×

සමරිසියන්ට ගල් ගසා මරන්නට නියම කර බෘෘනායි රාජ්‍යය ගල් යුගයට යයි

අප්‍රේල් 3 වැනිදා පටන් බලාත්මක වන අන්දමට බෘෘනායි හි සමරිසි තැනැත්තන්ට ගල් ගසා මරණයට පත් කරනු ලැබේ.


අනාචාරය සහ සමකාමී ලිංගික හැසිරීම් දක්වන්නන් හට දරුණු ඉස්ලාමීය ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරන බව බෘෘනායි රාජ්‍යය මුලින්ම පැවසුවේ 2013 වසරේදී ය. එය අන්තර්ජාතික මානව හිමිකම් සුරකින්නන් සහ ශිෂ්ට ලෝකයේ මහත් විවේචනයට ලක් විය. බෙවර්ලි හිල්ස් වැනි විදේශීය ධනවතුන් පවා බෘෘනායි රාජ්‍යය සිය ආයෝජනවලින් වර්ජනය කිරීම දක්වා එය දුරදිග ගියේය.

නමුත් දැන් බෘෘනායි හි නීතිපතිවරයා විසින් කසය අතට ගෙන තිබේ. දණ්ඩනය ක්‍රියාත්මක වන දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

බෘෘනායි හි දණ්ඩ නීති සංග්‍රහය අතිශය සදෝෂී ය. මානව හිමිකම් උල්ලංඝනය කරන ප්‍රතිපාදන එහි අති බහුල ය. ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ පර්යේෂිකාවක වන රේෂල් චාවෝ-හොවාඩ් මෙසේ පවසයි. ‘‘කෘෘර, අමානුෂික, අවමන් සහගත දණ්ඩන පැනවීම මෙන්ම එමගින් ප්‍රකාශනයේ නිදහස හා ආගම්, විශ්වාසයන් ඇදහීමේ නිදහසත් පැහැදිලිවම සීමා කරනවා. ස්ත්‍රීන් සහ ගැහැණු ළමුන්ට එරෙහි ව වෙනස්කොට සැලකීම් එමගින් නීති සංග්‍රහයක් බවට පත් කර තිබෙනවා..“

ලංකාව මෙන්ම බෘෘනායි රජයේ නීති පොත්වල ද මරණ දණ්ඩනය ගැන සඳහන් වේ. නමුත් එය මෙතෙක් සීමා වී තිබුණේ පොතට පමණි. බෘෘනායි රාජ්‍යයේ මෙතෙක් මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ නැත.

ලංකාවේ මෙන්ම බෘෘනායි හි ද සමරිසි සේවනය නීතියෙන් තහනම් ය. එය නීතියට අනුව අපරාධ වරදකි. බෘෘනායි දණ්ඩ නීතියට අනුව සමරිසි සේවනයේ යෙදී හසුවුවහොත් වසර 10 ක සිරදඬුවම් හිමි වේ. නමුත් අලුත් නීතියෙන් මෙයට කස පහර සහ ගල් ගසා මැරීම ද එක් කර තිබේ.

වැඩිහිටියන් අතර ස්ව කැමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවන් ද මේ යටතට අයත් ය.

සොරකම සඳහා අත් හෝ පාද කපා දැමීම ද අලුත් නීතිය මගින් බලාත්මක කර ඇත.

බෘෘනායි රාජ්‍යය තුළ දැනටමත් සිකුරාදා දිනවල යාඥා නොකිරීම සිර දඬුවම් ලැබිය හැකි වරදකි. විවාහ නොවී දරුවන් වැදීම ද සිරගත වීමට ප්‍රමාණවත් ය.

බෝනියෝ හි දූපතක් වන කුඩා බෘෘනායි රාජ්‍යයේ ජීවත් වන්නේ 430,000 ක ජනගහනයක් පමණි. එය කුඩා දූපතකි. එහි රජකම් කරන්නේ කලක් ලොව ධනවත්ම මිනිසා වශයෙන් සැලකුණු බෘෘනායි හි සුල්තාන් වරයා ය. ඔහුගේ නම හස්සානාල් බෝල්කියා (Hassanal Bolkiah) ය.ඔහු සම්ප්‍රදායික දැඩි මතධාරී මුස්ලිම් බැතිමතෙකි. ඔහුගේ දර්ශනයට අනුව රටවැසියන් සාපේක්ෂව මධ්‍යස්ථ සැප සම්පත් විඳිය යුුතුය. නමුත් ඔහු ජීවත් වන්නේ කාමර 1,788 කින් යුත් මාළිගයක ය. තෙල් සම්පතින් ආඩ්‍ය බෘෘනායි හිදී ඔහුගේ වත්කම ඩොලර් බිලියන ගණනක් යැයි සැලකේ.

නමුත් අප්‍රේල් 3 වැනිදා පටන් ක්‍රියාත්මක වන සමරිසියන්ට ගල් ගසා මරන අලුත්ම නීතිය මගින් බෘෘනායි රාජ්‍යය අපට පසක් කර දෙන්නේ කුමක්ද? බෘෘනායි රාජ්‍යය යනු ලෝක සිතියම තුළ ‘කුඩා මිනිසෙකු‘ විසින් පාලනය කරනු ලබන ‘කුඩා රටක්‘ බව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි