බැගින් ද ඉහළ යයි.

2019 ජනවාරි මාසයේදී බලයට පත් වූ ජයර් බොල්සොනාරෝ නමැති දුර දිග නොබලන නායකයා, ඇමසන් වනය දකින්නේ ‘සල්ලි ගස්‘ පිරී ඇති කලාපයක් ලෙස මිස වනාන්තරයක් ලෙස නොවේ. සල්ලි ගස්වල හැදෙන විට ගස් කපා දමන්නට හිත හදාගැනීම පහසු ය.

ඒ අනුව ඔහු ලෝකයේ ලොකුම වැසි වනාන්තරයේ, වැව් හාරන්නට නොව පතල් හාරන්නට බලපත්‍ර මහා පරිමාණයෙන් ලබා දුන්නේය.

අහස් සිතියම්වලින් මිස ඇමසන් වනයේ විනාශය කිසිවෙකුට මිනුම් කළ නොහැක. මේ දත්ත ලෝකයට ලබාදෙන්නේ Inpe නමැති බ්‍රසීලියානු ඒජන්සියයි. පසුගිය වසරේ පටන් බොල්සොනාරෝ Inpe සමග වෛර බැඳගෙන තිබේ. ඔහු පවසන්නේ මෙම ආයතනය, බ්‍රසීලයේ අන්තර්ජාතික ප්‍රතිරූපය විනාශ කිරීමට සැලසුම් සහගතව කටයුතු කරන බවකි.

BBC

ලෝකයේ විශාලතම ස්වභාවික කාබන් සංචිතය ඇමසන් වැසි වනාන්තරය බව මොහොතකට අමතක කරන්න. කිලෝමීටර 6440 ක් දිග ජල ධාරා ඇමසන් වනයෙන් උපත ලබා වනබිම දිගේ ඇදී යන බවත් මොහොතකට අමතක කරන්න. ඒ අතරින් දිගම ජල ධාරාව වන ඇමසන් නදිය, දිගින් දෙවැනි වන්නේ නයිල් නදියට පමණක් බවත් මොහොතකට අමතක කරන්න. ශාක විශේෂ 40,000 ක්ද, කුරුළු විශේෂ 1,300 ක්ද, මත්ස්‍ය විශේෂ 3,000 ක්ද, ක්ෂීරපායී විශේෂ 430 ක් ද, කෘමි විශේෂ මිලියන 2.5 million කට ද එය සෙවණ සදන බවත් මොහොතකට අමතක කරන්න.

නමුත් ලෝකයට අවශ්‍ය ඔක්සිජන් වලින් 20%ක්ම නිපදවන්නේ ඇමසන් වනයේ තුරු සම්පත විසින් බව කිසිවිටෙක අමතක නොකරන්න.

සොබාදම් දිනිතිය නමැති මව, සිය දරුවන් මාතෘ ඝාතකයන් බවට පත් වන විට ප්‍රතිචාර දක්වන්නේ අමුතුම ක්‍රමයකට ය. දැන් ඇය බ්‍රසීලය සම්බන්ධයෙන් වැඩ පටන් ගෙන තිබේ.

එය සිදුව තිබෙන්නේ මේ ආකාරයට ය.

බ්‍රසීලයේ හුස්ම හිර වේ!

බ්‍රසීලය මේ වන විට ලෝකයේ වැඩිම කෝවිඩ් ආසාදිතයන් පිරිස සිටින රට මෙන්ම ලෝකයේ වැඩිම මරණ ගණන ද වාර්තා වන රට බවට අවාසනාවන්ත ලෙස පත් ව තිබේ. එනම්, අද දිනය වන විට බ්‍රසීලයේ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12,984,956 කි. මරණ ගණන 331,530 කි.

මේ අතර, ‘‘බ්‍රසීලයේ හුස්ම හිරවේ..‘‘ යනුවෙන් ශීර්ෂපාඨයක් අල් ජසීරා පුවත් සේවයේ මාර්තු 24 වැනිදා පළ වේ. ඔව්! සැබවින්ම බ්‍රසීලයේ හුස්ම හිරවෙමින් තිබේ.

මානවුස් යනු බ්‍රසීලයේ වනගත නගරයකි. එනම්, ඇමසන් වැසි වනය අද්දර පිහිටා ඇති නගරයකි. එය අයත් වන්නේ ද ඇමසන් ප්‍රාන්තයට ය. එය ලෝකයේ කෝවිඩ් අපිකේන්ද්‍රයක් බවට මේ වසරේදී පත් විය. ඒ අතරම, එය ජාත්‍යන්තර වශයෙන් ශීර්ෂ පාඨ මැව්වේ, අති දරුණු ඔක්සිජන් හිඟයක් මෙහි රෝහල්වල පවතින බවට ය. එය ලොව පුරා ‘කම්පන තරංග‘ (shockwaves) ඇති කළ බව අල් ජසීරා පුවත් සේවය කියයි.

මේ අතර, මාස දෙකක් ඇතුළත මුළු බ්‍රසීලයම මානාවුස් නුවරක් බවට පත් වෙමින් තිබෙන බව බ්‍රසීල වසංගතවේදියෙකු වන ජාසෙම් ඔරිල්ලානා කියයි. ඉදිරි සති කිහිපය ඇතුළත මෙම ඔක්සිජන් හිඟය නිසා බ්‍රසීලයේ රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නටත් ඉඩකඩ තිබේ.

කැම්පෝ බොම් නුවර පිහිටා තිබෙන්නේ රියෝ දි ජෙනෙයිරෝව තුළ ය. එහි රෝහලේ වෛද්‍යවරුන්, ඔක්සිජන් නැතිව රෝගීන් පණ අදිමින් මිය යන විට, ඔක්සිජන් සිලින්ඩර හිස් වූ විට උදව් ඉල්ලා කෑ ගසමින් සිටි බවට ඇසින් දුටු අය සිටිති. මේ වන විට ඇතැම් රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ 300%ක් රෝගීහු පිරී සිටිති. එනම්, සිටිය යුතු ප්‍රමාණය මෙන් 3 ගුණයක රෝගීන් පිරී තිබේ. ඇඳන් නොමැති කම නිසා, රෝහල් බිම මත අවසන් ගමන් යන්නෝ බ්‍රසීලයේ ඉතා සුලබ ය.

ඔක්සිජන් හිඟය දැන් බ්‍රසීලයේ ජාතික ප්‍රශ්නයකි. බ්‍රසීලයේ ධනවත්ම නගරය ලෙස සැලකෙන සාවෝ පෝලෝ පවා මේ තත්වයට ගොදුරු ව සිටියි. එක් දිනකදී සාවෝ පෝලෝ රෝහලෙන් මරණ 1021 ක් වාර්තා වූයේ මෑතකදී ය.

Al Jazeera

ලෝකයේ කෝවිඩ් මරණ ප්‍රතිශතයෙන් 10%කට බ්‍රසීලය දැනට වගකියා ඇත. දරුණු ඔක්සිජන් හිඟයත් සමග මේ තත්වය ඉදිරියේදී තවත් දරුණු අතට හැරෙනු නිසැක ය. නමුත් බොල්සොනාරෝ, බොල්සොනාරෝම ය. ඇමසන් වනයේ තව ගස් බොහෝ තිබේ. බ්‍රසීලයේ තව මිනිසුන් ද බොහෝ සිටියි. බොල්සොනාරෝ ට සිද්ධ වන දෙය ගළපා ගන්නට තව බොහෝ කල් ගත වනු ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ, ඔහුට පාලනය කරන්නට රටක් ඒ වන විට ඉතිරි වී තිබේවිද යන්නයි.

‘‘බ්‍රසීලයේ කෝවිඩ් මරණ, අපේ ඉතිහාසයේ සිදුවූ විශාලම මානව සංහාරයයි‘‘
– හිටපු බ්‍රසීල ජනපති ලූලාද සිල්වා

සොබාදම කුපිත වූ විට ඇගේ දරුවන් විඳවීම නියත ය. ඇමසන් වනයෙන් වැඩි කොටස බ්‍රසීලයට අයත් නොවුණා නම්, අපට බොල්සොනාරෝ ගැන මෙන්ම, ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ ගණන වාර්තා වන රටේ ඔක්සිජන් හිඟය ගැන ද ලියන්නට සිදුවන එකක් නැත.

මූලාශ්‍ර

‘Brazil is suffocating’: COVID surge creates severe oxygen crisis

Brazil’s COVID deaths ‘biggest genocide in our history’: Lula



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි