×

පාලක පක්ෂ නියෝජනය තුළ බ්‍රෙක්සිට් විරෝධී හඬක් නැඟූ කථානායකවරයා – ජෝන් බර්කව් 

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු බ්‍රිතාන්‍යයේ ප්‍රභලතම අත්වරද බ්‍රෙක්සිට්....


බ්‍රිතාන්‍යයේ හිටපු කතානායක ජෝන් බර්කව් මහතා බ්‍රෙක්සිට් යනු දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යය සිදුකළ ප්‍රභලතම අත්වරද බව ප්‍රකාශ කර සිටියේය.  

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ කථානායක ධූරය හෙබවූ කාලය තුළ ඒකපාර්ශිවකව කටයුතු කරන්නේ ය යන චෝදනාව විටින් විට බ්‍රෙක්සිට් හිතවාදී මන්ත්‍රී කණ්ඩායම් විසින් එල්ල කර තිබූ බවත්, තමා කිසිවිටකත් බ්‍රෙක්සිට් අනුමත වීම අත්හිටුවීමට කටයුතු නොකළ බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කථානායක ධූරයට සමුදීමට සමගාමීව විදෙස් මාධ්‍ය සංගමයෙහි (Foreign Press Association) පැවැත්වූ කතාව අතරතුරදී ය.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා හට තමා ගරු කරන මුත් යුරෝපා සංගමයෙන් නික්ම යාම කිසිදුවිටක බ්‍රිතාන්‍යයට හිතකර ප්‍රතිඵල ගෙන දෙන්නක් යැයි තමා විශ්වාස නොකරන බවද, එම තීරණය දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යය අතින් සිදුවූ ප්‍රභලතම අත්වරද බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව තුළ බ්‍රෙක්සිට් දෙවනවර අනුමත කර ගැනීමට අසමත් වීම පසුපස තමා නොසිටින බවත්, නීති සම්පාදකයින් ගේ මතය පරිදි එම තත්ත්වය හටගත් බවත් ඒ මහතා අවධාරණය කළේය.

බර්කව් කථානායක ධූරය හෙබවූ කාල සීමාව තුළ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හඬ අවධි කරවීමෙහි ලා මහඟු කැප කිරීමක් සිදු කළ අතර, එමඟින් හදිසි ගැටළු පාර්ලිමේන්තුව තුල ආමන්ත්‍රණය කරවීමට ඔහු සමත් විය. කෙසේ වෙතත්, මෑත කාලය තුළ නීති උල්ලංඝනය කරමින් ඩොමිනික් ග්‍රීව් සහ හිලරි බෙන් වැනි කැරලිකාර පසුපෙළ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දීම හා එමඟින් රජයේ උපමාරු සීමා කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් හට අවස්ථාව සලසා දීම ආදී චෝදනා ද ඔහුට එරෙහිව ගොනු වී තිබිණි. මීට හොඳම නිදසුන වන්නේ බ්‍රෙක්සිට් අවහිර කරමින් කාල පමාවක් සිදුකිරීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා හට සිදුවීමට හේතු වූ බෙන් පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වීමයි.

බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ ආකාරය සම්බන්ධව තමාට විවේචනයක් නොමැති බව පෙන්වා දෙන බර්කව් පවසන්නේ එය ඔහුගේ අයිතිය බවය. කෙසේවෙතත්, තම වගකීම එක් පාර්ශවයකට නොව සමස්ත පාර්ලිමේන්තු නියෝජනයේ ම අයිතීන් සුරැකීම බවත්, එකී අයිතීන් සුරැකීම පිළිබඳ තමා කිසිවිටකත් සමාව භජනය නොකරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

1997 වර්ෂයේ සිට බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පක්ෂය නියෝජනය කළ ජෝන් බරකව් මහතා බකිංහැම් මැතිවරණ කොට්ඨාශය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දශකයක කාලයක් කථානායක ධූරය හෙබවූ ඒ මහතා එම ධූරයෙන් නික්ම යාමත් සමඟ සිය දේශපාලන ජීවිතය පිළිබඳ ග්‍රන්ථයක් එළි දැක්වීමට හා හිටපු කථානායකවරුන්ගේ සංවාද මණ්ඩපය තුළ යම් භූමිකාවක් නියෝජනය කිරීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි