×

ඉංග්‍රීසි මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ යැයි බ්‍රිතාන්‍යයෙන් ඉරානයට දැඩි ප්‍රතිචාරයක්!

මාධ්‍ය මර්දනයට එරෙහිව බ්‍රිතාන්‍යයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්...


බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට ඉරාන ආරක්ෂක අංශ විසින් තර්ජනය කළේ යැයි නැඟෙන චෝදනාවලට අදාළව බ්‍රිතාන්‍ය රජය දැඩි ක්‍රියාමාර්ගයකට එළඹ ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ඉරානයේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා කැඳවීමට කටයුතුකළ බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලිවර්ලි සිකුරාදා (11) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

බ්‍රිතාන්‍යයේ ජීවත්වන මාධ්‍යවේදීන් අරඹයා සිදුකරන මෙවන් ජීවිත තර්ජන හෝ බියවැද්දීම් බ්‍රිතාන්‍ය රජය කිසිසේත්ම අනුමත නොකරන බවට අවධාරණය කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා, මාධ්‍යවේදීන් පමණක් නොව සාමාන්‍ය පුරවැසියන්ට පවා එල්ලකරන මෙවන් බලපෑම් අනුමත නොකරන බව ද පැවසීය.

ඉකුත් දින හිජාබය නිවැරදිව පැළඳ නොසිටීමේ චෝදනාව මත ඉරාන සදාචාර පොලීසිය (Morality Police) විසින් අත්අඩංගුවට ගනු ලැබ එම පොලීසියේ රැඳවුම්භාරයේ සිටියදී අභිරහස් ලෙස මිය ගිය 22 හැවිරිදි මාහ්සා අමීනි වෙනුවෙන් ජනතාව පෙළගැසීම හමුවේ විශාල ආණ්ඩු විරෝධී ජන අරගල ඉරානයේ හටගනිමින් තිබෙන අතර, මෙම ජන අරගල මර්දනය කිරීම සඳහා ඉරාන රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ.

එමෙන්ම, භාෂණයේ නිදහස මර්දනය කිරීමට ද ඉරාන රජය විසින් දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. ඒ අනුව, ඉරානයේ ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන රැසක් ඉරාන රජය විසින් ඉලක්කකර ඇති අතර, මේ වන විට මාධ්‍යවේදීන් 40 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින බව ද බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය නිවේදනය කරයි.

මාහ්සා අමීනි ගේ මරණයත් සමඟ ඉරානයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ට සහ සදාචාර පොලීසියට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළ අතර, ඉරානයේ කාන්තාවන් හැඳිය යුත්තේ කුමක්ද යන්න හෝ ඔවුන් පොදු ස්ථානවල හැසිරිය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමට පාලකයන්ට අයිතියක් නැති බව පෙන්වා දී තිබේ.

ඉරාන කාන්තාවන්ට එරෙහිව රාජ්‍ය අනුග්‍රහය ඇතුව ක්‍රියාත්මකවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහ එරට මතුව ඇති ජන අරගලවලට සහාය ලබාදීමක් ලෙස මෙසේ සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍යය කටයුතු කර තිබේ.

ඡායාරූප: feweek.co.uk



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි